විපක්ෂයේ සටන්පාට නගමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ බලගාර ගිවිසුමට විරෝධය පා ජනපතිට ලිපියක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ආණ්ඩුවට ප්‍රසිද්ධියේ විරෝධය පළ කර ඇති අතර බරපතල දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

මෙහි තිබෙන අනතුරුදායක තත්වය පිළිබඳව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දින කිහිපයේම මාධ්‍ය හමු පවත්වමින් පැහැදිලි කළ අතර මේ වන විට එම කරුණුම උලුප්පා දක්වමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ද සිය විරෝධය දැක්වීම විශේෂත්වයකි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය,අපේ ජන බල පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් වහා සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට යවා ඇති බවද වාර්තා වේ.

යුගදනවි බලාගාරයේ ගිවිසුම යළි සලකා බලන්නැයි එම ලිපිය මගින් ඉල්ලීමක් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

ගිවිසුම ක්‍රියාත්මක උවහොත් ගෑස් බෙදා හැරීමේ ඒකාධිකාරය එක් සමාගමකට පැවරීම බරපතල තත්වයක් බව ද, එම ලිපිය මගින් දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ .

මෙම ලිපියට අත්සන් තබා ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන පිරිස බවද වාර්තා වේ.

ඉකුත් බ්‍රහස්පතින්දා අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ද අරලියගහ මන්දිරයේ දි මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ නමුත් එම සාකච්ඡාව ද අසාර්ථක විය .

Leave A Reply

Your email address will not be published.

eighteen + 17 =