“දම් පාට මේකුළ” කින් මෑත්වන අපූරු කිවිඳියක්

කවිය යනු මේ අනන්ත විශ්වයේ විවිධ රිද්මයන්ගේ එකතුවකි. විටෙක එය ජලය ගලාගැලෙන රිද්මය උකහා ගනී. තවත් විටෙක සුළඟේ විවිධ රිද්මයානුකූල ගමන් තාරතාවන් ද, කුරුළු කූජනයන්ගේ විවිධ ස්වරයන්ද ආදි වශයෙන් රිද්මයානුකූල ආකෘතීන් හි හැඩය ඉල්ලා සිටී. කවියේ ආකෘතිමය හැඩය එක් එක් විරිත් වලට ඇතුලත් කිරීමට සාහිත්‍ය කලා විචාරකයින් පුරාතනයේ සිට උත්සාහ ගෙන තිබේ. අකුරු, වැකි හා නිහඬතාවය එක් එක් ආකාරයෙන් ගලපා ලිවීම තුල රිද්මය උපදී. එනිසා භාෂාවේ රිද්මය කවියේ රස නිෂ්පත්තියට මෙන්ම අර්ථ සංයෝජනයට ද බෙහෙවින් ම බලපායි. බටහිර නූතන විචාරකයින් පවසන්නේ “Rhythm can help to strengthen the meaning of words and ideas in a poem.” ලෙසිනි. එනයින් ගත් කල වචනාර්ථය බලවත් කිරීමටත්, අදහස ප්‍රබල කිරීමටත් කවියේ රිද්මය සුවිශේෂීව බලපානු ලබයි.

කවියේ රිද්මය ගැන වෙසෙස් අවධානයක් යොමු කරන නූතනම කිවිඳියක වන මේඛලා උදාරි ලියනගේ අපට සම්මුඛ වන්නේ ඇයගේ ” දම්පාට මේකුළ ” නම් වූ ප්‍රථම කාව්‍ය එකතුව තුලදී ය. මෙම කාව්‍ය එකතුව සමස්ථයක් ලෙස ගත් කල විවිධාකාර වූ කාව්‍ය ආකෘතිමය රිද්මයන් ගණනාවක එකතුවක් ලෙස සැලකීම වඩා යුක්ති සහගතය.

කවියක රිද්මය යනු කවියේ එක් සංයෝග මූල ද්‍රවයක් පමණි. කවියක් සියළු පාර්ශවයන් ගෙන් සාර්ථකත්වය අත්පත් කරගැනීමට නම් රිද්මය පමණක් නොව, අනුභූතිය, බස හා කූටප්‍රාප්තිය මෙන්ම ඒ තුලින් රසික ජනයාගේ සිතුම් කලාපීය වෙනසක් ඇතිකිරීමද ඇතුලත් විය යුතුය. ඒ සමස්ත සංයෝගයන් තුලින් දියුණු රසිකත්වයක් ඇති, පෞද්ගලිකව මෙන්ම සමාජයීය යහපත් පුද්ගලයෙකු නිර්මාණය කරගැනීමේ අභිලාෂයක් ද අන්තර්ගත විය යුතුය.

මේඛලා ගේ “දම් පාට මේකුළ” කෘතිය රස විඳින විට එවැනි රසිකත්ව බලපෑමක් ඇතිවිය හැකි නිර්මාණ ගණනාවක් හමුවේ. ඒවා අඩුවැඩි වශයෙන් එමගට පිළිපන් ඒවා බව සඳහන් කිරීම වඩාත් යුක්ති සහගතය. එවැනි ලක්ෂණ පළකල නිර්මාණ කිහිපයක් ඇසුරු කරගෙන මෙය සාකච්ඡා කිරීම මේ සටහනේ මුඛ්‍යාර්ථයයි. “වඳ කෙසෙල් ගහකට” යන නිර්මාණය ශ්‍රී ලාංකික ගැමියා ගේ විශ්වාසයක් හා භාව ප්‍රකාශන විධි උපයෝගී කරගත් අපූරු කාව්‍ය නිර්මාණයකි. දරුවන් නොලද ස්ත්‍රිය වඳ ගැහැනියක ලෙස පරිහාසයට ලක්කිරීම අපේ ගැමි සමාජය තුල දක්නට ලැබෙන සුලබ කාරණයකි. ඇය අසුබ නිමිත්තක් ලෙසද පිලිගන්නා ගැමියා එවැනි ගැහැනියක උදෑසන සම්මුඛ වීම දිනය හෝ කාර්යයන් අසාර්ථක වීමේ පෙර නිමිත්තක් ලෙස සලකයි.

වඳ කෙසෙල් ගහකට
කොට කැත්ත අමෝරා
අම්මා කෙටුවේම පපුවට
ඉලක්කය තියලා

වඳ ගැහැනියක ලෙස සිය නැන්දම්මාගේ පරිහාසයට ලක්වන ඇය තම වඳභාවයට හේතුව දන්නා ජීව විද්‍යාව උගත් ගැහැනියකි. වරද ඇත්තේ ඇගේ නොවේ. වෙනත් බාහිර හේතුවක් නිසාය. සිය වෛවාහක ජීවිතයේ සම්භෝග කාලය ඇයට සහ සැමියාට මග හැරෙන්නේ ආර්ථික ගැටලුව විසඳාගැනීමට සැමියා ප්‍රමුඛතාව දීමට යාමෙනි.

ටියුෂන් කෙළවරක් නෑ එක පිට
ටියුට්, හිඟ පීස් ගැන මැසිවිලි
වීරේ හරි දිගයි හැම රෑම
පොඩි වෙන්නෙ නැති ඇතිරිලි

ලිංගික ජීවිතය අහිමිවීම සංකේතාර්ථවත් බසකින් ඇය පවසන හැටි අපූරුය. කවිය පරිපාකයට ගෙන යමින් එහි කූටප්‍රාප්තිය ඇය සටහන් කරන්නේ රසිකයා ගේ මනෝභාවයන් අවදිකරමින් තමන්ගේ විශ්වාසයන් හා පිලිගැනීම්‍ යළි ප්‍රශ්න කරන්නට පොළඹවමිනි.

ඉස්කෝලේ යන කාලේ මමත්
ජීව විද්‍යාව ආසම
අම්මට කියා දෙනවද වීරෙ
‘පරාගනය’ ගැන පාඩම.

මේඛලා ගේ බහුතර කාව්‍ය නිර්මාණනයන් තුල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ කවියේ කූටප්‍රාප්තිය ගැන ඇගේ ඇති තියුණු කල්පනා කිරීමයි. ‘කුස ගිනි නිවූ මවක් නිදී’ නිර්මාණය සිය සමස්ත වෙරවීරිය යොදා දරුවන් කුස පුරවා හදා වැඩූ මවක පිළිබඳ චරිතාංග රචනයකි. මේඛලා මෙහිදි මව පිළිබඳ චිත්‍රය අප පරිකල්පනීය ලෝකය තුල චිත්‍රනය කරන්නේ අවස්ථා සිද්ධි කිහිපයක් උපයෝගී කරගෙනය.

ඉඳ හිට දාක කුලියක් වත් නොම තිවුව
ඉටු දූ ඈය අප ළිප ගිනි ඇවිලෙව්ව
ළා පල, තුරුණු පල සති පොලටත් යැව්ව
ඉදුණම සුවඳ විහිදේ ගව්සිය ගවුව

ආකෘතියේ රිද්මය ද නොනසා ඇය අවස්ථාව නිර්මාණය කරන ආකාරය සැලකිල්ල යොමුවිය යුත්තකි. දරුවන් වැඩිමහල්ලන් වූ පසු දිනෙක මේ මව මිනිසා විසින් නිර්මාණය කල විපතකට (Man made disaster) මුහුණ දී මියයයි. කන්දක් නාය ගොස් ඊට ගොදුරුව ඇයගේ දිවි තොරවේ. මේඛලා යළි වතාවක් කවිය කූටප්‍රාප්තිය දක්වා ගෙන යන්නේ අපේ හදවතේ බරපතල රිදුමක් ඇති කරවමිනි.

කැටි කැටි කඳුළු අහසක රළු සුසුම් වැදී
හිටි සිය වසක් වියපත් බඳ රිදුම් දිදී
පිටි නිය අගින් වත් විපතක් අපට නොදී
පැටි විය අපේ කුස ගිනි නිවු මවක් නිදී.

අත්දැකීමට සමපාත වන ආකාරයෙක් ගැමි වහර කවියට ඇය භාවිතා කරන අයුරුද ඇගේ කවි මගේ සුලක්ෂණයකි.
‘එදා අප පාසලේ’ නිර්මාණය වෙනම රිද්මයානුකූල ආකෘතිය බහා ඇය අපට ඉදිරිපත් කරන්නේ එය උපයුක්ත අත්දැකීමට ගැලපෙන නිසාය. පාසැල් වියේ දී රඟ දැක්වූ සඳ කිඳුරු නාට්‍යයේ රඟ පෑ, තමන් තුල ප්‍රේමයක් ජනිත කල යෞවනිය පසු කලෙක ඔහුට හමුවන්නේ සති පොළේ දී ය. ඒ එදා දුටු ආකර්ෂණීය යෞවනිය ලෙසින් නොවේ.

උපුල් නෙත් යුග සොඳුරු
කඳුලටම වී මිතුරු
එදා හැඩ යුග තිසරු
බිම බලා ඇති අයුරු

සති පොළේ දී මේ ගැහැනිය ඔහුට හමුවන්නේ සිය ජීවිතය ගෙන යාමට බොහෝ දුක් විඳින කාන්තාවක ලෙසිනි.

කඩල, වඩ හා වෙරළු
තබා ඇත ලා නෙරළු
දුකම විඳ රළු පරළු
පුරයි කුස පැටි කුරුලු

අතීත මතකය ඇයට මතක් නොකර ඔහු පිටව යයි. ඒ සිය සිත උපන් අනුකම්පාව මුසු වේදනාවත් රැගෙනය. ඇගේ දිවියේ ඔහු නොදන්නා කලාපය අනාවරණය කිරීමටද මේ පරණ ඒක පාර්ශවික පෙම්වතා අකමැතිය.

අසා කෝ සඳ කිඳුරු
දකිනු රිසි නෑ කඳුළු
දවා ළය ඇට මිඳුළු
දමා ආවෙමි ඉතුරු.

ඇගෙන් බඩු මිලදී ගන්නා ඔහු සියල්ල සඟවා ආපසු යන්න ඉතිරි මුදල් නොගෙනය. මේ මොහොතේ ඔහුට ඇය වෙනුවෙන් කලහැකි එකම දේ එපමණි.
මේඛලා උදාරි ගේ කවිය සැම විටම ඇය පිහිටුවන්නේ සමාජයේ අවධානයට ලක් නොවන පුද්ගල චරිත හා සිදුවීම් විවරණය කෙරෙන කලාපයේ ය. ඒ හැම විටකම ඇය තෝරා ගන්නා අත්දැකීමට සුදුසු බසක් තෝරා ගනී. ආකෘතිමය රිද්මයක් එයට බහාලයි. කවි හරියටම කූටප්‍රාප්තියේ තියුණු මුදුනින් නවතා දමයි.
ඈත දුෂ්කර ගම් දනව් වල වෙසෙන සාමාන්‍ය මිනිස්සු ගමේ පන්සල පෝෂණය කරන්නේ සිය ආන්තික සුඛ විහරණය පවා කැප කරමිනි. ඇතැම් විටෙක පන්සලේ දාන වේලෙන් බුද්ධ පූජාවෙන් වේල සරිකරගන්නා දරිද්‍රතාවයේ පතුලේ සිටින්නවුන් ද අනන්තය. එවැනි සිදුවීම් වලින් පෙරා ගන්නා අපූරු පරිකල්පනයක් සහිත නිර්මාණයකි “කිරි එරුනෙ නැතිදාට තෙත රබර් කට්ටියේ” කවිය. පන්සලේ වාසය කරන තරුණ හාමුදුරුවෝ දරිද්‍රතාවයේ පතුලේ සිටින පවුලක කාන්තාවකට ආහාර හා ලැබෙන අනෙකුත් පිරිකර වලින් උදව් කරති.

කිරි එරුනෙ නැතිදාට තෙත රබර් කට්ටියේ
ලිපත් ඉකි බින්දාලු දුක අහා හට්ටියේ
හොරෙන් ඇගෙ කුස්සියට වැඩමුවා තමයි මම
දවස් දෙක තුන බුද්ධ පූජාව වට්ටියේ

අවසානයේ පෘතග්ජන තරුණ හාමුදුරුවෝ ඇය හා පෙමින් බැඳේ. එය කිසියම් ආකාරයකට ඇතිවිය හැකි දෙයකි. එහි කිසියම්ම හෝ අභව්‍ය බවක් උභතෝකෝටිකයක් නොපෙනේ. නමුත් හාමුදුරුවෝ වැරදිකාර හැඟීමකින් පීඩා විඳියි.

බැඳ තබා වලකන්න බැරි උනෙන් ආසාව
ඉතින් හෙට පැතිරේවි නින්දාවෙ බාසාව
කරගසා රැගෙන යන ක්ලේශ කන්දක කතා
ගමකටම පවසාවි ඝණ්ටාවෙ ඝෝෂාව

අවසානයේ හාමුදුරුවෝ තීරණයකට එළඹේ. ඒ සිවුර හැර යාමටයි. හිතේ ඇති වරදකාරී හැඟීම සමාකරගනු වස් බුදු කුටියට වැදී තම තීරණයට හේතුව බුදුන් ට හෙළිකරයි.

මම එන තුරා රාහුලයෙක් කුසේ දරා
යන්නම් හිමියනේ මග ඇති යශෝධරා

මේඛලා උදාරි ගේ “දම් පාට මේකුළ” කාව්‍ය සංග්‍රහය මෙවැනි අපූරු කාව්‍ය අනුභූතීන් රැසකින් සුසැදි නිර්මාණ එකතුවකි.”මේ තමයි ගමට යන අන්තිම ම බස් එක”, “බදා ගෙන මේකුළු”, “නැගිටපං අප්පච්ච්”, “වැහි ලිහිණි කලබලේ සිය කැදලි සොයනා”, “ඕටී වරුවක් කරන් රන් කඳ”, “හිමියනි මම ජීවක නම් වෙමි” නිර්මාණයෝ එයට මාහැඟි උදාහරණයන් වෙති.

නමුත් මෙහි අඩංගු සැලකිය යුතු නිර්මාණ රැසක් කෘතිය බරසාර බව අඩුකරන හුදු නිර්මාණ සේයාවන් පමණක් බව සඳහන් කලයුතුය. ඒවා හුදෙක් සුලබ අත්දැකීම් වල පැතලි ප්‍රකාශන විනා තියුණු පරිකල්පනීය ගර්භාෂයක දස එකඩ මසක් වැඩුණු අත්දැකීම් නොවේ. ඒ නිසා කෘතිය මුද්‍රණයට පෙර කිහිපවතාවක් සංස්කරණය කලයුතුව තිබුණි. එයින් කෘතියට සිදුවී ඇත්තේ අගතියකි. මෙතරම් කුසලතා පූර්ණ නවක කිවිඳියක අතින් එය සිදුවීම අපරාධයකි. එසේම කාව්‍ය නිර්මාණ වලට නම් තැබීමේ දී ඇය මීට වඩා සැලකිලිමත් වියයුතුය. හුදෙක් කවියේ එක පදයක් උපුටා නමට ඇතුලත් කිරීම කාව්‍ය නාමකරණය නොවේ. කවියකට නමක් අනිවාර්යයෙන් තිබිය යුතු යැයි මෙයින් නොහඟී. නමුත් කිසියම් නිර්මාණයක නම යනු රසිකයාට නිර්මාණයේ ඇතුලු ගැබට පිවිසීමට ආසාව ඇතිකරන කුතුහලයේ කවුලුවක් විය යුතුය.

කෙසේ වුවත් මේඛලා උදාරි ලියනගේ නම් වූ මේ නවක කිවිඳිය අපූර්ව නිර්මාණ සූක්ෂමතා භද්‍රඝටයක් සේ සුරත ගුලිකරගත් කිවිඳියක බව ඇය සිය පළමු රසික ප්‍රවේශයෙන් අපට ඒත්තු ගන්වයි. දැන් ඇය ඉදිරියේ ඇත්තේ බරපතල අභියෝගයකි. ඒ ඇගේ දෙවැනි පියවර ඇය කෙතරම් සාර්ථක දුරකින් තබනවාද යන්නයි. එය සරල කටයුත්තක් නොවේ. පය නොපැකිලව නොවැටී ඇය එය තැබිය යුතුමය.

– කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

nine − six =