අජිත් නිවාඩ් කබ්රාල්ගේ පත්වීම බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට තව පෙත්සම් දෙකක්

මන්ත්‍රිධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර විසිනි.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන සිව් දෙනා නම් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් ට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන බව පෙත්සම්කරුවන් සඳහන් කරයි.

මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත්කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මධ්‍යම හා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 7 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය.

Leave A Reply

Your email address will not be published.

fourteen − eleven =