‘අවුරා ලංකා’ සමාගමට අනුරාධපුරයෙන් ඉඩම් අක්කර ලක්ෂයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 6ක් ‘අවුරා ලංකා හර්බල්’ පෞද්ගලික සමාගමට ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ඒකාබද්ධ කැබිනට් සන්දේශයකට අනුව මෙම සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉඩම් අක්කර 1,04,066ක් (හෙක්ටයාර 42,115ක්) වසර 30 ක දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මෙම අනුමැතිය ලබා දීමට වසර තුනකට පමණ පෙර රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාවගේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධීව අත්පත් කරගෙන කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොරව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ.

රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධානවලට අනුව වසර 30ක දීර්ඝකාලීන බදු පදනම මත මෙම ඉඩම් ලබා දීමට නියමිත ය. අක්කර 1,02,000ක් වන වගා බිම් සඳහා ලබා ගැනීමට යෝජිතව ඇත්තේ, දීමනා පත්‍ර හා බලපත්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්ති විඳින පවුල්වලට අයත් ඉඩම් ය.

මේ ව්‍යාපෘතිය යටතේ අපනයනය සඳහා ඒකභෝග වාණිජ වගාවක් ලෙස කෝමාරිකා වගාව සිදු කිරීමට නියමිත ය. ඒ සඳහා රාජාංගනය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 2,000ක් කෝමාරිකා පැළ තවාන පවත්වාගෙන යාමටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 1,02,000ක් කෝමාරිකා වගා බිම් පවත්වාගෙන යාමටත්, ව්‍යාපෘතියේ කර්මාන්ත ශාලාව, මෙහෙයුම් කාර්යාලය හා ගබඩාංගනය ඉදි කිරීමට අක්කර 66ක භූමියක් ලබා ගැනීමටත් නියමිතව තිබේ.

රජයේ ඉඩම් ආඥා පනතේ විධිවිධානවලට අනුව වසර 30ක දීර්ඝකාලීන බදු පදනම මත මෙම ඉඩම් ලබා දීමට නියමිත ය. අක්කර 1,02,000ක් වන වගා බිම් සඳහා ලබා ගැනීමට යෝජිතව ඇත්තේ, දීමනා පත්‍ර හා බලපත්‍ර මත ඉඩම් හිමි පවුල් සහ වගා කටයුතු සඳහා රජයේ ඉඩම් භුක්ති විඳින පවුල්වලට අයත් ඉඩම් ය. මෙම සමස්ත ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783කි. මූලික ආයෝජනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් යෙදවීමට ආයෝජකයා සැලැසුම් කර ඇති බව අමාත්‍ය මණ්ඩල අනුමැතියේ සඳහන් වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 7,17,900ක් වන අතර, මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 42,115ක් යොදා ගැනීමට නියමිතව තිබේ. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 6%ක් පමණ වේ.

අනුරාධපුර ගොවි ජනතාවට වගා බිම් අහිමි කිරීම

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලැසුම් දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගෙවතු හෙක්ටයාර 88,859ක් පමණ පවතී. එය මුළු භූමි ප්‍රමාණයෙන් 12%කි. ස්ථිර භෝග, කෙසෙල් හා පොල් වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 6,494කි. එය මුළු භූමි ප්‍රමාණයෙන් 1%ක ප්‍රතිශතයකි. කුඹුරු ඉඩම් හෙක්ටයාර 1,61,752ක් පුරා පැතිර ඇති අතර, එය මුළු භූමි ප්‍රමාණයෙන් 23%ක් පමණ වේ. වාර්ෂික භෝග හා හේන් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 87,510ක් වේ. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ 12%ක භූමි ප්‍රමාණයක පැතිර තිබේ.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 3,44,615ක් වේ. එම වගා බිම්වලින් මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතියට 12%ක් ලබා දීමට සිදු වන බව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය විශ්ලේෂණය කර බැලීමේ දී පෙනී යයි. ඒ හේතුවෙන් රටේ ජනතාවට අහිමි වන ආහාර භෝග අස්වැන්නේ ප්‍රමාණය පිළිබඳව අධ්‍යයනය කළ යුතුව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන වගා බිම්වල සුරක්ෂිතතාවට ප්‍රධාන සාධකය වන්නේ එහි පවතින ජල මූලාශ්‍රයන් ය. වැව්, ජලාශ, ගංගා, ඇළ, දොළ හා වගුරු බිම් හෙක්ටයාර 67,630ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර තිබේ. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 10%කි. මෙම සියලු ජල මූලාශ්‍රවල පැවැත්ම රැඳී ඇත්තේ ඒවායේ ජල පෝෂක ප්‍රදේශ වන වනාන්තර පරිසර පද්ධති මත ය. මෙම දිස්ත්‍රික්කයේ ඝන වනාන්තර හෙක්ටයාර 1,75,627ක් පමණ ඇති අතර, එය මුළු භූමි ප්‍රමාණයෙන් 25%ක් පමණ වේ. ලඳු කැලෑ ඇතුළුව විවෘත වනාන්තර හෙක්ටයාර 1,16,889ක් පමණ පිහිටා තිබේ. එය දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 16%කි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ඉතිරි හෙක්ටයාර 13,139ට අයත් වන්නේ භෞතික සංවර්ධනයන් සහිත ප්‍රදේශ සහ ගල්පර හා වැලිකඳු ප්‍රදේශ ය. ඒ අනුව මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා වනාන්තර පරිසර පද්ධති ලබා දීම සිදු කළහොත්, දිස්ත්‍රික්කයේ සමස්ත වනාන්තර ප්‍රමාණයෙන් 14%ක් අහිමි වේ. මෙසේ අහිමි වීමට නියමිත වනාන්තර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නැඟෙනහිර, ගිනිකොන සහ දකුණු මායිම් හා සම්බන්ධව පවතී.  එම ජල පෝෂක වනාන්තර අහිමි වීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ වගා බිම්වලට ජලය සීමා වීම නිසා යල හා මහ දෙකන්නය වගා කිරීමට නොහැකිව දරුණු බිඳවැටීමකට ගොවි ජනතාව පත් වනු ඇත.

එසේම අනුරාධපුර දිස්ත්‍රික්කය හා සම්බන්ධව ඇති පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව හා මන්නාරම යන දිස්ත්‍රික්කවලට ද මේ තත්ත්වය හේතුවෙන් අලි – මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පරිවර්තනය වනු ඇත.

ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අනුමැතිය ලබාදිය හැකිද?

මෙම ව්‍යාපෘතියට අදාළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශය සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා හා ඉඩම් අමාත්‍යවරයා පිළිගත්, අනුමත තාක්ෂණික වාර්තාවක් භාවිත කර නොමැත. මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මූලික ශක්‍යතා අගැයීම් වාර්තාවක් සකස් කළ යුතු ය.

නමුත්, මූලික ශක්‍යතා අගැයීම් වාර්තාවක් හෝ මූලික ව්‍යාපෘති යෝජනාවලියක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හෝ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ සකස් කර නොමැති ව්‍යාපෘතියක් සඳහා ඉඩම් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ප්‍රධාන ගැටලුවකි. මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට සකස් කර ඇත්තේ මූලික සංකල්ප වාර්තාවක් පමණි. එම වාර්තාව ‘වියළි කලාපීය ග්‍රාමීය ආර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතිය’ නමින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහි මුදල් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත්තේ, ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 15ක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 28ක්, නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 10ක්, පර්යේෂණායතනයක් ඉදි කිරීමට ඩොලර් මිලියන 35ක්, පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 2ක් සහ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 3ක් ආදී වශයෙනි. ඒ අනුව කෝමාරිකා වගා ව්‍යාපෘතියට අමතරව විශාල මුදල් ප්‍රමාණයක් වෙනත් කාර්යයන් සඳහා ආයෝජනය කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලැසුම් කර තිබේ. නමුත්, අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුව සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 783ක් ලෙස සඳහන් කර තිබේ. එය මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවේ සඳහන් ආයෝජන මුදලට  වඩා දෙගුණයකට වැඩි ආයෝජනයකි. එසේ නම්, එම මූලික ව්‍යාපෘති සංකල්ප වාර්තාවට අනුව ද මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කළ නොහැකි ය. මේ සියල්ල මේ ආකාරයෙන් සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතුව ඇත.

ව්‍යාජ ආයෝජකයා විරාජ් තාඹුගල

මෙම ව්‍යාපෘතියට අදාළව මීට වසර තුනක සිට රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධීව සංවර්ධන ක්‍රියාවලීන් බොහොමයක් සිදු කරමින් පවතී. ව්‍යාපෘතිය සඳහා මෙම ගම්මානයේ වගාබිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳවැටීමකට ලක් වෙමින් තිබේ. දැනට වසර තුනකට ආසන්න කාලයක සිට ගොවි පවුල් 84කට අයත් වගා බිම් වසර 10ක බදු පදනම මත මෙම ව්‍යාපෘතියට පවරාගෙන ඇති අතර, වගාබිම් අහිමි එම ගොවි ජනතාව මෙම සමාගමේ කම්කරුවන් ලෙස මේ වන විට කටයුතු කරමින් සිටිති.

මාලබේ, තලංගම උතුර, උඩවත්ත පාර, අංක 949/13 දරන ස්ථානයේ ප්‍රධාන කාර්යාලය පිහිටි මෙම සමාගමේ උප කාර්යාලය කලාඔය, රාජාංගනය හන්දියේ ස්ථාපනය කර තිබේ. මෙම සමාගම 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව 2018 ජූලි මස 26 වන දින අංක ඡඪ 00202472 යටතේ ලියාපදිංචි කර තිබේ.

මෙම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස චන්දික විරාජ් තාඹුගල මහතා කටයුතු කරන අතර, ඔහු හෙළ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් සහිත, ජාත්‍යන්තර කීර්ති නාමයක් දිනා ගත් පුද්ගලයකු ලෙස පෙනී සිටී. නමුත්, ඔහු මීට ප්‍රථම රාජාංගනය ප්‍රදේශයේ රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන්නකු ලෙස කටයුතු කර ඇති අතර, පසුව නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් මීගමුව හා අනුරාධපුර බන්ධනාගාරවල බන්ධනාගාරගතව සිට ඇති බවට වාර්තා වේ.

සැබෑ ආයෝජකයා ලේඛා වික්‍රමසේකරන්

විරාජ් තාඹුගල මහතා මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ලෙස ව්‍යාජව පෙනීසිටිමින් ජනතාව හා රාජ්‍ය නිලධාරීන් මුළා කිරීම සිදු කළ ද, මෙම ව්‍යාපෘතියේ සැබෑ ආයෝජකයා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘ඕම් ජීවා’ සමාගමේ ලේඛා වික්‍රමසේකරන් මහත්මියයි. ‘අවුරා ලංකා’ පෞද්ගලික සමාගම නමින් ‘ඕම් ජීවා’ සමාගමට පසුගිය වසර තුනක කාලයේ අවස්ථා දෙකක දී ඖෂධ වර්ග අපනයනය කිරීම සිදු කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රේගු වාර්තාවලට අනුව සනාථ වී තිබේ.

අවුරා ලංකා පෞද්ගලික සමාගමේ වෙබ් අඩවියේ ද ඕම් ජීවා සමාගම පිළිබඳව සඳහන් කර තිබේ. එසේ තිබිය දී, එස්.එම්. චන්ද්‍රසේන ඇමැතිවරයා නීති විරෝධීව කටයුතු කරන මෙම සමාගම වෙනුවෙන් පෙනීසිටීමට මාධ්‍ය සාකච්ඡා පවත්වමින්, තාඹුගල මහතා මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා බවත්, ඔහු මහ පරිමාණ ව්‍යාපාරිකයකු බවත් සඳහන් කරමින් ජනතාව මුළා කිරීමේ නිරතව සිටී.

ගොවිතැනට සිදු කරන බලපෑම

කෝමාරිකා ශාකය ඖෂධීය ශාකයක් ලෙස ඉතා විශාල වටිනාකමක් සහිත ය. නමුත්, මෙය ඒකභෝග වාණිජ වගාවක් ලෙස සිදු කිරීමේ දී ගැටලු බොහොමයක් උද්ගත වේ. කෝමාරිකා වගාව සඳහා විවෘත භූමිය සකස් කළ විට වර්ෂා කාලයේ දී පාංශු ඛාදනය ඉතා ම උග්‍ර වන අතර, එසේ සේදී යන පස් රොන්මඩ ලෙස වැව් හා ගංගා, ඇළ, දොළවල තැන්පත් වීමෙන් ඒවා ගොඩ වීමට ලක් වීම හා එම ජල මූලාශ්‍රවල ධාරිතාව අඩු වීමෙන් රඳවා ගන්නා ජල පරිමාව සීමා වේ. මේ නිසා අවට ප්‍රදේශයේ වගාබිම්වලට ලබා ගත හැකි ජල ප්‍රමාණය සීමා වී එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ කෘෂිකර්මාන්තය බිඳවැටීමට ලක් වේ.

නියං සමය පවතින කාලවල දී විවෘත කෝමාරිකා වගා බිම්වලින් වාෂ්පීකරණය වන ජල ප්‍රමාණය ඉහළ මට්ටමකට පත් වන අතර, ඒ හේතුවෙන් පසේ ජලය ශීඝ්‍රයෙන් අඩු වී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල ජනතාවට උග්‍ර පානීය හා වාරි ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇත. එපමණක් නොව වර්ෂා කාලයේ දී මතුපිට පස සේදී යාම නිසා පස ශීඝ්‍රයෙන් නිසරු වන අතර, නිරන්තරයෙන් වගාබිම්වලට පොහොර යෙදීමට සිදු වේ. මෙය ප්‍රධාන ගැටලුවක් බවට පත් වනු ඇත.

මේ නිසා කෝමාරිකා වගාව මිශ්‍ර භෝගයක් ලෙස ගෙවතුවල වගා කිරීම ඉතා ම යෝග්‍ය වන අතර මහ පරිමාණ ඒකභෝග වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමෙන් මේ ආකාරයෙන් ගැටලු බොහොමයක් උද්ගත වනු ඇත.

අණපනත් උල්ලංඝනය කිරීම

විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ඕනෑම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම්ව එම අනුමැතිය ලබා ගත යුතු ය.

මේ නෛතික තත්ත්වය උල්ලංඝනය කිරීමට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අවුරා ලංකා සමාගම මඟින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ සංශෝධිත 1980 අංක 47 දරන පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50කට වැඩි භූමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.

අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම්, ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත්ව අනුමැතිය ලබා ගත යුතු ය.

ජාතික පාරිසරික පනතේ 23 අ අ උප වගන්තියට අනුව නිවැරැදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත්ව අනුමැතිය ලබා ගැනීමකින් තොරව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000.00ක් නොඉක්මවන දඩයකට හෝ වසර 2ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම හෝ යටත් කළ හැකි ය.

පාරිසරික පනත්වලට අමතරව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින්, මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43 අ හා 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තෝබර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනයට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම යන සියලු ක්‍රියාවලීන් සිදු කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි අගැයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත්, අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැත.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවස්තු ආඥාපනත යන සියලු අණපනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන් ම විනාශ කරද්දී, සියලු ම රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටලුවට කරුණකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14(1(උ) හා (ඌ) ව්‍යවස්ථාවල දැක්වෙන ලෙස නීත්‍යානුකූල කර්මාන්තයක නියුක්තවීමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස අවුරා ලංකා සමාගම මගින් යාය 18 ගම්මානයේ ගොවි ජනතාවට අහිමි කර ඇත. නිද්‍රාශීලීව පසුවන මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලු ම රාජ්‍ය ආයතන අවදි කිරීමේ වගකීම සියලු ජනතාවට ම ඇත. එසේ නොවුණහොත්, නුදුරු අනාගතයේ දී ම සමස්ත ලංකාවේ ම ගොවි ජනතාවගේ වගාබිම් සමාගම් විසින් අත්පත් කර ගනු ලබනු ඇත.

 

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

fourteen + ten =