නාට්‍ය පිස්සෙකුගේ යක්ෂාගමනය

- ලියනගේ අමරකීර්ති

මම නාට්‍ය පිස්සෙක්. කොච්චර පිස්සෙක්ද කියනව නං උසස් පෙළ පන්තියෙ ඉඳල නාට්‍ය කෙරුවා. කැම්පස් එකේදිත් නාට්‍ය තුනක් කෙරුවා. දෙකක් කෙටි. එකක් දිග.
ඒ තුනෙන් මං දැනගත්ත මට ඒ කලාව අනික් කලා තරම්වත් බැරි බව. ඒ හින්ද ඒක අත ඇරියා.

හැබැයි මට බැරි ඒ කලාව කරන අය ගැන ආදරේ ඒ නිසා වැඩි වුණා. ඒ කලාවෙ යෙදිල ඉන්න කාටත් මං ගරු කරනවා.

නාට්‍ය කලාව කියන්නෙ පුදුම කලාවක්. සංගීතය උපරිම කලාව හෝ මිහිරිම කලාව හෝ ශුද්ධම කලාව බව දාර්ශනිකයො කියනවා. දෙවියන් කියල කෙනෙක් ඉන්න බවට මෙලොව තියෙන එකම සාක්ෂිය සංගීතය බව කර්ට්වොනෙගට් එක සැරයක් ලිව්වා.

නාට්‍ය කලාව සියලු කලා අතරින් වඩාම මිනිස් කලාව. ඒකයි මං ඒකට වැඩියෙන්ම ආස. ඇයි මිනිස් කලාව කියන්නෙ? අපි සාමූහිකව එකතු වෙලා සජීවීව රඟපාන නාට්ටියක් බලන කොට ඇති වෙන ගනුදෙනුව අතිශයින්ම මිනිස්.

නාට්‍ය කලාව කියන්නෙ මට යෙදෙන්න බැරි තරම් විශිෂ්ට අමාරු කලාවක් කියල මට හොඳටම තේරුණු දවසක් තමයි යක්ෂාගමනය නාට්‍යය මුලින්ම බලපු දවස. ඒක එදා රංග කලා විස්මකර්මයක්. රංගනය පිළිබඳ විදුලිබලාගාරයක්. ජයශ්‍රී චන්ද්‍රජිත්, ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, වික්ටර් රාමානායක, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානච්චි වගේ විශාල පිරිසක් වේදිකාවේ රංගනයේ බලයෙන් පිරෙව්වා. ඒකාලෙ ඔය නළුනිළියො ටෙලි නාට්‍යවලින් දැකල දැකල පට්ට ලාබ, හුරුපුරුදු මිනිස් රූප බවට පත් වෙලා තිබුණෙත් නෑ. ඒකත් හේතුවක් ඒ වේදිකා රූපවල අපූර්ව මිනිස් බලයට.

බෙරේකට අනුව පය තියල නැටුම් විලාසෙන් රඟපාන්න පුළුවන් නළුවෙක් විතරයි කියල අපි හිතන් උන්න ජයශ්‍රී චන්ද්‍රජිත්ගෙ එච්චර විසාල නැති සිරුර පුදුම බලසම්පන්න නළු සිරුරක් බවට පත් කළේ පරිවර්තකගෙ වචන සහ අධ්‍යක්ෂකගෙ රංග විධාන වෙන්න ඕනෙ. එයා හොදම නළුවා සම්මානෙත් දිනුවද කොහෙද.

යක්ෂාගමනය ධර්මසිරි බණ්ඩාරනායකගෙ විස්මිත නිෂ්පාදනයක්. ඒ කාලෙම මං ඒ ගැන රාවය පත්තරේට ලිව්ව. මං එතකොට කැම්පස් එකේ අවසන් වසරෙ. මං නාට්‍ය කොච්චර ආසාවෙන් බැලුවද කියනවද නං ඒ කාලෙ ඒ දෙබස් කටපාඩම්. පුදුමෙකට වගේ අවුරුදු විසි ගාණනකට පස්සෙත් සමහර කෑලි කටපාඩම්.

ඒක එහෙම වුණේ ඇයි? ඒ තමයි පුදුමාකාර පරිවර්තනය. ඒක පරිවර්තනය කළේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඔහුගෙ කවිකම, ප්‍රාසාංගික කලාව ගැන දැනුම විතරක් නෙමේ ඔහු කැපවුණු දේශපාලන පරමාදර්ශ ආදිය පවා ඒ පරිවර්තනයේ සාර්ථකත්වයට හේතුවක්. ඒක ඔහු පරිවර්තනය කරල තියෙන්නෙ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගෙ නාට්‍යයක් විදියට නෙමෙයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ට මුලින් ජර්මන් භාෂාවෙන් ලියන්න ඉඩදුන්න සුනිල් මහත්තයගෙ සිංහල නාට්‍යයක් වගේ.

සුනිල් මහත්තයා ඒකෙ දෙබස් පරිවර්තනය කරල තියෙන්නෙ පුදුම විදියට මුවහත්, ප්‍රාණවත් ස්වරණයකින් යුතුව. භාෂාව කෙරෙහි සංගීතඥ ශ්‍රවණේද්‍රියක් සහ කවිත්වයක් තියෙන කෙනෙකුට විතරයි එහෙම පරිවර්තන කරන්න පුළුවන්. ඒ යෙදුම් කපාගෙන බහිනව අපේ හිත්වලට.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඒ ක්‍රමයේම තියෙන සීමා සහිතකම් නිසා මැර පිරිසක් අතට යන හැටි නාට්‍යයෙ එනවා. බ්‍රෙෂ්ට් දෙවන යුද්ද කාලෙ ඇමරිකාවට පැනල ගියානෙ. චිකාගෝ නගරයේ පාතාල මැරයන් ආශ්‍රිත සත්‍ය සිද්ධි පදනම් කරගෙන නාට්‍ය ගොඩ නගල තියෙන්නෙ. එක්තරා මැරයෙකුගේ වැළැක්විය හැකිව තිබූ නැග්ම පිළිබඳ තේමාව මතු කරන්න ගොඩනගපු නාට්‍යයක් නිසා හුණුවටය වගේ නිදහසේ ගලාගෙන කතාවක් මේකෙ නෑ.

මේකෙ චරිතයක් තියෙනවා මැරයා සංස්කෘතික සළුපිළිවලින් අලංකාර කරන ශේක්ශ්පියර් නළුවෙක්. ඒක ඒ කාලෙ රඟපෑවෙ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඒක අපිට ආස්වාදයට පත් කරපු රඟපෑමක්. හැබැයි පස්සෙ කාලෙ ශ්‍රියන්තල සහ තවත් අයගෙ සැබෑ ජීවිතයත් අර චරිතෙ වගේ වුණා නේද කියල හිතෙනවා. මේ නාට්‍යයෙ පළමු නිෂ්පාදනයෙ නළුනිළි කැල තැන තැන විසිර ගිය හැටි, සමහරු නොයෙක් මැර මංකොල්ලකාර පිරිසකගෙ උපකරණ බවට පත් වුණු, ඒ ක්‍රියාවලියෙදි කාසිවාසි ලබපු හැටි වෙනම නාට්ටියක්. කාටහරි පුළුවන් ඒ නළුනිළි පිරිසගෙ පස්සෙ කාලෙ ගමන්මග ගැන වාර්තා චිත්‍රපටියක් කරන්න. ඒකට ඉතින් අපිටත් මයිකල් මුවර් කෙනෙක් ඉන්න ඕනෙ.

අපේ රට චිකාගෝ නගරෙටත් වඩා දුර ගියා. දූෂිත දේශපාලකයා, පාතාල මැරයා සහ මහාචාර්යවරයා යන තුන්දෙනාම එකට ඉන්න බල ව්‍යුහයක් අපි අපේ රටේ හැදුවා. මේ තුන්දෙනා ‘අපි ඔක්කොම යාළුවො මල්ලි’ කියාගෙන හිරිකිතයක් නැතුව ඉන්න රටක්. මේකෙ එක පැත්තක් මමත් රතු ඉරි අඳින අතෙන් ඇල්ලුවා. සමහරු දකින්න ඇති.

දැන් මේ නාට්‍යයේ පිටපත විදර්ශන ප්‍රකාශනයක් විදියට පළ වෙලා තියෙනවා. බ්‍රෙෂ්ට්ගෙ හුණුවටය සුන්දරයි. වැල්පාළමේ ගීතය ලස්සනයි. සයිමන්-ගෲෂා ආදර කතාව රොමෑන්තිකයි. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි අදත් ලංකාවට නියමෙට හරියන නාට්‍යයක් තමයි යක්ෂාගමනය. ආයෙත් සැරයක් ධර්මසිරි බණ්ඩාරනායක හෝ වෙන කවුරු හරි නිෂ්පාදනයක් කරන්න වටිනව. මේ කරදර ඉවුර වුණ දවසක.

මේ තියෙන්නෙ පළමු දර්ශනය නරඹපු දවසෙ ඉඳල මතක තියෙන යෙදුමක් සහිත කොටසක්:

තව නූලෙන්

ලෝකෙම යට කරනවා ඔය වගේ වඳුරෙක්

ඇත්තයි ලෝකෙම එකතු වී

ඔහුට නිසි දේ ලබා දුන්නා

ඒත් ඒ තරම් පහසුවේ සතුටු වනු එපා

බේරුණා කියලා

මොකද ඔහු කුරගා බඩ ගා

එළියට ආ ගර්භාශය

එක දිගට තව වදනවා

මේ මැතිවරණයත් ඒ මැර වඳුරා එළියට ගන්නා ගර්භාෂ ද්වාරයක් සේ දැනුණ පහුගිය කාලෙ මට යක්ෂාගමනය මතක් වී තියෙනවා. ඒ අර්ථයෙන් අපිට මේ නාට්‍යයේ අලුත් නිෂ්පාදනයක් ඕනෙ. මම මේ පිටපතේ ඇතැම් තැන් හඬනගා මටම කියවා ගන්නා අවස්ථා තියෙනවා.

– ලියනගේ අමරකීර්ති

 

 

Leave A Reply

Your email address will not be published.

seven + 12 =