‘චේ’ගේ මරණය ඇසූ මොහොත රෝහණ විජේවීරට කෙතරම් සංවේදී වන්නට ඇද්ද

අර්නස්ටෝ චේ ගුවේරාගේ මරණය රෝහණ විජේවීර සහෝදරයාට කෙතරම් සංවේදී කාරණයක් වන්නට ඇද්ද.
ඒ වනවිට ඔහු මේ රටේ නිර්ධන පන්ති විප්ලවවාදී ව්‍යාපාරය ගොඩනැගීම සඳහා මුල් පියවර තබා තිබුණි.
චේ මරාදැමුණු පුවත අසන්නට ලැබුණු මොහොතේ තමා සංවේදී වූ අන්දම විජේවීර සහෝදරයා මා සමග මෙසේ පවසා තිබෙනවා.

එදා 1967 ඔක්තෝබර් 17 අපි හිටියෙ කිරින්දෙ ගොවිපොළේ. ගොවිපළ පටන් ගත්ත අලුත.
මමයි පියතිලකයි කැලේ කෙටුවා.

පැන්ටිස් අයියා ගොවි පොළට අවශ්‍ය කළමනා ගේන්න තිහව ගියා. (තිස්සමහාරාමය)
පැන්ටිස් අයියා තමයි සතියකට වරක් තිස්සමහාරාම කඩ මණ්ඩියට ගිහින් හාල්, තුනපහ, ලියන්න කඩදාසි, පැන්සල් පත්තරයක්, වගේ අඩුමකුඩුමත් අපට කන්න විස්කිරිඤා එහෙමත් අරන් එන්නෙ.

පැන්ටිස් අයියා උදෙන්ම යන්නේ තිහවට එන කව්පි, මුං, රට කජු මුට්ට කර ගහලා බඩු ගන්න සල්ලි හොයා ගන්න.
පොත් ගන්න, කොළඹ යන්න එහෙම සල්ලි වැඩිපුර අවශ්‍ය නම්, එතකොට ගොවිපොළේ වැඩ නවත්තලා අපි තුන්දෙනාම ගිහින් දවස් දෙක තුනක් එක දිගට මුට්ට කර ගහනවා.
සතියකට වරක් කව්රු හරි තිහව යනවාමයි. මොකද රටේ තොටේ වෙන්නෙ මොනවද කියල නිව්ස් අරන් එන්නෙත් තිහව යන කෙනා.

එදා අපි හතර විතර වෙනකම් කැලේ එළි කරල නාල එහෙම පැලට වෙලා පැන්ටිස් අයියා එනතෙක් බලාගෙන හිටියා.
සාමාන්‍යයෙන් තිහවෙන් 5.00 ට එන අන්තිම බස් එක 5.30 වෙද්දි කිරින්දට එනවා. බස් එක යනවත් ඇහුණා. ඒත් අයියා ආවෙනෑ.
අපි කතා වුණා ඇයි අයියා නැත්තේ. පියතිලක කිව්වා “හක්මන ගියාද දන්නෑ” කියල. “කවදාවත් එහෙම නොකිය යන්නේ නැහැ” කියලා මම කිව්වා.
දැන් රෑ 8.00 විතර වුණා ඒත් පැන්ටිස් අයියා නැහැ. පත්තු කරපු කුප්පි ලාම්පුවත් තෙල් ඉවර වෙලා නිව්නා.
මම මැස්සේ වාඩිවෙලා. පියතිලක කොටයක් උඩ වාඩිවෙලා. අපි කැලේ දිහා බලාගෙන ඉන්නවා. ඈතින් කව්රුවත් එනවනම් තරු එළියට ඡායාව පේනවා.
රෑ 9.00 ට කිට්ටුව බඩු ගෝනියත් ඔළුවෙ තියන් අයියා ආවා. දාඩිය නාලා.”පැන්ටිස් අයියෙ මොකෝ වුණේ.” පියතිලක ඇසුවා. කතා නැහැ.
ගෝනිය පැත්තක තියල කනුව මුල වාඩිවෙලා දනහිසට ඔළුව ගහගෙන ඉන්නවා.
“ඔහේට මොකෝ වුණේ. කතා නැතුව හිටියාම අපි දැන ගන්නේ කොහොමෙයි” පියතිලක අහනවා.
“පැන්ටිස් අයියෙ මොකෝ ප්‍රශ්නෙ”. මම ඇහුවා විතරයි. “මහත්තයෝ” කියල හයියෙන් අඩන්න ගත්තා.
අපි දෙන්නා කලබල වුණා. මාත් මැස්සෙන් බැහැලා කනුව ළගට ගියා.”අඬල හරි යනවද කාරණේ නොකිය”. මම ඇහුවා.
“මහත්තයො මට 2.00 විතර ආරංචි වුණේ”.
පැන්ටිස් අයියා ඉකි බිඳිනවා මිසක් ඔහුට කියාගන්න බෑ. “මොන ආරංචියද?” මම ආයෙ ඇහුවා.
“චේ ගුවේරා සහෝදරව මරල”. පැන්ටිස් අයියා කෙදිරි ගෑවා. ඒ ආරංචියෙන් අපව ගිනි ගත්තා.
කොහෙදිද වෙලා තියෙන්නේ.
බොලීවියාවේ කියලයි ප්‍රවෘත්ති වලට කිව්වේ.

අපි තුන් දෙනාම නිහඩ වුණා. කතා කරගන්න බැරි වුණා. පැන්ටිස් අයියා ඇඩුවෙ මේක මට කියා ගන්න බැරිව.
“දවල් ආරංචි වුණාට හරි විස්තරයක් දැනන් එන්න 6.00 ට ප්‍රවෘත්ති කියනකම් තිහව හිටියා. කිරින්ද 5.00 අන්තිම බස් එක යන්න ඇරලා අඬා අඬා පයින්ම ආවා”අයියා කිව්වා.
මටත් දරාගන්න අමාරුයි. චේ ගැන බොහෝ දේ මතකයට එනවා. අපේ රටේ විප්ලවවාදී ව්‍යාපාරය ගොඩ නගන්න අපි චේ ගෙන් උකහා ගත් ජීවගුණය අපමණයි.

අපි තනිවුණා. එදා අපි ලිපි ගිනි දැම්මෙත් නෑ. කෑවෙත් නෑ.අපි එකිනෙකා අතර කතා බහත් නතර වුණා. අපි තුන්දෙනාට වැටුණු වැටුණු තැන්වල එහෙමම නින්ද ගියා.
පසුවදා උදේ කහට බොන ගමන් මම කිව්වා
“අපි දුක්වෙලා තේරුමක් නැහැ. චේ වෙනුවෙන් අපේ පන්ති යුතුකම ඉටු කරන්න අපි අපේ ව්‍යාපාරය ගොඩ නැගීම වේගවත් කරමු.
අපි දිවි පිදූ චේ සහෝදරයා වෙනුවට චේ ගුවේරලා දස දහසක් මේ පොළොවේ හදමු”. කියල.

(1989 නොවැම්බර් මාසේ 13 වන දින රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කළ පුවත ආරංචි වීමෙන් පසුව පැන්ටිස් අයියා සිය දිවි හානි කර ගෙන තිබුණි)
– උදේනි සමන් කුමාර (fb)

Leave A Reply

Your email address will not be published.

18 + twelve =