දේශපාලන මිථ්‍යාවේ ආයුෂ කෙටි ය

විද්‍යාවෙන් කිසියම් දෙයක් පිළිබඳ සත්‍යය අනාවරණය කරන තුරු ඒ පිළිබඳව වන මිථ්‍යාවට පැවැත්මක් හිමි වෙයි. ඒ අතරම විද්‍යාවේ සොයාගැනීම් සාපේක්ෂ වන අතර, අනාවරණය කර ගන්නා සාපේක්ෂ සත්‍යයන් තුළින් තවත් සත්‍යයන් සොයා ගනිමින් ඉදිරියට ගමන් කරයි. මෙය මානව සංහතියේ සුවිශේෂී ගුණයක් පෙන්නුම් කරයි. සත්‍යය හා මිථ්‍යාව අතර සම්බන්ධය එසේ වුවත්, මිථ්‍යාව හා දේශපාලනය සම්බන්ධ වූ විට පවතින්නේ වෙනස්ම තත්ත්වයකි. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් පසුගිය දා මිය ගිය අගමැති මහින්ද රාජපක්ෂ පවුලේ රාජකීය වෛද්‍යවරයා සම්බන්ධ සිදුවීමෙන් මෙම කතිකාව අලුත්  වී තිබේ. එය අපේ සමාජ – දේශපාලනය විනිවිද බැලීමේ එක්තරා කැඩපතක් යැයි කීවොත්, එය වැරැදි නැත.

සියයක් මිථ්‍යා ප්‍රතිකර්ම සිදු කරන විට විවිධාකාර වෙනත් හේතු නිසා එකක්, දෙකක් හෝ කිහිපයක් හරි යාමේ සම්භාවිතාවක් ඇත. එහෙත්, හරි නොයන ඉතිරි සියයට අනූනවය, අනූඅට ගැන කිසි විටක සඳහන් කරන්නේ නැත. කරළියට ගන්නේ – ප්‍රචාරයට ගන්නේ – අර හරි ගිය එක හෝ දෙක ය.

ඒලියන්ත වයිට් යනුවෙන් තමා හඳුන්වා ගත් මෛ පුද්ගලයා රාජපක්ෂ පවුලේ වෛද්‍යවරයා වන්නේ ඒ සඳහා වූ කිසිදු අධ්‍යාපනික සුදුසුකම්, පුහුණුවක් හෝ නෛතික සුදුසුකම් සපුරාලීමෙන් නොවේ. ඒ විශ්ව බලය හා කුණ්ඩලිනි ශක්තිය ඔහුට තිබෙන බවට වූ මතය නිසාවෙනි. එම බලයෙන් රෝග සුවකිරීමේ හැකියාවක් තිබෙන බව ද ප්‍රකාශ විය. ඔහු රාජපක්ෂ පවුලේ වෛද්‍යවරයා වීමත් සමඟ ඔහුට දේශපාලන බලයක් ද හිමි විය. 2015ට පෙර මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ය. දැන් අගමැති ය. ඔහුගේ එක් සොහොයුරෙක් ජනාධිපති ය. තවත් හොහොයුරෙක් මුදල් ඇමැති ය. වැඩිමහල් සොහොයුරා ද, පුතණුවෝ ද ඇමැතිවරු ය. මේ නිසාවෙන් රාජකීය වෛද්‍යවරයාට ජනාධිපති අරමුදලෙන් දීමනා ද,  විශේෂ ආරක්ෂාව ද, යාන-වාහන ද ඇතුළු තවත් බොහෝ දේවල් හිමි වූයේ ය.

ඒ අතර දේශපාලකයන් ද, නළු නිළියන් ද, ක්‍රීඩකයන් ද ඇතුළු තවත් ජනප්‍රිය පුද්ගලයන් රැසක් ඔහුගෙන් ප්‍රතිකාර ගත් බව ද කියැවේ. ඒ අය අතුරින් බොහෝ දෙනෙක් විවිධ අකරතැබ්බවලට මුහුණ දුන් බවත්, කිහිප දෙනෙක් ජීවිතවලින් ද සමු ගත් බවත් අප්‍රකට කරුණු ය. සුව වූ ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතැයි ද කියැවේ. මෙවැනි කටයුතුවල දී සාමාන්‍යයෙන් සිදු වන සම්භාවිතා න්‍යාය මිථ්‍යා මත වපුරන්නෝ ප්‍රයෝජනයට ගනිති. සියයක් මිථ්‍යා ප්‍රතිකර්ම සිදු කරන විට විවිධාකාර වෙනත් හේතු නිසා එකක්, දෙකක් හෝ කිහිපයක් හරි යාමේ සම්භාවිතාවක් ඇත. එහෙත්, හරි නොයන ඉතිරි සියයට අනූනවය, අනූඅට ගැන කිසි විටක සඳහන් කරන්නේ නැත. කරළියට ගන්නේ – ප්‍රචාරයට ගන්නේ – අර හරි ගිය එක හෝ දෙක ය.

කොවිඩ් වසංගතය සමඟ ඒලියන්තගේ භූමිකාව විශාල සමාජ බලපෑමක් කළේ ය. එනම්, ඔහු සතු කුණ්ඩලිනි ශක්තිය  කොවිඩ් වෛරසය පරාජය කිරීමට යොදා ගත හැකි බවට පැතිර වූ මතයයි. මේ මඟින් කොවිඩ් රෝගීන් සුව කළ අන්දම හෙතෙම මාධ්‍ය හරහා රටට ම ප්‍රචාරය කළේ ය. හිටපු සෞඛ්‍ය ඇමැතිනිය ඇතුළු වෙනත් ඇමතිවරුන් බොහෝ දෙනකු විසින් ගංගාවලට මොනවාදෝ මුට්ටි වගයක් දමනු ලැබුවේ ඔහුගේ උපදෙස් පරිදි ය. කෙසේ වෙතත්, අවසානයේ ඒලියන්ත වයිට් විශ්වාස කළ පිරිත් පැන් කළවලට, කුණ්ඩලිනි ශක්තියට හෝ විශ්ව ශක්තියට හෝ ඔහුව ගලවා ගන්නට නොහැකි වුණු බව පැහැදිලි ය.

කෙසේ නමුත්, ආණ්ඩුවේ බලධාරීන් විශ්වාස කළේ මෙවැනි මිථ්‍යාවන් බව ‘ධම්මික පැණිය’ වැනි නාටකවලින් හොඳටම පැහැදිලි විය. කනගාටුවට කරුණ නම්, රටේ ප්‍රධාන වෛද්‍ය සංගමයේ නායකයන්ද, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් පවා සිදු කරනු ලැබුවේ මෙම මිථ්‍යාවන්ට අනුබල දීමයි. මේ සියලු තත්ත්වයන් නිසාවෙන් සිදු වූයේ කොවිඩ් වෛරසය පරාජය කිරීම සඳහා රටක් ලෙස කඩිනමින් කළ යුතු වූ බොහෝ දේ අපට මඟහැරීමයි. ඒ මඟහැරීම හේතුවෙන් ජීවිත දහස් ගණනක් බිලි දෙමින් ද, රෝගීන් ලක්ෂ ගණනක් බිහි කරමින් ද රටක් ලෙස අප වන්දි ගෙවා තිබේ.

වත්මන් ආණ්ඩුවේ බල ව්‍යාපෘති තුළ මේ සියලු මිථ්‍යාවන් ප්‍රකාශයට පත් වෙයි. නාථ දෙවියන්, කාලි මෑණියන්, වශී බෝල, විශ්ව ශක්තීන්, කේන්දර, හක්ගෙඩි බලයන්, ආගම්වාදය හා ජාතිවාදය ආදී මෙකී නොකී සියල්ල ය.

ඒ අතර, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු තීන්දු තීරණ ගන්නේ අනුරාධපුර ප්‍රදේශයේ මෙවැනි අනාවැකි කියන එක්තරා මෑණි කෙනකුගේ උපදෙස් මත ය යන්න ද ප්‍රකට කරුණකි. මේ සියල්ලෙන් පෙන්නුම් කරනුයේ, සමාජ දේශපාලන යථාර්ථයයි. මෙවන් අන්ත පසුගාමී දේශපාලනයකදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය, සමානාත්මතාව, නිදහස  වැනි  සංකල්ප කෙතරම් දුරද යන්න නොකිවමනාය. එහෙත් දේශපාලන මිත්‍යාවේ ආයුෂ කෙටිය.

විද්‍යාවේ ආලෝකය කරා මෙවන් සමාජයක් ගෙන යාම හුදු මතවාදී සටනකින් පමණක් කළ හැක්කක් නොවේ. එය පැහැදිලිව ම දේශපාලන කටයුත්තකි●

 

Leave A Reply

Your email address will not be published.

3 × 2 =