ඒලියන්ත වයිට් පැවැත්මේ අරගලය පැවැත්ම වෙනුවෙන් සම්මුතිගත සදාචාරයෙන් පිට පැනීම

එළියන්ත වයිට් මහතා ද කොවිඩ් රෝගය සෑදීමෙන් මරුමුවට පත් වී ඇත. රාජකීය වෛද්‍යවරයා යන නොනිළ නාමයෙන් හැඳින් වූ ඔහු දැඩි ලෙස සමාජයේ විවේචනයට ලක් වූයේ ‍ගිය වසරේ ලංකාවේ කොවිඩ් රෝගය පිටු දැකීමට ඇමැතිවරියක් සමග ගංගාවලට පිරිත් පැන් කළ අතහැරීමත් සමගය.

අපි සැවොම පැවැත්ම වෙනුවෙන් අරගල කරන්නෝ වෙමු. කවුරුන් වුවත් පැවැත්ම පිළිගත් සම්මුතිගත සදාචාරයන් අනුව කළ යුතු යැයි සමාජයක යහ පැවැත්ම අගයන මිනිසුන්ගේ පිළිගැනීමයි. තමන්ට කිසිදු විශේෂිත හැකියාවක් නැතිව, පිළිගත් වෘත්තී සුදුසුකම් නැතිව විවිධාකාර ව්‍යාජ ප්‍රතිරූපයන් නිර්මාණය කරගනිමින් දේශපාලඥයින් ලඟට කිට්ටු වී විවිධ වරප්‍රසාද, අනීතික බලයක් සහ පැවැත්මක් අත් පත් කරගන්නන් අතර එලියන්ත වයිට් එක් අයෙකු පමණය.

ලංකාවේ මිත්‍යා විශ්වාසයන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ගැන කියවෙන විට බටහිර විද්‍යාව ඉගෙනගත් මහාචාර්යවරු සේම වෛද්‍යවරු ද සමාජයේ විවේචනයට සහ උපහාසයට ලක්වේ. එවන් පසුබිමක එළියන්ත වයිට් වැනි සාමාන්‍ය පුද්ගලයකු මිත්‍යාව කර තබාගෙන යාම පුදුමයක් නොවේ. පුදුමය නම් ඔහු ගේ මිත්‍යාත්මක භාවිතාවන් තුළින් රටේ පළමු පුරුවැසියා ලඟටත් කිට්ටු කිරීම සහ ඒ ආශ්‍රිත නිළ නොවන රාජධානියක් තනා ගෙන මිත්‍යාව ප්‍රබල ලෙස ව්‍යාප්ත කිරීමට දායක වීමය. මිත්‍යාවන් සමාජගත කිරීමෙන් ජාතියක් කොතරම් පසුගාමී වන්නේ ද යන්න ගැන ඒලියන්ත වයිට් ඇතුළු මිත්‍යාමක දේ පතුරුවන අයට වැටහීමක් නැත.

රටක පසුගාමීත්වයට වග කිව යුත්තෙ දේශපාලඥයින් පමණක් නොවේ. පූජකයින්, නිළධාරි තන්ත්‍රය මෙන්ම පුරවැසියන් ද වග කිව යුතුය. එලියන්ත වයිට් සාමාන්‍ය මනුෂ්‍යයෙකි. ඔහු විශ්ව බලයෙන්, කුන්ඩලිනී ශක්තියෙන් රෝග සුව කරනවා යයි කීවේය. එලෙස සුව වූ ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතැයි ද කියවේ. එහෙත් මිත්‍යාත්මක චර්යාවන් වලදී සාමාන්‍යයෙන් සිදුවන සම්භාවිතා න්‍යාය එලියන්ත වයිට් ඇතුළු මිත්‍යා මත වපුරන්නෝ ප්‍රයෝජනයට ගනිති. සියයක් මිත්‍යාත්මක කර්ම සිදු කරන විට විවිධාකාර වෙනත් හේතු නිසා එකක්-දෙකක්-කිහිපයක් හරියාමේ සම්භාවිතාවක් ඇත. එහෙත් හරි නොයන ඉතිරි සියයට අනූනවය, අනූඅට ගැන කිසි විටක සඳහන් ක‍රන්නේ නැත. කරළියට ගන්නේ- ප්‍රචාරයට ගන්නේ අර හරි ගිය එක දෙකය. මිනිසුන් විශ්වාස කරන්නේ ද එයයි.

කෙසේ වෙතත් අවසානයේ එලියන්ත වයිට් විශ්වාස කළ පිරිත් කළ, කුන්ඩලිනී ශක්තිය හෝ විශ්ව ශක්තියට ඔහුව ගලවා ගන්නට නොහැකි වී ඇති බව පෙනේ. එහෙත් මේ දූපත්වාසී ජනයා එයින් ද පාඩම් ඉගෙන ගන්නේ නැත. එලියන්ත වයිට් වර්ගයේ දහසක් දෙනා කරන වැරැද්දක් නම් ජාතියක් ලෙස අපගේ සිතීමේ ශක්තිය, ආත්ම විශ්වාසය සහ නිර්මාණාත්මක චින්තනය විවිධාකාර මිත්‍යා විශ්වාස වලින් මොට කර දැමීමයි. දුර්වල කර දැමීමයි. ඒවාගෙන් සමාජයකට, ජාතියකට සිදුවන හානිය ගනනය කිරීමට ක්‍රමයක් නැත. එහෙත් දියුණු රටවල් සමග සසඳන විට මිත්‍යාත්මක චර්යාවන් වල යෙදෙන්‍නන් අප රටට කරන හානිය තවත් සියවස් ගණනක් ගියද නිවැරදි කළ හැකි නොවේ.

ඒළියන්ත වයිට් ජීවත්ව සිටිය දී ද අපගේ විචාරයට, විවේචනයට භාජනය විය. මිය ගිය පසු සුවිශේෂ ගුණ කතනයක් කරන්නට බාහිර සමාජයට හේතුවක් නැත.එහෙත් ඔහුගේ ඥාතීන්, මිතුරන් සහ ඔහුගේ සේවාවන්ගෙන් සාර්ථක ප්‍රථිපල ලැබුවා යයි කියන අය ගුණ කථන කරනු ඇත. අපි නිවන් සුව නොපතන්නෙමු. එහෙත් නැවත ඉපදදෙන්නේ නම් වඩා යහපත් ලෙස, මිත්‍යාත්මක දේ ප්‍රවර්ධනය කරන අයෙකුට වඩා වෘත්තීමය වශයෙන් නිපුණ අයෙකු ලෙස රටට වැඩදායක ලෙස වඩා හොඳ ජීවිතයක් ලබන්නට ඔහුට හැකි වේවා යන්න පමණක් ප්‍රාර්ථනා කරමු.

– අතුල දිසානායක (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

17 + 19 =