දෙපැත්තම වාසි ගන්න – මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරක වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් බවට සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම (MCC) පත්ව තිබේ. ඇතැම් පිරිසක් පවසන්නේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු මර උගුලකට හසු වන බවය. ඇමෙරිකානු ආරක්ෂක හමුදාවල බලපෑම, රට තුළ දේශ සීමා ඛෙදීම, රටේ ඉඩම් ඉතා අඩු මිලට ඇමෙරිකාවට විකිණීම ආදී විවිධ චෝදනා ඒ අතර වේ. තවත් පිරිසක් පවසන්නේ එය රටට වාසිදායක, කිසිදු ගැටලූවක් ඇති නොකරන, රටට හිතරක ගිවිසුමක් බවයි.

සෝෆා සහ ඇක්සා ගිවිසුම්

කෙසේ වෙතත් මේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග ලංකාව අත්සන් තැබූ පළමු ගිවිසුම නෙවේ. සෝෆා සහ ප්‍රවේශ හා ප්‍රති සේවා ගිවිසුම (ඇක්සා) මීට පෙර අත්සන් තැබූ එවැනි ගිවිසුම් අතර ප්‍රධාන තැනක් ගනියි. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සෝෆා ගිවිසුම පළමු වරට අත්සන් කරන ලද්දේ පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ 1995 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටියදීය. මහින්ද රාජපක්ෂ මහත්මයත් ඒකට අත ඉස්සුවා. ඔහු ජනාධිපති වුණාට පසුත් අහෝසි නොකරපු, ඉතාම නරක අන්දමින් ලංකාවේ ස්වෛරීභාවයටත් ආරක්ෂාවටත් හානිදායකයි සෝෆා ගිවිසුම. 1995 මැයි 16 අත්සන් කරන ලද මෙම ගිවිසුම අනුව ඇමෙරිකානු හමුදාවේ සොල්දාදුවන්ට පාස්පෝට් නොමැතිව ලංකාවට ඒමටත්, ඔවුන් ගමන් කරන වාහන පරීක්ෂා නොකිරීමටත්, ඔවුන්ට නිදහසේ රට තුළ කටයුතු කිරීමටත් අවශ්‍ය සියලූ බලතල ලබා දෙනු ලැබීය. අදටත් බලාත්මක වන මෙම ගිවිසුම සරලව තේරුම් කළ හැක්කේ එක්සත් ජනපද මිලිටරි භටයන් විදේශීය රටක් තුල ක්‍රියාකාරී වීමේ රාමුව ස්ථාපනය කරන ගිවිසුමක් වශයෙනි.
මිලිටරි ප්‍රවර්ධනයන්ට පහසුකම් සලසන ඒ හා සමාන ගිවිසුමක් වන්නේ, 2017 අගෝස්තු මාසයේ අලූත් කළ ප්‍රවේශ හා ප්‍රති සේවා ගිවිසුමයි. 2007 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මුල් වරට අත්සන් තැබූ මෙම ගිවිසුමට, ප්‍රවර්ධන සහයෝගය, සැපයුම්, සේවා සහ ‘පෙර නුදුටු අවස්ථාවල දී’ ගුවන් තොටුපොලවල් හා වරායන් භාවිතා කිරීම ඇතුලත් වේ. තවමත් ප්‍රසිද්ධ කර නැති 2017 සංශෝධනය වඩා විස්තීර්න වන අතර, ගිවිසුම දින නියමයක් නොමැතිව වලංගු කර තිබේ.

මොකක් ද මේ MCC ගිවිසුම?

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිතය. එම ආධාර මුදල ලැඛෙන්නේ ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි. ලංකාව තුළ ක්‍රියාක්මක කරන ප්‍රධාන ව්‍යාපෘති දෙකක් සඳහා මෙම ආධාර මුදල් ලබා දීමට තීරණය වී ඇත.

ඉන් එක් ව්‍යාපෘතියක් වන ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට යෝජනා වී ඇත. ඉඩම් ව්‍යාපෘතිය යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිතය.

මෙම ගිවිසුම්ගත ආධාර සැපයීම සදහා සලකා බැලෙන නිර්ණායක කිහිපයක් තිබේ. ඒවා අතර ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහ ජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදිය අන්තර්ගත වේ. එසේම ආධාර ලබා ගැනීමේදී මිලේනියම් චැලෙන්ජ් ආයතනය ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති සීමාවන් කිහිපයක් ද පවතී. ඒ සීමාවන් අනුව හමුදා, පොලිස්, සන්නද්ධ, ජාතික ආරක්ෂක බලමුළු හෝ වෙනත් අර්ධ හමුදා සංවිධානක් හෝ ඒකකයකට සහාය දීම හෝ ඒවායේ පුහුණුව සඳහා ආධාර භාවිත කළ නොහැක. එසේම ඇමෙරිකාවේ නිෂ්පාදන වෙළෙදපොළට හෝ රැකියාවලට හානියක් වන පරිදි මෙම ආධාර උපයෝගී කර නොගත යුතුය. පරිසරයට, සෞඛ්‍යයට, සමාජ විෂමතාවන්ට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට අහිතකර කටයුතු වලට ඉඩ නොදිය යුතුය.

ව්‍යාපෘති යෝජනා කාගේද?

මෙම ව්‍යාපෘති සඳහා සැලසුම් සකස් කර ඇත්තේ 2016 වසරේදීය. එම සැලසුම් සඳහා මූලිකව පදනම් කරගෙන ඇත්තේ 2007 සහ 2011 වසර වල රජයේ සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද සංවර්ධන සැලසුම්ය. මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිඛෙන කොළඹ සහ ත්‍රිකුණාමලය යා කෙරෙමින් තිඛෙන සංවර්ධන සැලැස්මේ සිතියම එසේ සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිතියම්ගත කරන ලද සැලැස්මේම දැක්වෙන්නකි.

මෙම ගිවිසුම හරහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති අධ්‍යයනය කෙරෙනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයකිනි. මෙහි විශේෂත්වය වන්නේ, එම අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු දේශපාලනඥයෙකු ඇතුළත් නොවීමය. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අගමැතිවරයාගේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්, පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්, සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක් ඊට ඇතුළත් වේ.

සංවර්ධන සැලසුම් වල ඉතිහාසය

ලෝක ඉඩම් මංකොල්ලය සහ නොදියුණු රටවල ආර්ථික වර්ධන උවමනා අතර ඇත්තේ ඉතාම සෘජු සම්බන්ධයකි. එසේම ලංකාවේ ග්‍රාමීය යටිතල පහසුකම් මෙන්ම මුළු රටේම ප්‍රාදේශීය පරිපාලන ඒකක සදහා විධිමත් ඉඩම් පරිහරණ සැලසුම් සකස් කල යුතු බව අවිවාදාත්මක කරුණකි. ඒ සදහා ක්‍රමානුකූලව ඉඩම් පරිහරණය සමීක්ෂණ කර, ඌන උපයෝජිත ඉඩම් හඳුනාගෙන, තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් එම තොරතුරු විධිමත්ව සංවිධානය කර ක්‍රමානුකූල කිරීමද අත්‍යවශ්‍ය දෙයකි. ඊට අදාළ සැලසුම් සකස් කිරීම ආදි කාලයේ සිටම කෙරෙමින් තිඛෙන්නකි. ඒ අනුව කොළඹට සාපේක්ෂව තවත් නාගරික ‘කවුන්ටර් මැග්නට්’ එකක් ත්‍රිකුණාමලයේ ඇති කර, ඒ දෙක යාකරන කොරිඩෝ සංවර්ධන පටිය ඉතාම පැරණි සැලසුම් සංකල්පයන්ගෙන් එකකි. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට පෙර, දක්ෂිණ සංවර්ධන අධිකාරිය විසින් ඊට වඩා සුදුසු යයි දක්වමින්, මිලියන එකක ජනගහනයක් සහිත ‘අලූත් කවුන්ටර් මැග්නට් එකක්’ චන්ද්‍රිකා පාලන සමයේ යෝජනා විය. මහින්ද රාජපක්ෂ විසින් විසින් එය ඩැහැගෙන සියල්ල කර රනිල් ලවා චීනයට බාර දුන්නේය.

නමුත් පෙර සැලසුම් කළ කොරිඩෝව සහ පරණ මැග්නටය එතැනම තිබුණු අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයම නාගරික සංවර්ධන අධිකාරිය යටතට ප්‍රකාශ කර ගැසට් කරේ ඒ සදහාය. එය සිදු කලේ ද මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය. ඒ අතරතුර කාලය තුළ බහුජාතික සමාගම්වලින් සිදු කරන ඉඩම් කොල්ලය දිගටම සිදුවිය. ඩෝල් සමාගම ඉඩම් ගත්තේ එලෙසය. එයට අමතරව තවත් විශාල ප්‍රමාණයේ රජයේ ඉඩම් ඩැහැගැනීම දිගටම කරගෙන යන ලදී.

MCC සහ ඉඩම්

යෝජිත MCC ව්‍යාපෘතියේ ඇති අරමුණු අතර පැහැදිලිවම දක්වා ඇත්තේ සංවර්ධනය සදහා ඉඩම් ලබාදීම පහසුකිරීම ප්‍රධාන අරමුණක් බවයි. ඒ සඳහා වන උපායමාර්ගික මැදිහත් වීම වන්නේ පෞද්ගලික සහ රජයේ ඉඩම් වශයෙන් දැනට පවතින ඉඩම්වල අයිතිය සහ ඒවාගේ උපයෝජනය ආදී සියලුම දත්ත සහ තොරතුරු තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන එක්රැස් කර ඩිජිටල් තාක්ෂණය යොදා ඉඩම් තවදුරටත් විකිණිය හැකි තත්ත්වයට පත් කිරීමයි. මෙසේ විකිණිය හැකි ලෙස නිරවුල් කරන ඉඩම්, ආයෝජනයන් වෙනුවෙන් යොදා ගැනීම සිදු කරන අතර කුඩා හා මධ්‍යම ප්‍රමාණ පෞද්ගලික ආයතන සදහාද විශාල පරිමාණයේ කෘෂිකාර්මික, කර්මාන්ත, සංචාරක ආදී කාර්යන් සදහා ද යෙදවීමට නියමිතය. රටක ආර්ථීක සංවර්ධනය සඳහා මෙවැනි සැලසුම් සහ ආයෝජනයන් අත්‍යාවශ්‍ය වන නමුත්, ඒවා සිදු කරන්නේ කවුරුන් විසින්ද යන්නත්, ඉඩම් වල හිමිකාරීත්වය දෙනු ලබන්නේ කාටද යන්නත් තීරණාත්මකව බලපාන කරුණකි. විශේෂයෙන්ම ලෝකයේ සංවර්ධිත රටවලට ඇති වෙනත් රටවල ඉඩම් අත්පත් කර ගැනීමේ අරමුණු සහ දුප්පත් රටවලට ඇති සංවර්ධන අරමුණු අතර ඇති අන්තර් සම්බන්ධය මෙතැනදී කරළියට නොඑනු ඇතැයි පැවසීමට කිසිදු සහතිකයක් නොමැත. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලංකාවේ ඉඩම්වලට තවදුරටත් අත තැබීම සඳහා මෙම ගිවිසුම තුළ ඉඩකඩක් නිර්මාණ වී තිඛෙන බව පැහැදිළිය.

ප්‍රවාහන සැලසුම

මෙම ව්‍යාපෘතියේ අනෙක් අරමුණ ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් ඉලක්ක කර ඇති කොටස් දෙකෙන් එකක් කොළඹ තදාසන්න ප්‍රදේශයේ ප්‍රවාහන තදබදය අවම කීරීම සහ මධ්‍යම කඳුකර ප්‍රදේශ ආවරණය වන ආකාරයේ වට රවුම් ප්‍රවාහන පද්ධතියක් සංවර්ධනය කිරීම ඉලක්ක කර ඇත. මෙය ඇත්ත වශයෙන්ම අවශ්‍යම ව්‍යාපෘති දෙකකි. එහි ඇතුළත් මහියංගනය සිට හෙට්ටිපොල දක්වා වටරවුම් පාර මධ්‍යම පලාත සදහා සකස් කරන ලද මූලික ව්‍යුහ සැලැස්මටද ඇතුලත්ව තිබුණි. මෙම මාර්ග පද්ධතිය ඉතා වැදගත් වුවද, එය සහ ඉඩම් මාර්කට් කිරීම සඳහාම කරන ව්‍යාපෘතියක් වන්නේනම් එය කොතෙක් හිතකර වේද යන්න මැනවින් විමසා බැලිය යුතුය.

හොර පාරෙන් එන්නේ ඇයි?

බැලු බැල්මටම මෙම ගිවිසුමේ හොඳ සහ නරක දෙකම අන්තර්ගත බව පෙනී යයි. ලංකාව මේ මොහොතේ වැටී ඇති ආර්ථීක අර්බුදයේ තරම සලකා බැලු විට විදෙස් ආධාර සහ ණය ගැනීම් නොකර ඉදිරියට යා නොහැකිය. එහෙත් ඒවා කළ යුත්තේ රටට හානිදායක නොවන පරිදිය. එසේම රටේ ජනතාවට විනිවිද භාවයක් තිඛෙන පරිදිය. එසේ වුවද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නට යන්නේ අවම වශයෙන් එය පාර්ලිමේන්තුවේවත් සාකච්ඡා කිරීමකින් තොරවය. අනෙක් පැත්තෙන් මෙම ගිවිසුම මගින් ක්‍රියාත්ම කිරීමට යන ඉඩම් නිරවුල් කිරීම සඳහා ඇමෙරිකානු සමාගම් සම්බන්ධ කර ගැනීම දැනටමත් හොර පාරෙන් ක්‍රියාත්මක කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් මැන, සිතියම්ගත කිරීම මේ වන විට ද ක්‍රියාත්මක තලයට පැමිණ තිබේ. මීට පෙර එම මැනුම් කටයුතු හා සිතියම්ගත කිරීමේ කටයුතු සඳහා සුදුසුම ආයතනයක් තෝරා ගැනීම සඳහා අනු කමිටුවක් පත්කරනු ලැබීය. ඊට එහි ජනාධිපති ලේකම්වරයා, ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ශ්‍රී ලාංකිකයන් 4දෙනකත්= ඇමෙරිකා එක්සත් ජනපද නියෝජතියන් හතර දෙනෙකුත් ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉඩම් මැනුම් කටයුතු හා සිතියම්ගත කිරීම ලබා දිය යුත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට වුවද වෙනත් ආයතනයකට එය ලබා දීම සඳහා තීරණය කිරීමත් ඊට අදාළ කමිටුව නම් කිරීමත් සිදු කරන ලද්දේ කිසිදු විනිවිද භාවයකින් තොරවය. කෙසේ වෙතත් අවසානයේ දී ඇමෙරිකානු ට්‍රයිම්බල් සමාගමට මැනුම් කටයුතු කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 150කට ලබා දී තිබේ. ඒ අනුව ගිවිසුම කුමක් වුවත් එය ක්‍රියාත්මක කිරීමට යට ආකාරය පිළිබඳව දැන්මම සැක සංකා උපදවා ගැනීමේ වරදක් ද දැකිය නොහැක.

සෝෆා සහ ඇක්සා ආවේ හරි පාරෙන්ද?

1995 දී චන්ද්‍රිකා කුමාරතුංග විසින් පළමු වරට සෝෆා ගිවිසුම අත්සන් කරනු ලැබූයේ කැබිනට් මණ්ඩලයේ පමණක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. එහි දෙවනි අදියර වන 2007 මාර්තු 5 අත්සන් කරනු ලැබූ ඇක්සා ගිවිසුම අත්සන් කරන ලද්දේ කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියක් නොමැතිවය. එම ගිවිසුම අත්සන් කළ එක්සත් ජනපද නියෝජිතයා එවකට ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වූ අතර ශ්‍රී ලංකාවේ නියෝජිතයා වූයේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂය. සෘජුවම ඇමෙරිකානු හමුදාවට යුද ආධාර සපයන, ඇමෙරිකානු හමුදාවට වීසා නොමැතිව, කිසිදු පරීක්ෂාවකින් තොරව රට තුළ හැසිරීමේ අයිතිය ලබා දෙන එවැනි ගිවිසුමක් පවා කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියක් නොමැතිව අත්සන් කිරීමට එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේය. එහි ඇති අනෙක් විශේෂය වන්නේ එවැනි ගිවිසුමක් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට අත්සන් කළ රට ශ්‍රී ලංකාව වීමයි.

දේශපාලන බිල්ලා සහ බොරු තර්ක

මෙම ගිවිසුම තුළ ඇති ඇත්ත ගැටලූව සහ හොර පාරෙන් අත්සන් කිරීමට සූදානම් වීමට අදාළ විරෝධය වෙනුවට දැන් කරමින් සිටින්නේ ජනාධිපතිවරණය හමුවේ ජනතාවට බිල්ලෙකු මවමින් සිටීමය. අලූත් බිල්ලා පෙන්නන්නේ පරණ බිල්ලන් ගැන කතා නොකරමිනි. ඒ වෙනුවෙන් බොරු තර්ක ඉදිරිපත් කරමින්, ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් ගෝඨාභය රාපක්ෂගේ පාර්ශ්වය ජනතාව නොමග යවමින් තමන් සුද්දවන්න යයි පෙන්වීමට උත්සාහ ගනිමින් සිටියි. ඒ වෙනුවෙන් විමල් වීරවංශ විසින් විදුලි කේබල් මගින් රට දෙකඩ කරන බවත්, සැලසුම් දෙපාර්තමේන්තුව විසින්ම සකස් කළ සංවර්ධන සිතියම් පෙන්වා කොළඹ සිට ත්‍රිකුණාමලයට මාර්ගය දෙපස ඉඩම් ඇමෙරිකාවට ලබා දීමට සැලසුම් කර ඇති බවත් පවසයි.

තවත් පැත්තකින් පොහොට්ටු පක්ෂයේ නියෝජිතයෙකු වන හිමිනමක් උපවාසයක් ආරම්භ කරනු ලැබීය. එම භික්ෂුවගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ විට උන්වහන්සේගේ දේශපාලන නියෝජනයේ තරම පැහැදිළිවම දැක ගත හැකිය. ගිවිසුමට විරුද්ධව උපවාසයට වාඩි වූ උන්වහන්සේ අවම වශයෙන් ගිවිසුමේ කරුණු නොව, ගිවිසුමේ නමවත් නොදැන සිටීමෙන් ද, ඊට අනුබල දෙමින් සිටින පිරිස දෙස බැලීමෙන් ද මෙය සෘජුවය දේශපාලන විරෝධයක් බව තේරුම් ගත හැකිය.

දෙපැත්තම වාසියට

ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරණ වේදිකාවල කොතරම් කතා කළ ද සජිත් සහ ගෝඨා යන දෙදෙනාම සිටින්නේ ඇඟ බේරාගෙන දේශපාලන වාසි ගැනීමේ අරමුණ ඇතිවය. ගිවිසුම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කර ඇති ලිපියක සඳහන් වන්නේ මෙම ගිවිසුම අත්සන් කරන්නේනම් එය සිදු කරන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බවයි. සජිත් මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයාය. ඔහු නියෝජනය කරන ආණ්ඩුව ලහි ලහියේ ගිවිසුම අත්සන් කරන්නට යද්දී එය කල් දමන බවට කියන පරස්පර කතා වල ඇත්තේ හාස්‍යයක් පමනි. අනෙක් පැත්තෙන් ගෝඨාභය ඇමෙරිකාවේ නමවත් ගිවිසුමේ නමවත් ප්‍රසිද්ධියේ සඳහන් කරන්නේ නැත. ඒ වෙනුවට ඇත්තේ ඔහුගේ නලාකාරයන්ගේ ඇමෙරිකන් කුමන්ත්‍රණ කතා පමණි.

මේ දෙගොල්ලන්ම කරන්නේ ජනතා ඇන්දවීමකි. චන්ද්‍රිකා අවුරුදු එකොළහක් මහින්ද සහ ගෝඨාභය අවුරුදු දහයක්, මෛත්‍රීපාල, සජිත් සහ රනිල් අවුරුදු හතරක් මේවා නොදැන සිටියේ නැත. හමුදා මූලස්ථානය චීනෙට සින්නක්කර දෙන විට, ඇමෙරිකන් ඩෝල් සමාගමට හෙක්ටයාර දහස් ගණනක් සොච්චම් මුදලකට ලබා දෙන විට, කොළඹ වරාය, වරාය නගරය, කල්පිටිය දූපත් විදේශයන්ට ලබා දෙන විට මේ නලාකාරයන් සහ උපවාස කරන භික්ෂූන් පෙනෙන්නටවත් සිටියේ නැත.

තීරණය ඇත්තේ ජනතාව අතේය. මොවුන් විසින් විටින් විට ගහය දේශපාලන මල්වෙඩි වලින් ඇස් නිලංකාර කර නොගෙන හරි පාරට රට ගෙන ඒමේ වගකීම ඇත්තේ ජනතාවයට. ඇමෙරිකන් මැදිහත්වීම් මෙන්ම එවැනි මැදිහත්වීම් වලට පාර කැපීම ද වැලැක්විය හැක්කේ එවිටය.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

fourteen − 12 =