බෝම්බ භීතිය: සැඟවුණු කතාව

පෙරහැරේ ඉදිරියෙන්ම යන්නේ කසකරුවන් ය. ඒ පෙරහැර එන බව දැනුම් දීමට ය. දෙවනුව එන්නේ ගිනිබෝලකරුවන් ය. ඒ පෙරහැරට ඉඩ කඩ පාදා දෙනු පිණිස ය. මේ දසුන් දකින විට, නිලමෙලා පසුපසින් ඇති බව අත්දැකීම් ඇත්තෝ දනිති.

“නැවතත් පාස්කු ප්‍රහාරයක් එල්ල වෙයි ද?” කොවිඩ් වසංගතයෙන් හෙම්බත්ව සිටින ජනතාව නැවත කතා කරන්නට වූයේ බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඉකුත් සතියේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟිනි.

ඥානසාර හිමි මාධ්‍ය හමුවක් කැඳවා මෙම ප්‍රකාශය කළ අතර, පසුව විද්‍යුත් මාධ්‍ය නාළිකා හා සම්බන්ධ වෙමින් කළ සම්මුඛ සාකච්ඡාවල දී මේ පිළිබඳව තවත් තොරතුරු රැසක් ප්‍රකාශ කළේය. ඒ සියල්ල විද්‍යුත් මාධ්‍යයේ හා සමාජ මාධ්‍ය ජාලවල පවතින බැවින්, අපි ඒ සම්බන්ධයෙන් දිගට සාකච්ඡා කිරීමට අදහස් නොකරමු.

නමුත් ඒ අතර වූ තවත් සිදුවීම් දෙකක් හේතුවෙන් මෙම ප්‍රකාශය හා එම සිදුවීම් අතර සම්බන්ධයක් ඇත් ද යන ගැටලුව නිතැතින් පැනනැඟිණි. එනම්, ඉකුත් සතියේ කටුනායක ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු ඊ-මේල් පණිවුඩයක් හා නාරාහේන්පිට පිහිටි ‘ලංකා රෝහලේ’ වැසිකිළියකින් හමු වූ බෝම්බයත් සමඟිනි.

කටුනායක ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වන බවට වූ ඊ-මේල් පණිවුඩය ඉකුත් සතියේ 14 වන දින ලැබෙන අතර, ලංකා රෝහලේ වැසිකිළියේ තිබී බෝම්බයක් සොයා ගන්නේ ද එදිනම ය. සිද්ධීන් දෙකම එකම දිනයේ සිදුවීම සාමාන්‍ය දෙයක් ලෙස කෙනකුට සිතිය හැකි නමුත්, හොඳින් විමසිලිමත් වීමේ දී ඒ ගැන සැකයක් ජනිත වේ.

වැසිකිළියෙන් හමු වූ බෝම්බය

ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබී අත්බෝම්බයක් සොයා ගන්නේ රෝහලේ සේවකයකුගෙන් ලද තොරතුරකට අනුව ය. බෝම්බය සොයා ගන්නා අවස්ථාව වන විට කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් කැබිනට් අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂ හා ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ.

නාරාහේන්පිට පොලිසිය පැමිණ පරීක්ෂණ පවත්වද්දී, පොලිස්පතිවරයා විසින් මෙම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කරනු ලබන්නේ ප්‍රධානීන් දෙදෙනකු එහි සිටි බැවිනි. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ලංකා රෝහලේ ගොඩනැඟිල්ලක අලුත්වැඩියා කටයුතු කරමින් සිටි කම්කරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පටන් ගන්නේය.

රෝහලේ වැසිකිළියේ බෝම්බයක් තිබෙන බවට පළමුව ප්‍රකාශ කරන්නේ ද ඔහු ය. ඔහු එය රෝහලේ සුළු සේවකයකුට පවසන අතර, එම සේවකයා රෝහල් පාලන අධිකාරියට මෙය දැනුම් දී තිබිණි. රෝහලේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරද්දී, මෙම පුද්ගලයා වැසිකිළියට කිහිප වරක් ගොස් පැමිණ සිද්ධිය දැනුම් දෙන ආකාරය නිරීක්ෂණය කළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

පළමුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ප්‍රසිද්ධියක් ලබාගෙන රෝහලෙන් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණින් මෙය කළ බවට මොහු ප්‍රකාශ කර ඇත. ආර්ථික අපහසුතා මත මෙවැනි දෙයක් කළ බව පළමුව ප්‍රකාශ කළ ඔහු ඉන් අනතුරුව පිපුරුමක් කොට අලාභයක් කිරීම අරමුණු කර ගනිමින් මෙය කළ බව පොලිසියට කියා ඇත.

ලැබුණේ ඇමති නිවසකින්

බෝම්බය ලැබුණු ආකාරය පිළිබඳව පොලිසිය ප්‍රශ්න කරද්දී, එය කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඇමැති නිල නිවසක් අලුත්වැඩියා කරද්දී හමු වූ බව සැකකරු හෙළි කර ඇත. ඔහු සමඟ තවත් තරුණයෙක් එම අලුත්වැඩියා කටයුතුවලට සම්බන්ධ වී ඇත. මොවුන් දෙදෙනාට මෙම ග්‍රෙනේඩය හා පතරොම් සහිත බහාලුමක් හමු වී තිබේ. සැකකරු ප්‍රකාශ කරන ආකාරයට මොවුන්ට එම ආයුධ හමු වී ඇත්තේ මීට මාස තුනකට පමණ ඉහත දී ය.

ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි මෙම 27 හැවිරිදි තරුණයා පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක වසර කිහිපයක සිට කුලී පදනම යටතේ සේවය කරන්නෙකි. ඇමැති නිල නිවස අලුත්වැඩියා කටයුතු භාර වී ඇත්තේ ද මෙම කොන්ත්‍රාත් සමාගමට ය. එහි දී වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයෙක් මෙම තරුණයා සමඟ ඇමැති නිල නිවස අලුත්වැඩියා කර ඇත.

ඇමැති නිල නිවසේ මේස ලාච්චුවක තිබී අත්බෝම්බය හා පතරොම් ගැබ මොවුනට හමු වී ඇති අතර, එය දෙදෙනා විසින් සඟවා ගනු ලැබ තිබේ. පසුව උප්පුවේලිහි පදිංචි තරුණයා විසින් අත් බෝම්බය රැගෙන ගොස් තිබේ. වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි තරුණයා පතරොම් රැගෙන ගොස් ඔහුගේ නිවසේ සඟවා ඇත. ආසාවට මෙම ආයුධ රැගෙන ගිය බව මොවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

පොලිසිය සැක පහළ කරන්නේ නිල නිවස අලුත්වැඩියා කරන්නට පෙර එහි පදිංචිව සිටි ඇමැතිවරයාගේ ආරක්ෂකයන් විසින් අතපසු වී දමා ගිය ආයුධ මොවුනට හමු වී ඇති බවකි. කෙසේ නමුත්, ඇමැති ආරක්ෂක අංශය වෙත අත්බෝම්බ නිකුත් කරන්නේ නැත. මන්ද? ඇමති ආරක්ෂක අංශය සිටින්නේ ප්‍රභූවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමට මිස ප්‍රතිවාදීන් හා සටන් කරමින් සිටින්නට නොවන බැවිනි. එම නිසා ඔවුන් සෑම විටම උත්සාහ ගන්නේ අනතුරක් ඇති වුවහොත්, ප්‍රභූවරයා එම ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත් කර ගැනීමට ය.

නොවිසඳුණු ගැටලු

එසේ නමුත්, තර්ජනය වැඩි ප්‍රභූවරයකු නම්, ඇමති ආරක්ෂකයන්ට අමතරව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හෝ හමුදා නිලධාරීන් හෝ යොදවනු ලබයි. ඔවුන්ගේ රාජකාරිය ප්‍රභූවරයා ළඟින්ම සිටින ඇමැති ආරක්ෂකයන්ට සහාය දීම ය. මොවුන් සැම හඳුන්වනුයේ, ප්‍රභූ ආරක්ෂකයන් ලෙස ය. එහි දී ඔවුනට ප්‍රභූවරයාට අනතුරක් කිරීමට පැමිණෙන පුද්ගලයන් සම`ඟ සටන් කිරීමට සිදු වේ. එම නිසා ඔවුනට අත්බෝම්බ ආදී ඇමැති ආරක්ෂකයන්ට නොලැබෙන ආයුධ ලබා දෙනු ලැබේ. එය එසේ වුව ද, ප්‍රභූ ආරක්ෂකයන්ට ලබා දෙන ආයුධ ලේඛනගත වේ. ඔවුන් නිවාඩු යන විට හෝ රාජකාරි අවසන් කළ විට හෝ ආයුධ ගබඩාවට මෙම ආයුධ ලබා දිය යුතු ය. එය එසේ නම්, මෙලෙස දමා ගියේ කවර නිලධාරියා වෙනුවෙන් නිකුත් කළ ආයුධ ද යන පැනය මතු වේ. පොලිසිය තවම එය ප්‍රසිද්ධියට පත් කොට නැත.
අත්බෝම්බය හමු වූ සේවකයා එය සිය සන්තකයේ තිබිය දී තවත් ස්ථාන කිහිපයක සේවය කර තිබේ. මෙම කොන්ත්‍රාත් සමාගමට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින විජේරාම මාවතේ නිවස පිටුපස පිහිටි සිව් මහල් රජයේ ගොඩනැඟිල්ලක අලුත්වැඩියා කොන්ත්‍රාත්තුවක් ද ලැබී තිබේ. උප්පුවේලි හි පදිංචි තරුණයා ද එම ගොඩනැඟිල්ලේ අලුත්වැඩියාවලට සම්බන්ධ වූ බව පරීක්ෂණවලින් හෙළිව තිබේ. එම ගොඩනැඟිල්ලට අගමැති නිල නිවසේ පිටුපස කොටස පැහැදිලිව දර්ශනය වන බව පරීක්ෂණ කරන ආරක්ෂක නිලධාරියෙක් සඳහන් කළේ ය.

පිපිරවීමේ  සැලසුමක්

කෙනකුට යම් හානියක් කිරීමට අවශ්‍ය නම්, ඔහුට මෙම අත්බෝම්බය එම නිවසට විසි කිරීමට තිබූ බව ද ඔහු කියා සිටියේ ය. වැසිකිළියේ තිබී හමු වූ අත්බෝම්බය කාල බෝම්බයක් බවට පරිවර්තනය කර තිබූවකි. එය කර තිබුණේ අත්බෝම්බයේ ආරක්ෂක අගුල ගලවා එය නූලකින් තද කොට එම නූල පිච්චී යන ආකාරයට මදුරු දඟරයක් ගැට ගැසීමෙනි. මදුරු දඟරය දැල්වී ආරක්ෂක අගුලට සවි කර තිබූ නූල පිළිස්සී ගිය පසු බෝම්බය පුපුරා යන ආකාරයෙන් මෙය සකස් කර තිබී ඇත.

කෙසේ වුව ද, මදුරු දඟරය කිසියම් හේතුවක් නිසා නිවී ගොස් තිබීම මත බෝම්බය පුපුරා ගියේ නැත. සී.සී.ටී.වී. දර්ශනවල ඇති පරිදි සැකකරු කිහිප වරක් වැසිකිළියට ගොස් ඇත්තේ මදුරු දඟරය දැල්වෙන්නේ ද යන්න පරීක්ෂා කිරීමට විය හැකි බව පොලිසිය සැක කරයි. එම කාරණය මත බෝම්බය ගැන වෙනත් සැලැසුමක් අනුව ඔහුම එය හෙළි කරන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

සැකකරු කියන ආකාරයට ලංකා රෝහල ආසන්නයේ වෙළෙඳ සලකින් මදුරු දඟරයක් මිල දී ගෙන බෝම්බය සකස් කර ඇත්තේ ඔහුම ය. නමුත්, ඔහු බෝම්බ පරිශීලනය කරන විශේෂඥයකු නොවේ. හමුදා සේවයේ බෝම්බ නිෂ්ක්‍රිය කිරීම පිළිබඳ විශේෂඥයකුගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ, නිතර බෝම්බ පරිශීලනය කරන විශේෂඥ දැනුමැත්තෙකු වුවත්, මෙවැනි කටයුත්තකට යාමේ දී දෙවරක් සිතන බවය.
එසේ තිබිය දී, බෝම්බ විශේෂඥයකු බවට තවමත් හෙළිව නැති මෙම පුද්ගලයා මෙවැනි ක්‍රියාවක නිරත වූයේ කෙසේ ද යන පැනය නිතැතින් මතු වේ. එසේ නම්, ඔහුට මෙම බෝම්බය ඊට අදාළ විශේෂඥ දැනුමැත්තකු විසින් ලබා දිය යුතු ය. මොහු මදුරු දඟරය ලබා ගත්තේ යැයි ප්‍රකාශ කරන වෙළෙඳ සල අසල සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කළේ නම්, මේ පිළිබඳ තොරතුරක් දැනගැනීමට පොලිසියට හැකි වනු ඇත.

පොලිස් විමර්ශනවල දී තහවුරු වූ තවත් කරුණක් වූයේ, මොහුගේ සහෝදරයකු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු බව ය. ඔහු පුනරුත්ථාපනය වීමෙන් පසු හමුදාවට ඔත්තු සපයන්නකු බවට පත්ව ඇති බවත්, ඔහු ලබා දුන් සාර්ථක තොරතුරු තිබෙන බවත් ජනමාධ්‍ය ඉකුත් සතියේ වාර්තා කර තිබිණි. පොලිසිය ඔහුගේ සහෝදරයාගෙන් ප්‍රශ්න කර ඇත් නම්, තවත් කරුණු අනාවරණය වී තිබිය යුතු ය.

සහෝදරයා හමුදා ඔත්තුකරුවෙක්

එසේ වුවත්, පොලිස් අභ්‍යන්තර තොරතුරු සඳහන් කරනුයේ, හමුදා ඔත්තුකරුවකු ලෙස හෙළි වීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් සිදු වෙන පොලිස් පරීක්ෂණ මන්දගාමී වී ඇති බවකි. බෝම්බය සොයා ගත් දිනයේම වැලිකන්දට ගොස් එහි අනෙක් තරුණයාගේ නිවසේ තිබී පතරොම් සොයා ගත් පොලිසිය පරීක්ෂණවල ඉදිරි කටයුතු ගැන තවමත් කිසිවක් ප්‍රසිද්ධ කළේ නැත. සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත පොලිසියේ රඳවා ගෙන සිටින්නේ ය.

මාධ්‍ය මඟින් දැන් මේ පිළිබඳ කතා කරන්නේ නැත. වර්තමාන ජනමාධ්‍යයේ පසුවිපරම් මාධ්‍ය කලාව අමතක කොට තිබේ. ඔවුන් යම් සිද්ධියක් හෙළි කරන නමුත්, ඒ ගැන පසුවිපරම් කරන්නේ නැත. එය සිතා මතා කරන්නේ ද, නැති නම් අමතක වන්නේ ද යන්න පැහැදිලි නැත.

ගුවන්තොටුපළේ බෝම්බ භීතිය

ඒ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ආරක්ෂාව තර කර ඇති බවට තොරතුරු හෙළි විණි. ඒ පිළිබඳ විමසද්දී, ඊට හේතුව වී ඇත්තේ, ගුවන්තොටුපොළේ පොදු ඊ-මේල් ලිපිනයට ලැබුණු පණිවුඩයකි.

කටුනායක ගුවන්තොටුපොළේ ගොඩනැඟිලි හතරකට ප්‍රහාරයක් එල්ල වන බවට ඊ-මේල් පණිවුඩයක් ලැබී තිබුණේ ඉකුත් සැප්තැම්බර් 14 වැනි දින සවස ය. එම පණිවුඩයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා අධිකාරිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කළේ ය. ආරක්ෂක අංශ සීරුවෙන් තැබුවේ ය.

ඉන් අනතුරුව පරීක්ෂණ ක්‍රියාත්මක විණි. ඊ-මේල් පණිවුඩය ලැබී දින 4කට පසු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න නිවේදනය කළේ ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වන බවට වූ තොරතුර ව්‍යාජ තොරතුරක් බව ය.

කටුනායක ගුවන්තොටුපොළේ පොදු ඊ-මේල් ලිපිනයට ලැබුණු ඊ-මේල් පණිවුඩය එවා තිබුණේ බංග්ලාදේශ හමුදා මේජර්වරයකුගේ ඊ-මේල් ලිපිනයකිනි. මෙම හමුදා නිලධාරියා බංග්ලාදේශ හමුදාවේ බුද්ධි නිලධාරියකු ලෙස කාලයක් කටයුතු කර ඇති පුද්ගලයකු බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. බංග්ලාදේශ හමුදාව සමඟ මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවල දී හෙළිව ඇත්තේ, ඔහු මේ වන විට විශ්‍රාම ගොස් සිටින බවය.
අනතුරුව සිදු කරනු ලැබූ වැඩිදුර විමර්ශනවල දී ගුවන්තොටුපොළ පොදු ඊ-මේල් ලිපිනයට පණිවුඩය එවූ හමුදා නිලධාරියාගේ ඊ-මේල් ලිපිනය වසර ගණනාවක සිට ඔහු භාවිත කර නැති බව ය. එම ගිණුම කිසියම් පුද්ගලයකු විසින් හැක් කරනු ලැබ අදාළ පණිවුඩය එවා ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ. ඇමෙරිකාවේ තිබෙන අයි.පී. ලිපිනයක් භාවිත කරමින් මේජර්වරයාගේ ගිණුම හැක් කොට ඉන් මේ ඊ-මේල් පණිවුඩය ගුවන්තොටුපොළ පොදු ඊ-මේල් ගිණුමට එවා තිබිණි. මොහු හමුදා නිලධාරියකු බැවින්, ඔහුගේ ගිණුමෙන් ඊ-මේල් පණිවුඩ ලැබෙන පුද්ගලයකු මෙය හැක් කළ යුතු ය. එසේ නොමැති නම්, තුන්වන පාර්ශ්වයක් විසින් අදාළ ඊ-මේල් ලිපිනය හැක් කළ තැනැත්තාට දිය යුතු ය. මෙම දෙයාකාරයෙන් තොරව හැක් කළ තැනැත්තාට ඊ-මේල් ලිපිනය සොයාගත හැකි ද යන පැනය මතු වේ.

අවස්ථා සම්බන්ධය

මෙය එකිනෙක පැටළුණු නූල්බෝලයක් දැයි සිතා ගැනීම අපහසු ය. එක් වරක ඥානසාර හිමි යළිත් ප්‍රහාරයක් එල්ල වන බව කියයි. ඒ ආසන්නයේම කටුනායකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඊ-මේල් පණිවුඩ ලැබෙයි. ඒ අතරම ලංකා රෝහලෙන් කාලබෝම්බයක් හමුවෙයි. හදිසි නීතිය පැන වූ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංගමයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හේතු කියමින් සිටියි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයන ලෙස කතෝලික පූජකතුමන්ලා ඉල්ලා සිටින අතරතුර මහජනතාව නාට්‍යයේ තවත් එක් දර්ශනයක් නරඹා අවසන් කර ඇති බව පමණක් පෙනෙන්නට තිබේ. නොපෙනෙන දර්ශන තවත් බොහොමයක් අභ්‍යන්තරයේ ඇති බවට නම් සැකයක් නොමැති බව නම් පැහැදිලි ය.

– ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

2 × four =