“ඉස්කාගාර, බාර් අයිති මැති ඇමතිවරුන්ට ආදායම් අඩු නිසා බාර් අරින්ඩ ඇති”

- අනුර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙහිදී අදහස් දක්වමින්

“බාර් අරින්න තීරණය කළේ කවුද කියන එක ගැටලුවක්. ඉස්කාගාර අයිති ඇමතිවරුන්ට. බාර් අයිති මන්ත්‍රීවරුන්ට. ඔවුන්ගේ ආදායම් ගැන ආණ්ඩුව හිතනවා ඇති. කෝටි 1500ක සුරාබදු අහිමි වූ බව ආණ්ඩුව කියා තිබුණා.

ආණ්ඩුවේ කණ්ඩායම් සහ පුද්ගලයින් තම තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගැටුම් ඇතිකර ගත්තාට රටට හානිකර දේවලට එරෙහිව ඔවුන් අතර ගැටුමක් නැහැ. ඔවුන් රණ්ඩු කරන්නේ තමන්ගේ ඕ.අයි.සී. මාරුකර වෙනත් ඇමතිවරයෙකුගේ ඕ.අයි.සී. කෙනෙක් පත්කිරීම වගේ දේකටයි. කෙරවලපිටිය විකිණීම වගේ කරුණකදී ඔවුන් සියලු දෙනා සිටින්නේ එකට.

මෑත කාලයේ රටක් ලෙස බරපතළම ආර්ථික අර්බුදයක අප මුහුණ දී තිබෙනවා. ආදායම බිලියන 482යි. ගෙවිය යුතුව තිබෙන වියදම් බිලියන 1678යි. මේ වසර අවසන් වන විට බිලියන 8.5ක පමණ වෙළඳ හිඟයකට මුහුණ දීමට සිදුවෙනවා. චීනයට වරායේ අක්කර 13ක් ලබාදීමට යන්නේ මෙම තත්වය තුළයි. ආණ්ඩුවට ණය ගන්න නම් ජනතා දේපළ විකුණන්න වෙලා. මේක මස්පිඩු පෙනන්ලා විසඳන්න පුලුවන් ගැටලුවක් නෙවෙයි.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ඉවත් කිරීම බලාපොරොත්තු විය හැක්කක්. හොරාටයි හොරකම් අල්ලන්න උදව් කරපු කෙනාටයි එකට වාඩි වෙන්න බැරි නිසා අයින් කරන්න ඇති.

රාජ්‍ය යාන්ත්‍රණය තුළ බරපතළ අරාජිකත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වෙමින් තිබෙනවා. ඒ අතර ආණ්ඩුව තානාපතිවරුන් ගණනාවක් මාරු කරමින් තිබෙනවා. පරිපාලන සේවයේ නිලධාරීන් යම් ප්‍රමාණයක් බරපතළ කළකිරීමකින් සිටිනවා. ඔවුන්ට ජීවනෝපාය නිසා ඉවසා ගෙන සිටින්නට සිදුවෙලා. නමුත් ඉවත් විය හැකි අය ඉවත් වෙමින් සිටිනවා.

තෙල් පිරිපහදුව වැඩිදියුණු කළා නම් අමතර නිෂ්පාදන රැසක් රටට ලබාගත හැකිව තිබුණා. එය යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මකව තිබූ කාලයේ රටට අවශ්‍ය පොහොර, නයිලෝන්, කෘමි නාශක, නිෂ්පාදනය කළා. නැව් තෙල් සැපයීමෙන් විශාල ආදායමක් ලැබුවා. නමුත් ඒවා පෞද්ගලීකරණය කිරීමෙන් රාජ්‍ය ආදායම අහිමිකර ගත්තා. තෙල් සංස්ථාව සිදුවූ දේ රටට අත්වූ ඉරණම පිළිබඳ හොඳ සාම්පලයක්.”

 

Leave A Reply

Your email address will not be published.

nineteen − fifteen =