“පොතකට කවරයක් හදන එක, චකිතය සහ ආදරේ එක්ක මොකක්දෝ කියාගන්න බැරි උත්කර්ෂයක් පිරුණු හැඟීමක්”

සාමාන්‍යයෙන් මං ආසාවෙන්ම කරන දේවල් කීපයෙන් එකක් තමයි පොතකට කවරයක් හදන එක. ඒක හරියට තමන් ආසම කරන නිළියක් මේකප් කරන්න ලැබෙන ආධුනික මේකප් ආ‍ටිස්ට් කෙනෙකුට දැනෙනවා වගේ බය, චකිතය සහ ආදරේ එක්ක මොකක්දෝ කියාගන්න බැරි උත්කර්ෂයක් පිරුණු හැඟීමක් විදියටයි මට හැම තිස්සෙම දැනෙන්නෙ. ඒ නිසාමද මන්දා, මෙච්චර කාලයක් මම කරපු හැම කවරයක්ම මගෙන් ලබන්න පුලුවන් උපරිම ආදර සත්කාරය ලබපු බවත් මට අවංකවම කියන්න පුලුවන්. ඒ වගේම කවර හැදිල්ලේ තියෙන තවත් මං ආසම දෙයක් තමයි, ඒ හැම කවරයකටම එකකට එකක් වෙනස් පසුබිම් කතාවක් තියෙන එක සහ ඒ හැම කවරයක්ම එකිනෙකට වෙනස් දේවල් අපෙන් බලාපොරොත්තු වෙන එක. හරියට අපි ආදරේ කරපු අය වගේ. එයාලා අපෙන් බලාපොරොත්තු වුණු දේවල් වගේම අපේ ජීවිත ඇතුලෙ තියල ගිය අතීත මතකයන් පවා එකකට එකක් වෙනස්. හැබැයි ඒ හැම මතකයක්ම අපට සෑහෙන්න වටිනවා.

මංජුල සේනාරත්න අයියගේ පොතකට කවරයක් කරන්නත් අවුරුද්දක් දෙකක් තිස්සේ කැමැත්තෙන් හිටියට ඒ හැඩ කවර ටික මෙච්චර කාලයක් තිබුණේ ‘ඈපාගේ කලාපේ’ නිසා මං හිටියෙ හරියට අනුන්ගේ වත්තක අඹ ගහක් දිහා බලබල ඒ ගෙදර ඉස්සරහින් දවස ගාණෙ ඉස්කෝලෙ යන්න සිද්ධ වෙච්ච පොඩි එකෙක් වගේ

ඔය අතරෙ තමයි කවීෂ ‘සිව් ඍතු අතර’ කෙටිකතා පොතේ අනිත් ඩිසයින් වැඩ ටික අපට එවන්නෙ. ඒ දවස්වලම ඈපත් (සංජය ඈපා සෙනවිරත්න) කොහේදෝ මාරක ලිඳක බයිසිකල් පදින්න ගිහිං අතක බෝල්ජොයින්ට් පන්නගත්ත නිසා ඈපා මීට කලින් කරල තිබුණු මේඩ්න්ස්, ඇමසෝනියා වගේ ආදරේ හිතෙන කවර කීපයක තාක්ෂණික වැඩ ටිකක් ඉවර කරමින් ඉන්න අත‍රේ ‘සිව් ඍතු අතර’ ටත් කවරයක් කරන්න අවස්ථාව හම්බවෙනවා. ඒක හරියට අර මුලින් කියපු අඹ ගහේ උඩම අත්තක තිබිච්ච අඹ ගෙඩියක් පොඩි එකා පාරෙ යද්දි ‘ආ මල්ලි… ඉස්කෝලෙ යනව වගේ?’ කියාගෙන ගහෙන් බිමට පැනලා උගේ කකුල් දෙක ඉස්සරහට පෙරළිලා එනවා වගේ වැඩක්.

මූලික කතාබහ ඉවර වුණාට පස්සෙ කෙටිකතා ටිකත් ආපහු කියවලා, කවරයට අදහස් තුනක් මියුසස් එක හරහා මංජුල අයියට ඊමේල් කරන්න තව දවස් කීපයක් ගත වුණා. හැරෙන තැපෑලෙන්ම මංජුල අයියත් ඒ කවර තුනට ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒකට තමන්ගෙ අදහස් ටිකත් එකතු කරලා කවීෂයා මට කිව්වෙ මෙහෙම කතාවක්.
‘කවර තුනම ඕකේ. අපි තව එකක් කරලා ඍතු හතරට සෙට් වෙන්න කවර හතරකින් පොත ගහමුද?’
ඒක හරියට, අර වැටිච්ච අඹගෙඩියත් අහුලගෙන ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙද්දිම ‘ඒයි පොඩ්ඩක් හිටපං, අපිත් එනවා…’ කියාගෙන තව අඹගෙඩි තුන හතරක් දඩ දඩ ගාලා කොල්ලා ඉස්සරහට කඩාගෙන වැටුණා වගේ වැඩක් නිසා මං වැඩේට හා කියල එකඟ වුණේ කවීෂයා ප්‍රශ්නෙ අහල ඉවර කරන්නත් කලින්.

පස්සෙ ඒ මුල් අදහස් තුනෙන් එකක් තෝරගෙන තමයි මේ කවර හතර හැදෙන්නෙ. එක කෙටිකතාවක් තේමා කරගෙන කවරයක් හදනවට වැඩිය අපට ඕන වුණේ පොතේ එන හැම කතාවකටම පොදු, සමස්ත අර්ථයක් එන විදියට වැඩේ කරගෙන යන්න. ඒ වගේම ටිකක් classic, vintage පෙනුමක් ආවොත් හොඳයි කියන අදහසකුත් තිබුණා. කවර හතර ගැන අදහස එද්දිම මගේ ඔලුවට ආවෙ කිම් කී දුක් ගේ ‘Spring, Summer, Fall, Winter… and Spring’ චිත්‍රපටියයි, ‘Doctor Zhivago’ චිත්‍රපටිය පටන් ගන්න කලින් යන පූර්ව වාදනයයි. ඒ දෙකම කාලෙකට පස්සෙ ආපහු බලන්නත් මේ කවර හතර හේතුවක් වුණා.

පොත් කවර එක්ක ටිකක් සීරියස් වෙනවා කියන්නෙම සල්ලිවලින් එහාට ගිය පොඩි ගතියක් ඇඟට එන වැඩක්. හරියට අර තරිඳු ශ්‍රී ලොකුගමගේ ගෙ ක්ලැසික් කාර් පිස්සුව වගේ. එහෙම පිස්සුවක තියෙන විශේෂත්වය තමයි, ඒක හැදිච්ච එකා විතරක්ම දන්න, තව කෙනෙකුට සියේට සීයක් පැහැදිලි කරන්න බැරි මොකක්දෝ දෙයක් එතන තිබීම. කොහොම හරි, තවත් වැඩ කන්දරාවක් මැද ඊයෙ රෑ කවර හතරෙ වැඩත් ඉවර වුණා. මියුසස් එකෙන් අද හවස කවර හතර එළියට දාලත් තිබුණා. ගොඩක් අය ඒ කවර හතරටම කැමති වෙලත් තිබුණා. ඉතිං, මේ තියෙන්නෙ ඒ කවර හතර

– සෞම්‍ය සඳරුවන් ලියනගේ (fb)

Leave A Reply

Your email address will not be published.

two × 5 =