බලය රැකගන්න ඡන්ද ක්‍රමයෙන් ගේම් ගැසීම

රටේ බරපතළ ආර්ථික අර්බුදයක් තිබේ. දිනෙන් දින බඩු මිල ඉහළ යයි. රුපියල බාල්දු වෙයි. ජනතාවගේ ආදායම් අඩු වී යයි. ණය අර්බුදය සුළුපටු එකක් නොවේ. ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට ආණ්ඩුව විවිධ උත්තර සොයයි. ඒ හැම උත්තරයකින් ම නැවත නැවතත් අර්බුද මතු කරයි.

දැනට ආණ්ඩුව ප්‍රධාන උත්තර හතරක් තෝරාගෙන ඇත. පළමුවැන්න මුදල් අච්චු ගැසීම ය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූ කෙටි කාලය තුළ ටි්‍රලියන දෙකකට ආසන්න මුදල් ප්‍රමාණයක් අච්චු ගසා ඇත. කබ්රාල් මහ බැංකුවේ වැඩ භාර ගන්fන් පහුගිය 15 වැනිදා ය. එදා ම රුපියල් මිලියන දහතුන්දාහක මුදල් අච්චු ගැහුවේ ය. ඊට දින හතරකට පහකට පස්සේ තවත් මිලියන විසිතුන්දාහක මුදල් අච්චු ගැහුවේ ය.

මහ බැංකුවේ ප්‍රධානතම අරමුණ වන්නේ මිල ස්ථායීකරණය කිරීම සහ මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය කිරීමය. මිල ස්ථායීකරණය යනු උද්ධමනය පාලනය කිරීම ය. මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය යනු පොලී අනුපාත, බැංකු පද්ධතිය, විනිමය අනුපාතය ආදිය ස්ථායීව පවත්වා ගැනීම ය. මේ දෙක ම බරපතළ අර්බුදවලට මුහුණ දී තිබේ. සල්ලි අච්චු ගැසීමෙන් සිදු වන්නේ මුදල් සංසරණය වැඩි වීමය. මුදල් තිබුණාට ඊට සාපේක්‍ෂව භාණ්ඩ නිෂ්පාදනයක් නැත. එවිට ඉල්ලු ම වැඩි වන අතර, ඉල්ලුමට අනුව සැපයුමක් නැත. ප්‍රතිඵලය වන්නේ වේගයෙන් භාණ්ඩ හා සේවා මිල වැඩි වීම ය. අද බඩු මිල වැඩි වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය.

දෙවැන්න තව තවත් ණය ගැනීම ය. කැබිනට් මණ්ඩලය මේ වසරේ ණය ගන්නා සීමාව ද වැඩි කර ගත්තේ ය. එය තවත් බිලියන හාරසියයකින් වැඩි කළේ ය. එවිට වසරේ මුළු ණය ගැනීමේ සීමාව බිලියන තුන්දහස් හාරසියය දක්වා ඉහළ යයි.

තුන්වැන්න ලෙස තෝරාගෙන ඇත්තේ, ජාතික සම්පත් විකුණා දැමීමයි. කොළඹ වටිනා ඉඩම්, වරාය, කෙරවලපිටිය බලාගාර විකුණා දමන්නේ ඒ වෙනුවෙන් ය.

හතරවැන්න ආනයන සීමා කිරීම ය. බොහෝ කාලයක් තිස්සේ වාහන ආනයනය මුළුමනින් ම නතර කොට තිබේ. ඊයේ පෙරේදා තවත් භාණ්ඩ රාශියක් ගෙන්වීම සීමා කරනු ලැබී ය. රසායනික පොහොර ගෙන්වීම නතර කරනු ලැබුවේ ද ඒ වුවමනාවෙනි. මේ සියලු උත්තර පෙරළා නැවත නැවත ආර්ථික, සමාජ අර්බුද නිර්මාණය කරයි.

මුදල් අච්චු ගැහුවාම මොකද?

මහ බැංකුවේ ප්‍රධානතම අරමුණ වන්නේ මිල ස්ථායීකරණය කිරීම සහ මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය කිරීම ය. මිල ස්ථායීකරණය යනු උද්ධමනය පාලනය කිරීම ය. මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය යනු පොලී අනුපාත, බැංකු පද්ධතිය, විනිමය අනුපාතය ආදිය ස්ථායීව පවත්වා ගැනීම ය. මේ දෙක ම බරපතළ අර්බුදවලට මුහුණ දී තිබේ. සල්ලි අච්චු ගැසීමෙන් සිදු වන්නේ මුදල් සංසරණය වැඩි වීම ය. මුදල් තිබුණාට ඊට සාපේක්‍ෂව භාණ්ඩ නිෂ්පාදනයක් නැත. එවිට ඉල්ලු ම වැඩි වන අතර, ඉල්ලුමට අනුව සැපයුමක් නැත. ප්‍රතිඵලය වන්නේ වේගයෙන් භාණ්ඩ හා සේවා මිල වැඩි වීම ය. අද බඩු මිල වැඩි වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය. ආණ්ඩුව ලබා ගන්නා ණයවලින් දවස ගෙවා ගත හැකි ය. එහෙත්, ඒ ණය පොලියත් එක්ක ආපසු ගෙවිය යුතුව තිබේ. මේ වන විට පරණ ගත්ත ණය හා පොලිය ගෙවීමට අවුරුද්දකට ඩොලර් බිලියන හයක මුදලක් අත්‍යවශ්‍ය වේ. එහෙත්, ඊට සාපේක්‍ෂව ආදායමක් නැත.

ළඟ එන මැතිවරණ

මේ තත්ත්වය නිසා ම රටේ ජනතාවගෙන් බරපතළ විරෝධයක් ආණ්ඩුවට එල්ල වේ. ඡන්දය දුන් ජනතාව ඉන්නේ තදබල කලකිරීමකින් ය. ඒ කියන්නේ, මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත්, ජනාධිපතිත්, ආණ්ඩුවත් ගෙදර යවන තත්ත්වයක ය. ඒ කාලයේ පළාත් සභා කල් දාන එකට තදින් විරෝධය දක්වපු රාජපක්‍ෂ කණ්ඩායම අද ඒ ගැන කතාවක්වත් නැත. එවැනි ඡන්දයක් තමන්ට මේ වෙලාවේ කොහොමත් අවාසි නිසා ය. එහෙත්, වළක්වන්නට බැරි විදියට ම ප්‍රාදේශීය සභාවල, නගර සභාවල නිල කාලය ලබන මාර්තු වන විට අවසන් වන්නේ ය. අවශ්‍ය නම් විෂයභාර ඇමැතිවරයාට තවත් මාස හයකින් ඡන්දය කල් දැමිය හැකි ය. එහෙත්, එය ආණ්ඩුවට එතරම් හොඳ දෙයක් නොවේ ය. පළාත් සභා ගැන නම් කියන්නට හේතුවක් තිබේ. ඡන්ද ක්‍රමයේ නෛතික ගැටලුවක් නිසා එය පවත්වන්නට හැකියාවක් නැතැයි කිව හැකි ය. එහෙත්, පළාත් පාලන ඡන්දයට කියන්නට සාධාරණ හේතුවක් නැත. එයට මුහුණ දෙන්නට සිදු වේ.

ඒ ගැන හිතන ආණ්ඩුව දැන් කරන්න යන්නේ අමුතු ම තාලයේ වැඩකි. මේ වෙනුවෙන් ම පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කර ගත්තේ ය. එහි සංයුතිය සාදාගෙන ඇත්තේ ම තමන්ට උපරිම වාසි වන ආකාරයෙනි. එනම්, ආණ්ඩුවට දහයයි, විපක්‍ෂයට පහයි ලෙස ය. බැසිල් ආවාට පස්සේ මෙය දෙපැත්ත ම එක බැගින් වැඩි කර ගත්තේ ය. දැන් බැසිල් ද එහි සාමාජිකයෙකි. එතැන විපක්‍ෂයට ඇත්තේ, අන්තිම අසාධාරණ වූ නියෝජනයකි. මේ වන විට එහි සාකච්ඡා කරන්නේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන සඳහා වූ පොදු එක ඡන්ද ක්‍රමයක් ගැන නොවේ. එහෙත් විය යුත්තේ එයයි. එනම් ජනගහනයේ ව්‍යාප්තිය සහ භූගෝලීය ස්වභාවයන් සලකා බලා රටට ගැළපෙන පොදු එක ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම ය. ඒ වෙනුවට සිදු වෙමින් ඇත්තේ ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයෙන් තමන්ට උපරිම වාසි ගන්න පුළුවන් ආකාරයේ ක්‍රමයක් සකසා ගැනීම ය.

කෙසේ හෝ දිනන සූත්‍රය

දැනට තියෙන ක්‍රමයට ඡන්දය තිබ්බොත්, එය ආණ්ඩුවට අන්තිම අවාසි ය. ඒ නිසා ම කඩිමුඩියේ මේ ලැහැස්ති වෙන්නේ මොන ගේමක් ගහලා හරි තමන්ට වාසි ක්‍රමයක් සකසාගෙන ඡන්ද ක්‍රමයෙන් ගේමක් ගහන්නට ය. ජේ. ආර්. ජයවර්ධන එදා බලය තහවුරු කර ගත්තේ ද ඡන්ද ක්‍රමයෙන් ගේම් ගහලා ය. බැලූ බැල්මට කියන්නේ දැනට ඇති අනුපාතය වෙනස් කිරීමක් ගැන ය. එනම්, කොට්ඨාසවලින් සියයට හැත්තෑවක් සහ සමානුපාතික ලෙස සියයට තිහක් ලෙස ය. මෙය ජනතාව රවට්ටන අමු ම අමු බොරුවකි. ඇත්තට ම කරන්නට ලැහැස්ති වන්නේ අනිවාර්යය කාන්තා නියෝජනය ආදිය අහෝසි කිරීම ය. දෙදහස් දොළහේ ගෙනාපු ක්‍රමය ආපසු ගෙන ඒම ය. ඒ ක්‍රමයට අනුව මන්ත්‍රීවරුන් පත් වන්නේ ගණිතමය සූත්‍රයකට අනුව ය. ඒ සූත්‍රයෙන් වැඩි වාසිය වන්නේ ද ආණ්ඩු බලය හොබවන කණ්ඩායමට ය. කොටින් ම ගතහොත්, එය ද්විපක්‍ෂ ඡන්ද ක්‍රමයකි. හැම දා ම බලය වැඩි පැත්තට වාසි ගෙන දෙන්නකි. අලුත් මතවාදයක් ඇති අලුත් ප්‍රතිපත්තියක් ඇති අනෙකුත් පක්‍ෂ සියල්ල ඩෝසර් කර දමන ක්‍රමයකි. එදා එය අහෝසි කර දැම්මේ ඒ අසාධාරණ ප්‍රතිපත්තිය නිසා ම ය. දැනට පවතින ක්‍රමයේ ගැටලු රාශියක් ඇති බව සැබෑ ය. සභාවල මන්ත්‍රීවරුන් ප්‍රමාණය වැඩි විම ඉන් එක ගැටලුවකි. එයට උත්තරය පහසුවෙන් සොයා ගත හැකි ය. පවත්නා කොට්ඨාස ප්‍රමාණය අඩු කිරීම සරල ම උත්තරයයි.

ඡන්ද ක්‍රමයක් වෙනස් කළ යුත්තේ විටින් විට ආයෙ ආයෙත්, නිතර වෙනස් කරන ලෙස නොවේ ය. යම් දිගු කාලයක් පවත්නා අයුරින් ය. ලෝකයේ දැනට ඇති වඩාත් ම ප්‍රජාතන්ත්‍රවාදී හොඳ ම මැතිවරණ ක්‍රමය සමානුපාතික ක්‍රමයයි. අපේ රටේ දී එහි ගැටලුව වී ඇත්තේ, මනාප බලුපොරයයි. සැබැවින් ම ගතහොත්, මනාප ක්‍රමය ද ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් ඉදිරි පියවරකි. එහෙත්, ලංකාවේ දේශපාලන සංස්කෘතිය අනුව එය බරපතළ ගැටලු ඇති කරන්නක් වී ඇත. එයට පිළිතුරක් සොයා ගත හැකි ය. එය ඉතා පහසු දෙයකි. ඒ වාගේ ම රටක ඡන්ද ක්‍රමය එකිනෙකට වෙනස් වීම ද ගැටලුවකි. පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මේ සියල්ල සඳහා පැවැතිය යුත්තේ, එක ක්‍රමයකි. ඒ වාගේ ම එය සලකා බැලිය යුත්තේ, විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක ය. සමානුපාතික ක්‍රමය ගෙනාවේ විධායක ක්‍රමයත් එක්ක ය. හරි නම්, සමානුපාතික ක්‍රමය වෙනස් කරන්නේ නම්, එය ද වෙනස් විය යුතු ය. සිදු විය යුත්තේ එවැනි තලයක සිට සාකච්ඡා කොට නිවැරැදි ක්‍රමයක් රටට හඳුන්වා දීම ය. එහෙත්, සිදු වෙන්න යන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි.

ජගදාක්‍ෂි
Leave A Reply

Your email address will not be published.

3 + fifteen =