“මිලේගෙ චිත්‍රය සහ රංජිත්ගෙ චිත්‍රය එක්ක මේ පංතිමය කතාව ලෝකයේ කොහෙත් වැඩ කරනවා වගේ එකක් දැනුනා”

උඩ තියෙන චිත්‍රය 1857 දී ප්‍රංශ ජාතික සිත්තරෙක් වන මිලේ විසින් අඳින ලද්දක්.කරල් ඇහිඳින්නන් ලෙස නම් කරන ලද මෙම සිතුවම එදිනෙදා ජන ජීවිතය ට අදාල සිද්ධියක්. මේ එකම චිත්‍රය තුළ පංති දෙකක් නියෝජනය තමයි මෙහි අපූර්වත්වය. දේපොළ හිමි පන්තිය විසින් අස්වැන්න එකතු කරගෙන් ගිහින්. ඈතින් පේන්නෙ ඒ ගොඩගසන ලද ඇස්වැන්න. සාමන්‍ය පන්තියේ මිනිස්සුන්ගෙ ශ්‍රමයෙන් ගොඩගැහෙන අස්වැන්න පංතිමය ප්‍රකාශයක්. අස්වැන්න රැගෙන ගිය පසු ඉතිරි වන සොච්චම මහ මෙරක් සේ මේ මිනිස්සු ට වටිනවා. මේ එකතු කරන්නෙ ඒක. ඒ මිනිස්සුන්ගෙ ජීවිත හිස් වන තරමට ඒ ශ්‍රමය සූරාගෙන වෙනත් පංතියක ගොඩගහගෙන. මේ දරිද්‍රතාවයේ මිනිස්සු හැමදාම වැඩබිමේ වැඩ.නිම නොවන ජීවන අරගලයක ඉතිරි වන, විසි වන, මගහැරෙන අස්වැන්නක් එකතු කරල ජීවිතය ගැටගහ ගන්න අය.

යට චිත්‍රය මගේ පාසැල් මිතුරෙක් වගේම විශ්ව විද්‍යාල මිතුරෙක් වන රන්ජිත් ප්‍රේමකුමාර පාසැල් බිත්තියක අඳින ච්ත්‍රයක් . මෙතැන තියෙන්නෙත් අස්වැන්න එකතු කරන, අස්වැන්න කපන ගොවිබිමක දර්ශනයක්. හම්බන්තොට කියන්නෙ සාපේක්ෂව සම්පත් බෙදීයාමේ විෂමතාවයට ලක්වන පාසැල් තියෙන දිස්ත්‍රික්කයක්. තව රට පුරාම එවැනි පාසල් තියෙනවා. හම්බන්තොට ගොවි සංස්කෘතියත් එක්ක ජීවිතය ගැටගහ ගන්න මිනිස්සු ගොඩක් ඉන්නෙ. මේ කුඹුරු පවා බොහෝ විට වෙනත් අයට අයිති කුඹුරු. මේ වැඩ කරන මිනිස්සු පවා එහි අයිති කාරයන් නෙවි. මේ නියෝජනය කරන්නෙත් එකම පංතියේ කතාවක්.

දුෂ්කර පළාතකට කොළඹ ඇකඩමියාවෙන් චිත්‍ර ඉගෙන ගෙන ගිහින් රංජිත් කරපු මේ වැඩේ එක්ක මට මිලේගෙ චිත්‍රය සහ රංජිත් ගෙ චිත්‍රය එක්ක මෙන්න මේ පංතිමය කතාව ලෝකයේ කොහෙත් වැඩ කරනවා වගේ එකක් දැනුනා. එහෙම නැතුව මේ චිත්‍ර දෙකේ සෞන්දර්ය කලාපයන් හෝ තාක්ෂණික කාරණා චිත්‍ර ශිල්පීන්ගේ ජීවන විලාශයන් කලා ඉතිහාසය වැනි දෙයක් කිරල මැනල බැලීමක් නෙවි.

කෙසේ වෙතත් රංජිත් මේ දැවැන්ත වැඩේ කරන්නෙ ඉතාමත් දුෂ්කරතා මැද්දෙ. අවම පහසුකම් එක්ක අමුද්‍රව්‍ය මය පැත්තෙන් පොහොසත් තැනක ඉඳන් නෙවි. නමුත් ඔහු ඉතාමත් පොහොසත් චිත්‍රය ක් මේ අඳින්නෙ. විභාග කේන්ද්‍රීයව චිත්‍ර කලාව හදාරන ශිෂ්‍යයන් ට මානව රූප ආශ්‍රයෙන් සංවිධානය කිරීමට නියමිත චිත්‍රයක් සඳහා ලොකු අභ්‍යාසයක් මේක. මුලු පාසලටම තමන්ගේම කලාපීය ගොවි සංස්කෘතිය එක්ක අනන්‍ය වෙන්න පුලුවන් චිත්‍රය ක් වීමත්, එකතරා විදියක චිත්‍රය ක මූලිකාංග හා මූලධර්ම නිතැතින් ළමයින්ට හුරු කරවන කැඩපතක් ලෙසද කියව ගන්න පුලුවන් කියල මට හිතෙන්නෙ. රංජිත් වගේ දියුණු ගුරුවරු ධාරයේ ඉඳන් කරන මේ වැඩේ පුන්චි දෙයක් නෙවි. සාමාන්‍යයෙන් පුන්චි පුන්චි දේවල් එකතු වෙලා තමයි ලොකු දේවල් හැදෙන්නෙ.

– ප්‍රගීත් රත්නායක

Leave A Reply

Your email address will not be published.

17 + twelve =