‘නිරූපිකාවී’ අපේ සමාජය නිරූපණය කරනවා ද?

බොහෝ විට සමාජයේ විවිධ සමාජ ආන්තික කොටස් පදනම් කරගෙන විවිධ සාහිත්‍ය කලා නිර්මාණ සිදු වන ආකාරය අප කොතෙකුත් දැක තිබෙනවා. නමුත්, සමාජය තුළ පොදුවේ ඇස නොගැසෙන විරල වෘත්තීය ක්‍ෂේත්‍රයක් නියෝජනය කරන්නන් පදනම් කර ගත් නිර්මාණ අප දකින්නේ ඉතාම අඩුවෙන්. ඇතැම් විට ඒ වෘත්තීය ක්‍ෂේත්‍රයේ ස්වභාවයේ අභ්‍යන්තර ස්වරූපය ගැන අප දන්නේ නැති තරම්.  ප්‍රකට සිනමා විචාරකයකු හා සාහිත්‍යකරුවකු වන ගුණසිරි සිල්වාගේ නවතම නවකතාව ‘නිරූපිකාවී’ එවැනි වෘත්තියක් නියෝජනය කරන තරුණියක් වටා ගෙතුණක්.
ගුණසිරි සිල්වා

නවකතාවේ කේන්ද්‍රීය චරිතය වන ‘ගයනී’ හට විවිධ සමාජ හේතූන් නිසා බල කෙරෙන්නේ චිත්‍ර කලාගාරයක නිරූපිකාවක් :්රඑසිඑ ඵදාැක* ලෙස කටයුතු කිරීමට. විවිධ හැලහැප්පීම් මත ගලා යන ඇගේ ජීවන අන්දරය ආකාර දෙකකින් නවකතාව තුළ ඉදිරිපත් කෙරෙනවා. එහි දී ගුණසිරි දෘෂ්ටිකෝණ දෙකකින් කතාව අපට කියනවා. විටෙක ගයනී අපට ඇගේ ජීවිත කතාව කියනවා. විටෙක කතුවරයා අපට ඇගේ කතාව පවසනවා. මෙය අවස්ථානුකූලව ගුණසිරි අපූරුවට යොදා ගන්නවා.

රූමත් තරුණියක වන ගයනී යෞවන වයසේ දීම සිය පෙම්වතා අතින් ගැබ් ගනු ලබන්නේ පෙම්වතාගේ කූට උපක්‍රමයකට හසුවෙමින්. නමුත්, කෙසේ හෝ ඇය පෙම්වතාට පැන යා නොදී ඔහුව විවාහ කර ගන්නට තරම් සූක්ෂ්ම වෙනවා. එක්දරු මවක වන ඇය අනතුරුව සැමියාගේ විවිධ අඩන්තේට්ටම්වලට ලක්ව ඔහුගෙන් නීත්‍යනුකූලව වෙන් වෙනවා. එතැන් සිට ඇය දරුවා හදාවඩා ගනිමින් ජීවත් වීම සඳහා කටුක ජීවන අරගලයකට මුහුණ දෙනවා. විවිධ රැකියාවලට යොමු වෙමින් ඔවුන්ගේ ශ්‍රම සූරාකෑම්වලට ලක් වෙමින්, ලිංගික පීඩනයන්ට මුහුණ දෙමින් ගත කරන අවධියේ සල්ලිකාර තරුණයකු ඇයට මුණගැසී ආර්ථිකව උදවු කරමින් ඇයව ප්‍රේමයට හසුකර ගන්නවා. සුරාජ් විවාහකයෙක්. බිරිඳ විදේශගතව සිටින්නියක්. නමුත්, බිරිඳ ලංකාවට පැමිණි පසු ඔහු ගයනී හැර යනවා.

චිත්‍ර ශිල්පියකු මෙන්ම ආචාර්යවරයකු ද වන දේවින්ද සර් නම් වූ අතිශය මානුෂවාදී චරිතය මෙන්ම තුෂාර සර් ද සැබෑ කලා සමාජයේ අපට මේ මොහොතේ හමු වන්නේ දැයි විටක කුකුසක් පැනනඟිනවා. නමුත්, දේවින්ද ගයනීගේ ජීවිතය ආරක්ෂා කරනවා පමණක් නොව ඇය සමාජය තුළ අනතුරට ලක් විය හැකි අවස්ථා වළකාලනවා.

මෙතැන දී ඇය එයට හසු වන්නේ ඇයි දැයි පාඨකයාට සිතෙන්නේ වරක් ප්‍රේමය හා විවාහය ගැන කටුක අත්දැකීමක් ලැබූ අය දෙවැනි වතාවටත් එසේ හසු වීම යම් අභව්‍ය සිදුවීමක් ලෙස දැනෙන නිසා. නමුත්, කතුවරයා ගයනී ගේ ආත්මකථනය තුළින් සිය සැමියා, අජන්ත හා සුරාජ් සංසන්දනය කරවනවා. වඩා රළු මිනිසකු වුණු අජන්ත හා වඩා සෞම්‍ය ප්‍රේමවන්තයකු වූ සුරාජ් එහි දී අපට හමු වෙනවා. ඒ තුළින් දෙවන වතාවට ඇගේ රැවටීම සිදුවිය හැක්කක් බව හඟවනවා.

කෙසේ වෙතත් චිත්‍ර ශිල්පීන් සඳහා ආදර්ශ නිරූපිකාවියක ලෙස ඇයට සමාජයේ වෙනත් තලයක මිනිසුන් හඳුනා ගැනීමටත්, ඇසුරු කිරීමටත් ලැබෙනවා. මේ නිසා ඇය තුළ ඇති වන සමාජ අවබෝධය කතුවරයා ඉතා සියුම්ව නිර්මාණය කරනවා. එසේම එම සමාජ තලය තුළ ඇති අගතීන් මතු කරන්නටත් කතුවරයා උනන්දු වන්නේ කලා ලෝකය පරම පවිත්‍ර තැනක් නොවන බවට වන යථාර්ථය මතු කරමින්.

විටෙක කාලය හකුළමින් කතාව වේගයෙන් ගලා යාමට කතුවරයා බලහත්කාරයෙන් උනන්දු වෙන්නේ ඇයි දැයි ගැටලුවක් පැනනඟින්නේ සමහර නිර්මාණාත්මක අවස්ථා, සිද්ධි නිරූපණය කරනවා වෙනුවට ඒවා හුදු කතන්දර බවට පැවසීම නිසා.

චිත්‍ර ශිල්පියකු මෙන්ම ආචාර්යවරයකු ද වන දේවින්ද සර් නම් වූ අතිශය මානුෂවාදී චරිතය මෙන්ම තුෂාර සර් ද සැබෑ කලා සමාජයේ අපට මේ මොහොතේ හමු වන්නේ දැයි විටක කුකුසක් පැනනඟිනවා. නමුත්, දේවින්ද ගයනීගේ ජීවිතය ආරක්ෂා කරනවා පමණක් නොව ඇය සමාජය තුළ අනතුරට ලක් විය හැකි අවස්ථා වළකාලනවා.

දැඩි ශෝකාත්මක ගැටුම් බහුල ‘නිරූපිකාවී’ නවකතාව ගුණසිරි අවසන් කරන්නේ සුඛාන්තයක් ලෙසින්. එය ද යම් අභව්‍ය ස්වරූපයක් ගන්නවා දැයි සැක සිතෙනවා. පිළිකා රෝගයට ගොදුරු වන ගයනී ඉන් එක් පියයුරක් අහිමි වී ඉන් ගැලවීමත්, එයම පදනම් කරගෙන දේවින්ද විසින් ඇයගේ නිරූපණ චිත්‍රයක් ඇඳීමත්, එය ලක්ෂ 50කට අලෙවි කිරීමත්, එම මුදල ඇයට පරිත්‍යාග කිරීමත්, ඉන් ඇය දෙමහල් නිවසක් මිල දී ගැනීමත් යන කාරණා ගුණසිරි විසින් සුඛාන්තයක් වෙනුවෙන් කළ පෙළගැස්වීම් දැයි සිතෙනවා.

කෙසේ වෙතත්, ගුණසිරි සිල්වාගේ මේ නවකතාව එක දිගට කියවාගෙන යා හැකි රසෝද්දීපනයක් ඇති නවකතාවක් බව නොකියා බැහැ. නමුත්, නූතන සමාජ සන්දර්භය විශ්ලේෂණය කර එහි පැසවන සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදයේ ඕජස මතුකරන්නට තිබූ අවස්ථාවක් ගුණසිරි අතින් මගහැරුණා දැයි සැක සිතෙනවා. ■

■ කපිල එම්. ගමගේ

 

Leave A Reply

Your email address will not be published.

six − three =