යුද්ධය: ඇමෙරිකාවට වියදමක් ද? ආයෝජනයක් ද? (02)

ඇමෙරිකා එක්සත් ජනපදය යනු යුද්ධය හේතුවක් කර ගෙන සිය ආර්ථිකය මුළුමනින්ම ගොඩනඟා ගත් රටකට හොඳම නිදසුනක්. කොටින්ම ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ බලවත්ම රට බවට පත් වන්නේ යුද්ධය පදනම් කරගෙනයි. ඒ නිසාම ඇමෙරිකාව අද ද යුද ආර්ථිකය පිළිබඳව විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ මොක ද? ඔවුන්ගේ උපත සිදු වන්නේ ම යුද්ධය පදනම් කරගෙන වීමයි. මෙම තත්ත්වය වඩා පැහැදිලි කර ගැනීමට අපි දෙවන ලෝක යුද්ධය දෙසට හැරෙමු.

1941 වන විට එක්සත් ජනපදය ඒ වන විටත් සමස්ත ලෝකයම මුහුණ දුන් මහා ආර්ථික අවපාතයෙන් බරපතළ ලෙස පීඩාවට පත්ව සිටියා. ඒ වන විට රටේ රැකියා විරහිත අනුපාතය සියයට 25ක් තරම් ඉතාම ඉහළ මට්ටමක පැවැති අතර, ආර්ථික වශයෙන් වූ බංකොළොත්භාවය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණා. බොහෝ ඇමෙරිකානුවන්ගේ ජීවන තත්ත්වය 1929 කොටස් වෙළෙඳපොළ බිඳවැටීමට පෙර තිබූ තත්ත්වයට වඩා සියයට 60කින් පමණ පහළ ගොස් තිබුණා. දෛනික ජීවිත ගෙන යෑම, ආහාර සම්පාදනය මෙන්ම ආර්ථික, සමාජ, දේශපාලන කටයුතු කෙරෙහි ද මෙම තත්ත්වය නරක ලෙස බලපාමින් තිබුණා. කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල පසුබෑමක් වාර්තා වූ අතර, යටිතල පහසුකම් වර්ධනය මෙන්ම ඒවා තව දුරටත් නඩත්තු කරගෙන යාම පවා ප්‍රශ්නයක් බවට පත් වුණා. එමෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය ද විශාල පසුබෑමකට ලක්ව තිබුණා. කොටින්ම රට සතු විදේශ සංචිත ප්‍රමාණය විශාල ලෙස පහළ ගොස් තිබුණ අතර, අන් හැම රටක්ම මෙන්ම ඇමෙරිකාව ද අනාගතය ගැන බරපතළ අවිනිශ්චිත තැනකට ඇදවැටී තිබුණා. කෙසේ වෙතත්, දෙවන ලෝක යුද්ධය ආරම්භ වූ විට ඒ සියල්ල වෙනස් වීමට පටන් ගත්තා.

ඇමෙරිකාව සිය ජනතාවගේ බදු මුදල් ඩොලර් ට්‍රිලියන ගණනක් වියදම් කොට වෙනත් රටවල් සමඟ යුද්ධ කරන්නේ ඇයි? සිය ආරක්ෂාව සඳහා ද? නැතිනම් සිය ආධිපත්‍යය ගොඩනැගීම සඳහා ද? බොහෝ දෙනෙකු මේ දෙකින් එකක් සමඟ එකඟ වනු ඇත. එහෙත් මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ එය ඇමෙරිකාව විසින් කරනු ලබන ආයෝජනයක් බවයි! ඔව්, වැය කරන හැම ශතයකටම ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක්!

ඇමෙරිකාව ඒ වන විටත් ලෝකය පුරා ඇවිළෙමින් තිබූ යුද්ධයේ සැපයුම්කරුවකු බවට පත් වීමට තීරණය කළා. ඒ අනුව යුද්ධයට සම්බන්ධ මිත්‍ර පාක්ෂික රටවල ප්‍රධානම සැපයුම්කරු බවට ඔවුන් පත් වීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ. යුද්ධයේ ඉදිරි පෙළ මිනිසුන් සඳහා ආහාර, අනෙකුත් අවශ්‍යතා සහ අවි ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා වැඩි පිරිසක් අවශ්‍ය වුණා. මේ අවකාශය තුළ වසර ගණනාවක් රැකියාවලින් බැහැරව සිටි බොහෝ ඇමෙරිකානුවන්ට නව රැකියා ලබා ගැනීම සඳහා අවස්ථාව උදා වුණා. යුද්ධය ආරම්භ වී සති කිහිපයක් යන විට 25%ක්ව පැවැති සේවා වියුක්තිය 10%ක් දක්වා ඉතා වේගයෙන් පහළ ගියා.

ඉදිරි පෙළ සටන් කිරීමට සහ සැපයුම් සඳහා වැඩි වැඩියෙන් පිරිමින් යවන ලද හෙයින්, කර්මාන්තවල සහ එකලස් කිරීමේ සේවා සඳහා බහුල වශයෙන් කාන්තාවන් යොදා ගනු ලැබුවා. එමෙන්ම මෙතෙක් ආර්ථික ක්‍රියාවලියෙන් බැහැර කර තිබූ අතිවිශාල කාන්තාවන් පිරිසක් ආර්ථීක ක්‍රියාවලියට බද්ධ කිරීමට දෙවන ලෝක යුද්ධය හේතු වුණා. ඇමෙරිකාව යුද්ධය ආයෝජනයක් බවට පත් කර ගත් ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීමට මෙතැන් සිට විග්‍රහ කරන උදාහරණ දෙක වුව ද ප්‍රමාණවත්.

ආහාර හා යුද උපකරණ සැපයුම

1940 දී පමණ ඇමෙරිකානු කොන්ග්‍රසය තුළ සම්මත කරන ලද ‘ලෑන්ඩ්-ලීස් ඇක්ට්’ (Lend-Lease Act) නම් පනත මඟින් මිත්‍ර පාක්ෂික රටවල් වෙත ආහාර සහ යුද උපකරණ සැපයීමට අවශ්‍ය නෛතික කටයුතු සිදු කර තිබුණා. ඒ ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වීමට වසරකටත් පෙර සිටයි. එයින් පැහදිලි වන්නේ යද්ධයට ලෝකය සූදානම් වන විට එයින් ඵල නෙළීමට ඇමෙරිකාව සූදානම් වූ බවයි. මිත්‍ර පාක්ෂික රටවල් වන බි්‍රතාන්‍යය, ප්‍රංශය, රුසියාව, පෝලන්තය, චෙකොස්ලොවැකියාව, නෝර්වේ, නෙදර්ලන්තය, බෙල්ජියම, ග්‍රීසිය, පිලිපීනය වැනි රටවල් වෙත ආහාර, යුද උපකරණ, රථවාහන ආදිය ලබා දීමට ඇමෙරිකාව කටයුතු කළා.

විශේෂයෙන් ආහාර සැපයුම සහ යුද්ධයට අවශ්‍ය සියලුම ආකාරයේ උපකරණ, රථවාහන, අවි ආයුධ, ගුවන් යානා, යුද ටැංකි වැනි යුද්ධයක දී අවශ්‍ය කරන සකලවිධ සැපයුම් සඳහා ඇමෙරිකාව විසින් විශාල යාන්ත්‍රණයක් දියත් කරනු ලැබුවා. ඔවුන් විසින් ක්‍රමයෙන් වර්ධනය කර ගන්නා ලද ගුවන් බලය විශේෂයෙන් මෙහි දී වැදගත් වුණා. මෙම යුද ආර්ථික සැපයුම් ජාලය කෙතරම් වැදගත් වූවා දැයි කිවහොත්, ජපානය විසින් ඇමෙරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙළන ලද්දේ ද මෙම යුද සැපයුම් ජාලය අඩපණ කිරීමේ අරමුණෙන්.

ආහාර නිෂ්පාදනයේ පෙරළිය

වසර ගණනාවක් ඇදී ගිය යුද්ධය හේතුවෙන් ඇමෙරිකානු ගොවි ජනතාව විශාල වශයෙන් වගා කටයුතු කරමින් ආහාර නිෂ්පාදනය කළ අතර, ඇමෙරිකානු නාවික හමුදාව විසින් අත්ලාන්තික් සාගරය හරහා ඒවා ආරක්ෂිතව මිත්‍ර පාක්ෂික රටවල් වෙත ලබා දීම සිදු කරනු ලැබුවා. මේ නිසා තත් කාලය තුළ ඇමෙරිකානු ආහාර නිෂ්පාදනය තුන් ගුණයකින් පමණ ඉහළ ගිය බව සඳහන් වනවා. තිරිඟු සහ තිරිඟු ආශ්‍රිත නිෂ්පාදන, ඌරු මස්, බැටළු මස්, කුකුළු මස් සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදන, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර, එළවළු, පලතුරු ආදී ආහාර නිෂ්පාදන විශාල වශයෙන් අපනයනය කරනු ලැබුවා. ඒවා කෙළින්ම සම්පාදනය කරනු ලැබුවේ යුද පෙරමුණට වන අතර ඊට අතිරේකව බොහෝ රටවල් විසින් ද සිය රටවල ජනතාව වෙනුවෙන් මෙම ඇමෙරිකානු ආහාර මිල දී ගනු ලැබුවා.

මේ ආකාරයට දෙවන ලෝක යුද්ධයේ විශාලතම ආහාර සැපයුම්කරු බවට පත් වීමට ඇමෙරිකාවට වැඩි කාලයක් ගත වුණේ නැහැ. එමඟින් ඇමෙරිකාව කෘෂි අංශයේ අතිවිශාල ආංශික වර්ධනයක් අත්පත් කර ගත්තේ දෙවන ලෝක යුද තත්ත්වය තුළ දීමයි. මෙම තත්ත්වය කෙතරම් ප්‍රබල ලෙස මතු වූයේ ද යත්, මෙහි දී රජය විශාලතම ආහාර සහ ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගන්නා බවට ද පත්වුණා. ඇමෙරිකාවේ සමස්ත ගව මස් නිෂ්පාදනයෙන් 80%ක් ද, කිරි නිෂ්පාදනයෙන් 60%ක් ද, බටර් නිෂ්පාදනයෙන් 30%ක් ද, බැටළු මස් නිෂ්පාදනයෙන් 35%ක් ද, ටින් කළ පලතුරු හා එළවළු නිෂ්පාදනවලින් 50%ක් ද රජය විසින් කෙළින්ම මිල දී ගනු ලැබුවා. එලෙස මිල දී ගෙන ඒවා ආරක්ෂිතව මිත්‍ර පාක්ෂික රටවල් වෙත සම්පාදනය කරනු ලැබුවා. මේ නිසා ඇතැම් අවස්ථාවල දේශීය වශයෙන් ඇමෙරිකානු වෙළෙඳපළ තුළ මෙම භාණ්ඩවල හිඟයක් ද ඇති වුණා. එය මැඬපැවැත්වීම සඳහා කූපන් ක්‍රමයක් ද දේශීයව හඳුන්වා දීමට එම කාලයේ ඇමෙරිකාව කටයුතු කළා. කෙසේ නමුත්, මිත්‍ර පාක්ෂික රටවලින් ලැබෙන ඇණවුම් සම්පාදනය මූලික ඉලක්කය කර ගත් රජය එමඟින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයීමට කටයුතු කරනු ලැබුවා.

ගුවන් යානා කර්මාන්තය

අනෙක් පසින් අවි ආයුධ හා යුද්ධෝපකරණ නිෂ්පාදනය ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට පත් වුණා. විශේෂයෙන් ගුවන් යානා කර්මාන්තය ඉතාම වේගයෙන් වර්ධනය කර ගනු ලැබුවා. බී -29 සුපර්ෆෝර්ට්‍රෙස් වැනි ඇමෙරිකානු බර බෝම්බ හෙළන යානා බෝම්බ ප්‍රහාර, රේඩාර් සහ උසස් ක්‍රියාකාරී එන්ජින් වැනි නවෝත්පාදනයන්ගෙන් හෝ ගුවන් යානා සඳහා විශාල ඉල්ලුමක් මිත්‍ර පාක්ෂික පැත්තෙන් යොමු වුණා. එම නවතම සංවර්ධනයන්ගෙන් හා දියුණුවකින් තොරව ජර්මනියේ සහ ජපානයේ ගුවන් ශක්තියට මුහුණ දීමට යුද්ධයට සම්බන්ධ සෙසු රටවලට හැකි වුණේ නැහැ.

ඉංජිනේරු තාක්ෂණය, ගුවන් යානා තාක්ෂණය, යුද ටැංකි, බෝම්බ, වෙනත් බර සහ සැහැල්ලු අවි ආයුධ, පතොරම්, ලෝහ විද්‍යාව සහ කර්මාන්ත ශාලා සංවිධානය කිරීම අතින් ඇමෙරිකාව වේගයෙන් ඉදිරියට පැමිණියේ මෙම දෙවන ලෝක යුද්ධය හේතු කරගෙනයි. යුද ගුවන් යානා සහ උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවල පමණක් මිලියන 2ක ඇමෙරිකානු ජනතාවක් සේවය කළ බව තොරතුරුවල සඳහන් වනවා. සිය දහස් ගණන් කම්කරුවන් ප්‍රධාන කර්මාන්ත ශාලා තුළ සේවය කළ අතර ඩොලර් බිලියන 3ක රජයේ වියදම්වලින් සමන්විත බී -29 ව්‍යාපෘතියට එක්සත් ජනපද හමුදා, ගුවන් හමුදාව, ප්‍රධාන පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් සහ කම්කරු සංගම්  විසින් පෙර නොවූවිරූ ආකාරයේ සංවිධාන හැකියාවන් පෙන්නුම් කරමින් මෙම නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරනු ලැබුවා.

සමස්තයක් වශයෙන් ගත් කල, එවකට ඇමෙරිකානු ගුවන් යානා නිෂ්පාදනය ඇමෙරිකානු යුද ආර්ථිකයේ විශාලතම අංශය වූ අතර, එහි පිරිවැය ඩොලර් බිලියන 45ක් වුණා. ඇමෙරිකාව විසින් යුද නිෂ්පාදන සඳහා වැය කළ මුළු පිරිවැය ඩොලර් බිලියන 183ක්. මෙම කර්මාන්තයේ පමණක් කම්කරුවන් මිලියන දෙකක් සේවයේ යෙදී සිටි අතර, මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ ගුවන් යානා 125,000කට වැඩි ප්‍රමාණයක් වසර 04ක කාලය තුළ පමණක් නිෂ්පාදනය කිරීමයි.

නෞකා දහස් ගණනක් 

ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද ආර්ථිකයට නැව් තැනීම සහ ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය ද විශාල වැදගත්කමක් ගනු ලැබුවා. දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර උපායමාර්ගය මුළුමනින්ම රඳාපැවතුණේ එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද යුද ද්‍රව්‍ය අප්‍රිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ සටන් පෙරමුණට ගෙන යෑම මතයි. 1939 සහ 1945 අතර කාලය තුළ එක්සත් ජනපද සමුද්‍රීය කොමිසම (යූ.එස්.එම්.සී.) විසින් අධීක්ෂණය කරන ලද වෙළෙඳ නැව් දහස් ගණනක් නිෂ්පාදනය කළා. එමෙන්ම ඒවා භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂයෙන් යොදා ගනු ලැබුවා. මෙම නැව් තැනීම සඳහා පමණක් ඩොලර් බිලියන 18ක් පමණ ඇමෙරිකාව වියදම් කර තිබෙනවා. පැය 24 පුරා ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා එවකට ඇමෙරිකාව තුළ සුලභ දසුනක් වූ බව සඳහන් වනවා.

එමෙන්ම විශාල ප්‍රමාණයේ යුද හා භාණ්ඩ ප්‍රවාහන නෞකා  5,777ක් පමණ වසර 04ක කාලයක් තුළ ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. මෙලෙස නිපදවන ලද නැව්වලින් 80%ක්ම අපනයනය කර තිබෙනවා. ඒවා මිල දී ගෙන තිබෙන්නේ මිත්‍ර පාක්ෂික රටවල් විසින්. මේ අතර  ප්‍රධාන නව ආර්ථික උපායමාර්ග හතරක් මෙම යුදකාලීන ආර්ථික ව්‍යාපාතිය සඳහා පහසුකම් සැලැසුවා. මෙහි දී සියලු ම තීන්දු තීරණ ගනු ලැබුවේ War Production Board නමැති විශේෂ ඒජන්සියක් විසින්. 1942 වසරේ දී එය පිහිටුවන ලද අතර, එහි ප්‍රධානියා වුණේ ඩොනල්ඩ් නෙල්සන්.

පළමුවෙන්ම සිදු කර තිබෙන්නේ ෆෙඩරල් රජයට වෙළෙඳ නැව් තැනීමේ කර්මාන්තය මෙහෙයැවීමට මෙම කොමිසම මඟින් අවසර ලබා දීමයි. දෙවනුව, කොමිසම දේශීය ව්‍යවසායකයන්ට අරමුදල් සම්පාදනය කරනු ලැබුවා. මොවුන් සාමාන්‍ය ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන් වූ  අතර, ඔවුන් කිසි දිනෙක නැව් තැනුවේ නැති වුවත්, ඒ සඳහා තාක්ෂණය ලබා දෙමින් යොදාගෙන තිබෙනවා. නැව් අංගනයේ මහා පරිමාණ නිෂ්පාදන ක්‍රම භාවිත කරමින් සියලුම ජනපද වෙත මෙම නිෂ්පාදන පුළුල් කර තිබෙනවා. එමෙන්ම කාන්තාවන් පවා විශාල වශයෙන් මෙම නාවික යාත්‍රා නිෂ්පාදන කර්මාන්තයට ඇතුළත් කරගෙන තිබෙන අතර, මිලියන ගණනක් දෙනාට රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

අවසානයේ දී කොමිසම විසින් එවකට අතිශයින් ජනප්‍රිය වූ ‘ලිබර්ටි’ නැව වැනි ප්‍රමිතිගත යාත්‍රා විශාල ප්‍රමාණයක් තැනීම තුළින් මහා පරිමාණ නිෂ්පාදනයට පහසුකම් සැලසුවා. වෙළෙඳ නැව්, යුද නැව් පමණක් නොව තෙල් ප්‍රවාහණ නෞකා පවා මෙම කාලයේ දී නිෂ්පාදනය ආරම්භ කරනු ලැබුවා. විශේෂයෙන් ඒ වන විට නෞකා තාක්ෂණයෙන් පෙරමුණේ සිටියේ යුරෝපීයයන් වුවත්, ඇමෙරිකාව ද කරට කර සටනක් දෙමින් යුද්ධයේ වාසිය සියතට ගනිමින් කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත්, ගුවන් යානා තාක්ෂණයේ අධිකාරීත්වය පැවැතියේ ඒ වන විටත් ඇමෙරිකාව වෙතයි.

විශාලතම ආර්ථික වෘද්ධිය

මේ ආකාරයට යුද්ධය මුල් කර ගෙන ගොඩනැඟුණු ඇමෙරිකාව 1944 වසර වන විට වාර්ෂිකව සිය දළ දේශීය නිෂ්පාදනය 28%න් පමණ වර්ධනය කර ගත් අතර, එය එදා මෙදාතුර ලෝකයේ කුමන හෝ රටක් වාර්තා කර තිබෙන විශාලතම වාර්ෂික ආර්ථික වෘද්ධියයි. 1942 වසරේ දී ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් විසින් ‘ද වෝ ප්‍රොඩක්ෂන් බෝඩ්’ (The War Production Board) නමින් පත් කරන ලද විශේෂ ඒජන්සිය මෙම ක්‍රියාවලිය තුළ විශාල මෙහෙවරක් ඉටු කර තිබෙනවා. එහි මූලිකත්වය ඩොනල්ඩ් නෙල්සන් (Donald Nelson) නමැති පුද්ගලයාට පවරනු ලැබුවා. ඔහු පෞද්ගලික අංශයේ කටයුතු කළ දක්ෂ කළමනාකරුවකු ලෙස ප්‍රකටයි. එමෙන්ම ඔහු ඒ වන විටත් ‘ඔෆිස් ඔෆ් ප්‍රොඩක්ෂන් මැනේජ්මන්ට්’ (Office of Production Management) නමැති රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා ද වුණා.

මෙම යුද නිෂ්පාදන මණ්ඩලය විසින් සිදු කරන ලද්දේ ඇමෙරිකාව ලෝකයේ ඊ ළඟ බලවතා බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන ආර්ථිකය නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම සකස් කිරීම සහ සම්පත් උපයෝජනය කිරීමයි. ඒ වන විට ඔවුන්ට ලැබී තිබුණ අවස්ථාව වුණේ යුද්ධයයි. යුදමය නිෂ්පාදන සහ සැපයීම් වැඩිදියුණු කිරීම සහ නිෂ්පාදනය කර අපනයනය කර එමඟින් යුද ආර්ථිකයක් ඇති කිරීම ඔවුන්ගේ ඉලක්කය වුණා. ඒ සඳහා විශාල වශයෙන් ඔවුන් ආයෝජනය කරනු ලැබුවා. එමෙන්ම යුද සැපයීම් නිෂ්පාදනය සඳහා ඇමෙරිකානු ජාතික සම්පත් උපයෝජනය වඩා කාර්යක්ෂම කිරීම, කළමනාකරණය සහ විධිමත් කිරීම ද මෙම ඒජන්සියේ ප්‍රධාන වගකීමක් වුණා.

එමෙන්ම නව සම්පත් අත්පත් කර ගැනීම ද එහි තවත් ඉලක්කයක්. අනෙක් පසින් දේශීය සිවිල් නිෂ්පාදන කර්මාන්ත වෙතින් පැනනඟින ගැටලු නිරාකරණය ද මෙහි වගකීමක්. කෙසේ හෝ ඇමෙරිකාව යුද්ධය ආයෝජනයක් බවට පත් කරගෙන දෙවන ලෝක යුද්ධය සිය ජාතික ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ඉතාම සූක්ෂ්ම ලෙස භාවිත කළ බව ඉතා පැහැදිලියි. ඒ නිසාම ඇමෙරිකාව අද ද යුද්ධය සිය ආර්ථිකයේ කේන්ද්‍රීය මූලෝපායය ලෙස විශ්වාස කරනවා. එමෙන්ම ඇමෙරිකානුවන්ගේ රුධිරයේ එය මුල්බැස තිබෙනවා. ඒ නිසා 1945 වසරින් පසුවත් ඔවුන් දිගින් දිගටම මෙම ස්ථාවරයේම කටයුතු කර තිබෙනවා●

අනුහස් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.

12 − eight =