ඔබේ ඡන්දය ඔබේ දරුවාට කළ විපත !

“සිතියම් පොතෙන්
ලොව විමසා බලන කල
කඳුළක හැඩය
මහ සයුරේ දකීවි ද!”


අදීන පත්තරකාරයකු වූ දයාසේන ගුණසිංහයන්ගේ කවි පෙළක අවසානය මෙය ය. ‘එතෙර ගිය දියණියට’ යනුවෙන් කව් පෙළ නම් කර තිබිණි. පසුව විශාරද ගුණදාස කපුගේ එය ගීතයක් කර ගායනා කළේය. මේ සූදානම් වන්නේ සාහිත්‍ය සටහනක් තැබීමට නොවේ.
මේ කියන කඳුළක හැඩය ගන්නේ ලංකාවේ භූගෝලීය රූපය අනුව නොවේ. රූපය අනුව නම්, එය අර්ථදක්වා තිබෙන්නේ, මී අඹ ගෙඩියක් ලෙසය. අප රට විනාශයේ පතුලටම ඇද දමා තිබෙන බව පැහැදිලි කිරීමට තවත් අටුවා, ටීකා අවශ්‍ය නොවන තරම් ය. විනාශයේ ඛේදනීය බව දරුවන්ගෙන් පිළිබිඹු වීමට පටන්ගෙන ඇති බව කිව්වොත්, ඔබ එය භාර ගන්නේ ද? භාර ගත්තත්, නොගත්තත් ඇත්ත ඒකය. අපේ දරුවන්ගේ ජීවිතවලින් එය පිළිබිඹු වීමට පටන්ගෙනය.


මෙම ජනාධිපතිවරණය වෙනුවෙන් ‘ඔබේ ඡන්දය අපේ දරුවන්ට’ යන තේමාවෙන් පොතක් නිකුත් කර තිබේ. එය නම් කර තියෙන්නේ, ‘අර වැඬේ’ යනුවෙන්ය. අපේ දරු මුණුපුරු පරම්පරාව හෙළා තිබෙන ඛේදනීය තත්ත්වය දත්ත සහ අනෙකුත් රටවල් සමඟ සැසඳීම් සහිතව එහි කරුණු ඉදිරිපත් කර තිබේ.


යුනිසෙෆ් සංවිධානය එය කෙළින් ම ඉදිරිපත් කර තිබෙන්නේ, ධනපති අපේක්ෂකයන්ට ය. “මිලියන හයක් වූ ශ්‍රී ලාංකේය දරුවන් වෙනුවෙන් පහත දැක්වෙන පියවර 6 කෙරෙහි අවධානය යොමු කරන මෙන් සෑම ජනාධිපති අපේක්ෂකයකුගෙන් ම අපි ඉල්ලා සිටිමු.” යනුවෙන් ලොකු පැහැදිලි අකුරෙන් සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම එය ඉදිරිපත් කර ඇත.


“බොහෝ දරුවෝ දැඩි මන්දපෝෂණය හෙවත් කෘෂ බවින් සහ නිධන්ගත මන්දපෝෂණය හෙවත් වර්ධන ඌනතාවන්ගෙන් ද පෙළෙමින් සිටිති. එමඟින් ළමයින්ගේ සංවර්ධනයට හානි වීම, ඔවුන්ගේ අධ්‍යාපනය අඩාළ වීම මෙන් ම පසුකාලීනව ඔවුන්ගේ පුද්ගල සෞඛ්‍යය හා කාර්ය ඵලදායීතාව සීමා වීම ද සිදු විය හැකිය.”


වසර හැත්තෑඑකක් පුරා තමන්ගේ ඡන්දය ලබා දී වරින්වර ආණ්ඩු මාරු කර රට ගෙනැවිත් තිබෙන සංවර්ධනයේ තරම දරුවන්ගෙන් ප්‍රකාශ කෙරෙන්නේ මෙසේ ය.


“මේ පිළිබඳව දත්ත සැසඳීම් මඟින් අපට කරුණු පෙන්වා දී තිබේ. ලෝක සමීක්ෂණවලට අනුව ලොව දරුවන්ගේ කෘෂ බව ගැටලුවක්ව ඇත. පහළ හා මධ්‍යම ආදායම් ලබන රටවල් 10ට අයත් වන ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ, නේපාලය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයට ද වඩා පහළ ස්ථානයකි.”


දැන් තරම පැහැදිලියි නේ ද? මේ දරුවන්ගේ මුහුණු බලන විට පෙනෙන්නේ කඳුළක හැඩය නොවේ ද? කොතරම් ඛේදවාචකයක් ද? යාන්තමින් හෝ ලෝකය කෙරෙහි අපගේ අවධානය යොමු කරන්නේ නම්, ඇෆ්ගනිස්ථානය යනු යුද්ධයෙන් සුන්නද්ධූලි වූ රටක් බව මතකයට නැඟෙනු ඇත. අපේ දරු මුණපුරන්ගේ ජීවිත තිබෙන්නේ ඊටත් වඩා පහළ තත්ත්වයකය. “වයස අවුරුදු පහ නොඉක්ම වූ ශ්‍රී ලාංකේය දරුවන්ගෙන් සියයට 15ක් කෘෂ බවෙන් පෙළෙති. ජීවිතයේ එක් වතාවක දී හෝ කෘෂ බවට මුහුණ දෙන්නට සිදු වීම යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි වන වර්ධන ඌනතා ඇති වීමේ අවදානමකට ද හේතු විය හැකිය. එවැනි වර්ධන ඌනතා මොළයේ වර්ධනයට අහිතකර ලෙස බලපාන අතර, එය මුළු ජීවිත කාලය පුරා ම පවතිනු ඇත.”


දරුවන්ගේ මුළු ජීවිත කාලයෙන්ම වන්දි ගෙවීමට සිදු වන තත්ත්වයට මේ රට විනාශ කර ඇත්තේ, ඔබේම ඡන්දයෙන් බලයට පත් වූ පාලකයන් මිස පිටසක්වළින් පැමිණි අමුතු ජීවීන් නම් නොවේ. “මධ්‍යම වශයෙන් හෝ බරපතළ වශයෙන් හෝ කෘෂ වීම නිසා දරුවකු මිය යාමේ දැඩි අවදානමක් පවතින නමුදු, එම තත්ත්වය සඳහා ප්‍රතිකාර කළ හැකි ය.” යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙන ලෙස ප්‍රතිකාර කළ හැකි දියුණු සෞඛ්‍ය තත්ත්වයන් ඇති රටවල් තිබෙන බව සැබෑය. එහෙත්, ලංකාවේ තිබෙන්නේ “සල්ලි නැත් නම්, මැරියල්ලා” යන සෞඛ්‍ය ප්‍රතිපත්තියය. ඉතින්, දරුවන් බේරා ගන්නේ කොහොම ද?


දරුවන් සම්බන්ධ ඊ ළඟ ඛේදනීය තත්ත්වය වන්නේ වයසට සරිලන උස නොතිබීමය. එය ද වර්ධන ඌනතාවක් සේ සැලකේ. “වර්ධන ඌනතා ඇති වීම නිසා දරුවන් දැඩි කායික සහ මානසික ආබාධවලට ලක් විය හැකිය. එවැනි ආබාධ යළි යථා තත්ත්වයට පත් කළ නොහැකිය. ජීවිත කාලය පුරා ම පවතින දැඩි කායික හා මානසික ආබාධිත තත්ත්වයන් ඇති විය හැකි වන අතර, එම බලපෑම අනාගත පරපුරට ද හානිකර විය හැකිය.” කෘෂ බව මෙන් නොව වයසට සරිලන උස නැති බව අදාළ දරුවන් වැඩිහිටියකු වීමෙන් පසු ද බලපාන බව මෙයින් කියැවේ. වඩාත් බරපතළ වන්නේ මෙසේ වූවන්ගෙන් බිහි වන දරු පරපුරට ද ප්‍රතිවිපාක අත් වන බවය. ලොව රටවලින් ලංකාව සිටින්නේ, සුඩානය, ජීබුටි, යේමනය, මුරුසිය, එරිටි්‍රයා යන රටවලටත් පහළින්ය.


කෘෂභාවයෙන් පෙළීමේ ප්‍රතිශතය සියයට 15.1ක් යනු දරුවන් හත්දෙනකුගෙන් එක් අයකු කෘෂභාවයෙන් පෙළීමය. මෙයට අමතරව මෙරට දරුවන් හය දෙනකුගෙන් එක් අයකු එනම්, සියයට 16.66ක් වර්ධන ඌනතාවෙන් ද පෙළෙති. මෙයට වතු ප්‍රදේශවල දරුවන් තිදෙනකුගෙන් එක් අයෙක් ද අයත් බව හෙළි කර තිබේ. පසුගිය කාලයේ වාර්තා වූයේ බඩගින්නට දවස් කීපයක් ම කරවිල තම්බාගෙන කෑ මව්වරුන් සහ දරුවන් ගැනය. කුසගින්නට කෑමට දෙයක් නොමැතිව ඉදුණු කෝවක්කා ගෙඩි කෑමෙන් මිය ගිය දරුවන් ගැනය. රටේ සංවර්ධනයේ තරම මෙයින් කියැවෙන්නේය. යුනිසෙෆ් සංවිධානයේ සංඛ්‍යා සහිතව මේ පෙන්වා දෙන්නේ රට සංවර්ධනය කර තිබෙන තරමය!


දරුවන්ගේ මෙම ඛේදනීය සෞඛ්‍ය තත්ත්වය පමණක් නොවේ, පවතින්නේ. ඔවුන්ට ලබා දෙන අධ්‍යාපනය කෙබඳු ද? ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක කටේ කෙළ හිඳෙනකම් කියන්නේ, මේ අධි තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන්ට නැති කළ ළමා කාලය ඔවුන්ගේ පාලනයක් යටතේ යළි ලැබෙන සේ අධ්‍යාපනයේ ව්‍යුහාත්මක සහ ගුණාත්මක වෙනසක් ඇති කරන බවය. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ බව අවධාරණය කර ඇත. ඒ අතර යුනිසෙෆ් ආයතනය කියන කතාවට සවන් දීම ඉතා වැදගත්ය. “ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ප්‍රවේශයන්ගේ ගුණාත්මක බව ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල නොවන අතර, කට පාඩම් කිරීමේ සම්ප්‍රදායය අවධාරණය කෙරෙන බැරෑරුම් අන්තර්ගතයකින් යුතු විෂය මාලාවන් පවතී” යනුවෙන් ද සඳහන්ය.
මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් අද පවතින්නේ සල්ලි විසි කළ හැකි නම්, දරුවන් නේරංජනා ගංගාවෙන් වුව ද පැන්නවිය හැකි තත්ත්වයට පත් කොට ය. අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කර කළුකඩ මුදලාලිලාට භාර දී තිබේ. මේ තත්ත්වයෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් මුදා ගත යුතු බව එම සංවිධානය අවධාරණය කර ඇත.


“දැන් අවශ්‍යව ඇත්තේ, ස්වයං අධ්‍යාපනයේ යෙදීමට දිරිගැන්වීමේ ක්‍රමයකි. එහි දී සංජානන නිපුණතාවන් සහ මෘදු නිපුණතා විෂයයෙහි නව අවධානයක් යොමු විය යුතුය” යනුවෙන් නිර්දේශ කර ඇත.


තවත් අතිශය වැදගත් තොරතුරක් එම වාර්තාවෙහි දක්වා තිබේ. “අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ආයෝජනයක් නොකරයි.” ඉතා නිරවුල්ව පැහැදිලිව එම ප්‍රකාශ කර තිබේ. නමුත්, රටේ මේ දක්වා සිටි පාලකයන් සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින්, අය-වැයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳ පම්පෝරි කතා කියන ආකාරය එමටවත් අසා ඇත. යුනිසෙෆ් සංවිධානය වැඩි දුරටත් කියන්නේ,
“ශ්‍රී ලංකාව අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක් පමණක් වන අතර, එය ද දරුවන් අතර සමානව බෙදී යන්නේ නැත” යනුවෙන්ය.


අපේ දරුවන්ගේ ජීවිත කඳුළක හැඩයට පත් කර ඇති අයුරු විවිධය; විෂමය.


මෙම තත්ත්වයේ ප්‍රතිවිපාක කීපයක් දක්වා ඇත. “පහ ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා දරුවන්ගෙන් සියයට 11ක් පාසල් හැර යති.” ඒ එක් ප්‍රතිවිපාකයක් ය. අනෙක සාමාන්‍ය පෙළ විභාගයේ දී ය. සියයට 27ක්, ආසන්න වශයෙන් 80,000ක් සිසුහු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් වෙති. ඊ ළඟට උසස් පෙළ දී සිදු වන්නේ කුමක් ද? සියයට 34ක් ආසන්න වශයෙන් 70,259ක් සිසුහු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අසමත් වෙති.” මේ දක්වා ළමයින්ගේ පෝෂණ තත්ත්වය සහ අධ්‍යාපනය පිළිබඳ පවතින තත්ත්වයේ සාරංශය මෙසේය:


“ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ සෑම ස්ථරයක ම දුර්වල තත්ත්වයක් දක්නට ඇත. මෙමඟින් හෙළි වන්නේ තරගකාරී ආර්ථිකයක ඉහළ ඉල්ලුමක් පවතින නිපුණතා සපුරාලන්නට රටේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය අසමත් බවයි.”
මෙයට අමතරව ‘ළමා දරිද්‍රතාවේ’ තවත් ඛේදවාචකයක් පවතී. රටේ ආදායම් බෙදී යාමේ බරපතළ විෂමතාව දරුවන්ගේ ජීවිත මතින් ප්‍රකාශ වීම මෙයින් අදහස් කෙරේ. එසේ වරප්‍රසාද ලත් දරුවන් හා සමානව එකී අවස්ථා භුක්ති විඳීමට හැකියාව බොහෝ දරුවන්ට නොලැබීම සහ ඇතැම් දරුවන් නොසලකා හැරීම මඟින් පිළිබිඹු වන්නේ රට පුරා සැලකිය යුතු විෂමතාවක් පවතින බවයි. ප්‍රායෝගිකව ගත් කල ශ්‍රී ලංකාවේ ඇතැම් දරුවන්ගේ ජීවන තත්ත්වය ස්පාඤ්ඤයේ, ජර්මනියේ වෙසෙන දරුවකුගේ ජීවන තත්ත්වයට සමාන වන අතර, තවත් දරුවන් පිරිසකගේ ජීවන තත්ත්වය සෙනගාල් හෝ ඉතියෝපියාව වැනි රටක දරුවකුගේ ජීවන තත්ත්වයට සම වේ.”
ඔවුන් හෙළි කරන මෙම තත්ත්වය දිස්ත්‍රික්ක කීපයක සංඛ්‍යා දත්තවලින් පැහැදිලි කර දී ඇත. පසුගිය රාජපක්ෂ පාලන සමයේ මහා පරිමාණ ව්‍යාපෘති සියල්ල කේන්ද්‍රගත කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ය. එහි සංවර්ධනයක් සිදු වී දරුවන්ගෙන් එය ප්‍රකාශ වේ ද? එම දිස්ත්‍රික්කයේ ළමා දරිද්‍රතාව සියයට 21.8ක් ය. එම මහා පරිමාණ ව්‍යාපෘතිවල පහස විඳින ආසන්නම මොනරාගල දිස්ත්‍රික්කයේ එය සියයට 25.4ක් ය.


මෙම තත්ත්වය දකුණු සුඩානයේ තත්ත්වයට සමාන බව එම වාර්තාව දක්වා තිබේ. කිලිනොච්චියේ ළමා දරිද්‍රතාව සියයට 23ක් සහ මඩකළපුවේ සියයට 13.35ක් වේ. මෙය ලාඕසයේ තත්ත්වයට සමාන බව කියැවේ. මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25න් 16ක ම ළමා දරිද්‍රතාව අතිශය බරපතළ බව දක්වා තිබේ. නාගරික ප්‍රදේශවල දිළිඳු ජනතාවගේ මෙන් දෙගුණයක් ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාව පවතින අතර, නාගරික ජනතාව මෙන් පස් ගුණයක් වතු ප්‍රදේශවල දිළිඳුකම පවතින බව ද හෙළි කර ඇත. මෙය ළමා දරිද්‍රතාවට සෘජුව ම බලපෑම් කරයි.


දරුවන් භාවමය චින්තනයෙන් පෝෂණය කිරීමට අපූරු සුරංගනා කතා කොතෙකුත් පවතී. වැඩිහිටියන් ඒ කතා දරුවන්ට කියා දී සනසන්නේය. එහෙත්, මේ දරුවන්ගේ ජීවිත පවතින්නේ කොතරම් ඛේදනීය තැනක ද යන්න මෙම කරුණුවලින් පැහැදිලි වේ.
මෙම තත්ත්වයන් වසං කර සජිත් සහ ගෝඨාභය දෙදෙනා එකිනෙකා පරයා සුරංගනා කතා ඡන්දදායකයන්ට කියමින් සිටිති. මේ රටේ ඉතිහාසය පුරාමත් ඡන්දවල දී එහෙමය. සුරංගනා කතා කොතෙකුත්ය. ඇත්ත තත්ත්වය කියන්නේ සහ එයින් ගොඩ ඒමේ ක්‍රියාමාර්ග පැහැදිලි කරන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක පමණය. වෙන කිසිවකුත් නැත. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හොඳ ආයෝජනයක් වන සේ මෙම ඡන්දය භාවිත කරනවා ද නැති නම්, සුරංගනා කතාවලට යළිත් රැවටෙනවා ද යන්න මෙම ජනාධිපතිවරණයෙන් සනාථ වනු ඇත.

ඉන්ද්‍රසිරි ජයසුන්දර

Leave A Reply

Your email address will not be published.

17 − six =