“ජාතික සම්පත් විකිණීම පිළිබඳ ගන්නා පියවර ඉදිරියේදී දැකගත හැකියි”

- ආණ්ඩුවේ පක්ෂ 11ක්

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇති අතර ඉදිරියේදී තමන් ගනු ලබන පියවර ගැන ඉදිරියේදී ප්‍රකාශකරන බවද පක්ෂ නායකයින් පවසයි.

මෙම පක්ෂ නායකයන් බොරැල්ලෙ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ ඊයේ (20) පස්වරුවේ රැස්වී තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංස, රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර, වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව්. ගුණසේකර යන අය එම සාකච්ඡාවට සහභාගී වී සිට ඇත.

මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් ඇසුවේ “යුගදනවි බලාගාරයේ කොටස් වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට දෙන්නට ගිවිසුම් අත්සන් කරලා ඉවරයි නේද දැන් මොනවා කරන්න දැයි” යනුවෙනි. එයට පිළිතුරු දෙමින් විමල් වීරවංස පැවසුවේ “අසුභවාදී වෙන්න එපා අපි ජනාධිපති තුමා ආවම කතා කරනවා” යනුවෙනි.

යුගදනවි බලාගාරයේ කොටස් වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණි පසු සාකච්ඡා කිරීමටත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග අද (21) දිනයේ සාකච්ඡා කිරීමටත් එම පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මාධ්‍ය හමුවකදී පසුගිය 19 වනදා පැවතී  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කර සිටියේ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම පසුගිය 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට අත්සන් තබා ඇති බවයි. ඒ සඳහා ඇමරිකානු සමාගමෙන් සහභාගී වූ විදේශිකයා පාන්දර 02ට පමණ තිබූ ගුවන් යානයෙන් ඇමරිකාවට ආපසු පිටත්ව ගොස් ඇති බවත් මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇමරිකාවට ගියේ ඉන් පසුව බවත්ය.

Leave A Reply

Your email address will not be published.

twelve − ten =