සරසවිය සහ නවාතැන

මගේ යාලුවෙක් එක්ක දවසක් ඔහු උසස් අධ්‍යාපනය හැදෑරූ සරසවිය ඉදිරියෙන් ගමනක් ගියා. ඔහු සරසවිය ඇස් මානයෙන් ඉවත් වෙනකම් ඒ දෙස බලාගෙන ගියෙ.පස්සෙ ඔහු කිව්ව ඔහුට සරසවිය දකිද්දි කුමක් හෝ නොදන්නා ආරක්ෂාකාරි බවක් දැනෙනව කියල. සරසවි බිම තුල ලොකු ආරක්ෂාවක් තියෙනව පවතිනව කියල හැඟීමක් තියෙනව කියල. ඒ මිත්‍රයා සරසවියෙන් නික්ම ගිය පසුත් සෑහෙන කාලයක් ජීවත් වුනේ ඒ සරසවිය අවට නවාතැන්වල.

මගේ ඤාති සොහොයුරෙකු මොරටුව සරසවියේ අධ්‍යාපනය හැදෑරුව. ඔහු සරසවි ජීවිතය ගත කලේ සරසවි නේවාසිකාගාරයේ සහ සරසවිය අවට බෝඩිම්වල. ඔහු ඉන්ජිනේරුවෙකු ලෙස සරසවි අධ්‍යාපනය අවසන්කල පසු ඔහුට සීදුව පැත්තෙ රැකියාවක් ලැබුණ. ඒ කාලෙ ඔහුගෙ නවාතැන මොරටු සරසවියට මෙහා පැත්තෙ පාරෙ පිහිටා තිබුණෙ. ඔහු සීදූවේ රැකියාවට ගියේ එතැන ඉඳල. ඔහුගෙන් ඒ ගැන ඇහුවාම කිව්වේ ඒ පරිසරය ඔහු හොඳට හඳුනනව කියල. කැම්පස් එක පේන මානයේ ඉන්න එක හොඳයි කියල ඔහු කිව්වෙ. ඔහු කියන්නෙ ගොඩක් අය එහෙම ඉන්නව කියල.

සරසවියකට ප්‍රේමයක්, බැඳීමක් ඇතිවෙන එක ස්වභාවිකයි, බොහෝ සරසවිවල එහෙම වෙන්න පුලුවන් පරිසරයක් නිර්මාණය කරල තියනව. ගොඩාක් වෙලාවට සරසවිය ගැන නිර්මාණය වූ ප්‍රේම ගීතයන්හීත් පදනම ඒ සෞන්දර්ය. ඒක අමරදේවගේ හන්තානේ කඳු මුදුන සිසාරා ගීතයේ සිට අමරසිරි පීරිස්ගෙ හන්තානට පායන සඳ ගීතය දක්වා බොහෝ ගීතවල දක්නට ලැබෙනව. ඒ ගීතවල වර්ණනය පේරාදෙනියෙන් එහාට ඇවිත් අනෙක් සරසවිවලටත් ඒ ආකාරයෙන්ම යොදා ගන්න පුලුවන්.

නීති විද්‍යාලය තියෙන්නෙ කොලඹ අලුත්කඩේ ප්‍රදේශයේ. අනෙක් සරසවි හෝ උසස් අධ්‍යාපන ආයතන සමඟ සන්සන්දනය කලහොත් නීති විද්‍යාලය පිහිටල තියෙන්නෙ ඉතාම කුඩා භූමි ප්‍රදේශයක. පර්චස් පනහක්වත් නැතුව ඇති, ඒ වගේම එය පිහිටා තියෙන්නෙත් අමුතුම පරිසරයක. කොලඹ ජනගනත්වය වැඩිම ප්‍රදේශයක. ඒ පරිසරයත් ඒ වගේම සෑහෙන වෙනස්, කලහකාරී, නොයෙකුත් අපරාධයන්ට නම් දරාපු ප්‍රදේශයක්. ඒත් නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවන්ට අලුත්කඩේ පරිසරයෙහි කිසිදු අමුත්තක් වෙනසක් නැහැ, ඒ පරිසරයට බැඳීමක් තියනව, ඒ පරිසරය අනාරක්ෂිත බවක් කිසිදාක දැනිල නැහැ, දැනෙන්නෙත් නැහැ. නීති විද්‍යාලයේ නේවාසිකාගාරයේ නම Voet-Inn (ෆුට් ඉන්). එතැනත් වෙනම උප සංස්කෘතියක් තියෙන තැනක්. එතැනින් එලියට යන බොහෝ අය කොලඹ රැකියාව කරන්න බලාපොරොත්තුවෙනව නම් ෆුට් ඉනය අවට නවාතැනක් තමයි ඉස්සෙල්ලම හොයන්නෙ. කොටින්ම නලින්ද ඉන්දතිස්සල, පද්ම බණ්ඩාරලා ෆුට් ඉනයෙන් එලියට ගිය පසු ඒ අවට මොරගස්මුල්ලෙන් සොයාගත් බෝඩිමට ෆුට් අවුට් කියල නමකුත් දැම්ම.

මේ කතාවලින් පෙනෙන්නෙ සරසවියක්, උසස් අධ්‍යාපන ආයතනයක් ගැන සිසුවෙකුගේ ඇති ආකල්පය. ඒක කුමක්ද කියල වචනවලින් කියන්න අමාරුයි, ඒත් හැමදාම උදේට ලෝ කොලේජ් එක පැත්ත නිකමට වගේ බලල උසාවි පරිශ්‍රයට ඇතුලුවෙන එක අවුරුදු විසි හතරක් තිස්සෙ සිදු වෙනව.

– උපුල් කුමරප්පෙරුම

 

Leave A Reply

Your email address will not be published.

16 + seventeen =