මහ මොළකරු සැඟවීමේ නන්දසේන උපාය

රාජපක්ෂ පාලනය නැවත බලයට ආවේ පාස්කු ප්‍රහාරය නිමිතිකොටගෙන ය. එකී ප්‍රහාරයත් සමඟ රටේ ජාතික ආරක්ෂාව බිඳවැටුණු බව සත්‍යයකි. එක පැත්තකින් තොරතුරු ප්‍රමාණවත් ලෙස ලැබී තිබිය දීත්, එය වළක්වා ගත නොහැකි විය. අනෙක් පැත්තෙන් එවැනි අන්තවාදී සංවිධානයකට කාලයක් තිස්සේ වැඩෙන්නට ඉඩහරිනු ලැබී ය. ප්‍රහාරයත් සමග මුළුමහත් ජනතාව ම භීතියට පත් විය. එකී භීතිය දේශපාලන වාසියක් කර ගත්තේ, රාජපක්ෂ කණ්ඩායම ය. ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ තමන්ට පමණක් ම යැයි ගෝඨාභය කිව්වේ, ප්‍රහාරය සිදු වී දින දෙක තුනක් ඉක්ම වූ විගස ය. ‘මොනවා නැතත් රටක් තියෙන්න ඕනෑය’ යන අදහස ජනගත වුණේ එයත් සමඟ ය. ජනතාව බහුතරයක් ඡන්දය දුන්නේ රට ආරක්ෂා කර ගැනීමටය. පාස්කු ප්‍රහාරය මෙහෙයැවූවන්ට දැඩි දඬුවම් පැමිණැවීමේ බලාපොරොත්තුව සහිතව ය. නැවත එවැන්නක් ඇති නොවීම සඳහා ය.

සොයාගත්තේ මොනවාද?

මේ වන විට ප්‍රහාරය සිදු වී මාස විසිනවයක් ගත වී අවසන් ය. එහෙත්, එය මෙහෙයැවූයේ කවුරුන් ද? කුමන වුවමනාවෙන් ද යන්න තවමත් සොයාගෙන නැත. සොයා ගැනීමේ අරමුණක් ඇති බවක් පෙනෙන්නේ ද නැත. එහෙන් මෙහෙන් අත්අඩංගුවට ගත් කිහිප දෙනකුට එරෙහිව නඩු දමා ‘ඔන්න අපි නීතිය ක්‍රියාත්මක කළා’ යැයි කියන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ ය. එසේ නොමැතිව මෙහි මහ මොළකරුවා සොයා ගැනීමේ කිසිදු වුවමනාවක් ආණ්ඩුවට ඇති බවක් පෙනෙන්නට නැත. මේ ප්‍රශ්නය දිගට හරහට බරපතළ ලෙස අසන්නට වූ වෙලාවේ එකවර ම සරත් වීරසේකර එවැන්නක් ගැන කිව්වේ ය. එනම්, ‘නවුෆර් මවුලවි යන අය මහ මොළකරු’ යැයි කිව්වේ ය. එය පට්ටපල් බොරුවක් බව දින කිහිපයකින් ම හෙළිදරවු වුණේ ය.

මහ මොළකරු සොයා ගැනීමේ ඇත්ත වුවමනාව ඇත්තේ මෙතැන ය. කවුරුන් විසින් කුමන අරමුණක් සඳහා මෙම ප්‍රහාරය දියත් කළේ ද යන්න දැනගැනීම මේ රටේ ජනතාවගේ පරම අයිතියකි. කාදිනල්තුමා ඇතුළු පිරිස මැදිහත් වන්නේ එයටයි. එහෙත්, ආණ්ඩුව කරන්නේ, මෙම ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දෙනවා වෙනුවට වෙන වෙන ජවනිකා රඟපෑමය.

සිදු වූ දේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරන්නේ නම්, සොයාබැලිය යුතු බොහෝ දේවල් තිබේ. කොමිෂන් වාර්තාවෙන් හෙළිදරවු වූ දේවල් සහ විවිධ තැන්වල දී අත්අඩංගුවට ගත් අයගෙන් ලැබුණු තොරතුරු මත පරීක්ෂණ ඉදිරියට යා යුතු ය. එහෙත්, එවැන්නක් සිදු වන බවක් නොපෙනේ. මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පාර්ශ්වය ප්‍රබලව කියා සිටින්නේ එයයි. බොරු පරීක්ෂණ වෙනුවට ඇත්ත පරීක්ෂණයක් කරන ලෙසයි. ඉතා පැහැදිලිව හිටපු නීතිපතිවරයා මෙතැන බරපතළ කුමන්ත්‍රණයක් සිදු වූ බව පැවසුවේ ය. ඔහු එය කිව්වේ, ආවාට ගියාට නොවේ ය. ඔහු වෙත විවිධ පැතිවලින් ලැබුණු තොරතුරු සහ සාක්ෂි පදනම් කොටගෙන ය. කාදිනල්තුමා ඉල්ලා සිටින්නේ එයයි. අසාධාරණයට ලක් වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස සහ මෙම ප්‍රහාරයේ සැබෑ වගකිව යුත්තා කවුරුන් ද යන්න හෙළිදරව් කරන ලෙසයි.

කාදිනල්තුමාගේ ලිපිය

කාදිනල්තුමා ජනාධිපති වෙතට යැවූ ලිපියේ මාතෘකාව වූයේ පාස්කු ප්‍රහාරය සිදු කිරීම හා සම්බන්ධ කුමන්ත්‍රණය, ප්‍රහාරයට පෙර එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා සිදු කරන ලද නොමඟ යැවීම් සහ ඊට සෘජුව සම්බන්ධ පුද්ගලයන් කවුරුන් දැයි අනාවරණය කර ගැනීම සඳහා ඇති ප්‍රබල කරුණු සහ සාක්ෂි ලෙසටය. එනම්. මෙහි දී කුමන්ත්‍රණයක් ගැන පැහැදිලිව කතා කරයි. ප්‍රහාරයට පෙර පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීම සඳහන් ය. නොමඟ යැවීම් ගැන කියයි. වැදගත් ම දේ ප්‍රබල සාක්ෂි හා කරුණු ගැන කීමයි.

ඒ ඔස්සේ පරීක්ෂණ මෙතෙක් සිදු වී නැති බව එයින් අවධාරණය කරයි. එනම්, එහි දෙවැනි කරුණෙන් කියන්නේ, මොහොමඩ් මොහිදීන් නොහොත් ආමි මොහිදීන් යන අය යුද හමුදා සාමාජිකයකුව සිට ඇති අතර, ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යුද හමුදා බුද්ධි අංශය කිසිදු ආවේක්ෂණයක් හෝ විපරමක් සිදු කර නොතිබීම ද ප්‍රබල සැකයකට තුඩු දෙන කරුණක් ය යන්න ය. ආණ්ඩුව මෙයට මෙතෙක් නිවැරැදි පිළිතුරක් ලබා දී නොමැත. අඩු ම ගාණේ සරත් වීරසේකර හෝ මේ ගැන කිව යුතු ය. එය එසේ සිදු වී නොමැත. සැකය තව තවත් තහවුරු වන්නේ ඒ මත ය. එපමණක් නොව මොහු 2018 නොවැම්බර් 30 වැනි දින වව්නතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනකු  වෙඩි තබා ඝාතනය කොට ඔවුන් සතුව තිබූ අවි පැහැර ගැනීමට සෘජුව සම්බන්ධ වුණු අයකු බවට පසුව සිදු කරන ලද පරීක්ෂණවල දී තහවුරු වී තිබේ. තත්ත්වය වඩාත් භයානක වන්නේ එවිට ය.

තාක්ෂණික දත්තවලින් හෙළි වන කරුණු

එමෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන කාන්තා පොලිස් අධිකාරිනී, දර්ශිකා කුමාරි නමැති නිලධාරිනියගේ අධීක්ෂණය යටතේ එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාන තාක්ෂණ වෝහාරික විද්‍යාගාරයේ (ෘසටසඒක ත්‍දරුබිසජ ඛ්ඉ) ස්ථානාධිපති වශයෙන් කටයුතු කරනු ලබන ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් සේනාරත්න විසින් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් විදේශ විමර්ශකයන් ලබා දුන් ඉතා වැදගත් තොරතුරක් පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත.

එම තොරතුර වන්නේ 2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු කරන ලද පාස්කු ප්‍රහාරයේ දී බෝම්බ පුපුරුවා ගත් ස්වයංඝාතක ත්‍රස්තවාදීන් සතුව තිබී සොයා ගත් පරිගණක, ජංගම දුරකථන, දත්ත බහාලුම් සහ ‘අයි පෑඩ්’ ඇතුළු අධිතාක්ෂණික උපකරණවල හා මෙවලම්වල අන්තර්ගත දත්ත සම්බන්ධයෙන් ඇමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (ත්‍ඊෂ) විමර්ශකයන් විශ්ලේෂණයක් සිදු කොට ඒ තුළින් අනාවරණය කර ගත් අන්තර්ජාල කෙටුම්පත් ලිපිනයක් (ෂබඑැරබැඑ ඡරදඑදජදක ්ාාරුිරැෂඡ ්ාාරුි) ඉහත නිලධාරීන් වෙත ලබා දී ඇත. එම තොරතුරු ලබා දෙමින් එෆ්.බී.අයි. විමර්ශකයන් දන්වා ඇත්තේ, අදාළ අයි.පී. ලිපිනය භාවිත කරනු ලබන පුද්ගලයා හෝ පුද්ගලයන් සහරාන් හෂීම් සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය වන බවයි.

එම තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් සේනාරත්න ඇතුළු කණ්ඩායම ප්‍රශ්නගත අයි. පී. ලිපිනය භාවිත කරන පුද්ගලයා අනාවරණය කරගෙන ඇති අතර, ඔහු මුස්ලිම් ජාතිකයකු බවට තහවුරු වී ඇත. ඔහු සම්බන්ධව ගැඹුරින් පරීක්ෂණ පැවැත්වීමේ දී යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ බි්‍රගේඩියර් චූලා කොඩිතුවක්කු එම ක්‍රියාවලිය ඔවුන්ගේ ක්‍රියාවලියක් බව ප්‍රකාශ කරමින්, ඒ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පැවැත්වීමට බාධා කරමින්, අදාළ පුද්ගලයා මුදාගැනීමට කටයුතු කර ඇත. මෙය අතිශයින් බරපතළ සැකයට තුඩු දෙන කරුණක් වන අතර, මේ පිළිබඳව පාස්කු කොමිසමේ දී හෙළිදරව් වී තිබේ.

ඇත්ත දැනගැනීම අයිතියකි

මහ මොළකරු සොයා ගැනීමේ ඇත්ත වුවමනාව ඇත්තේ මෙතැන ය. කවුරුන් විසින් කුමන අරමුණක් සඳහා මෙම ප්‍රහාරය දියත් කළේ ද යන්න දැනගැනීම මේ රටේ ජනතාවගේ පරම අයිතියකි. කාදිනල්තුමා ඇතුළු පිරිස මැදිහත් වන්නේ එයටයි. එහෙත්, ආණ්ඩුව කරන්නේ, මෙම ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දෙනවා වෙනුවට වෙන වෙන ජවනිකා රඟපෑම ය. පළමුව සිදු කළේ මෙම වැදගත් කරුණු අනාවරණය කරමින් ප්‍රශ්න කළ තරුණයාව සී. අයි. ඩී.යට කැඳවා දවස් ගාණක් තිස්සේ ප්‍රශ්න කිරීම ය. එයට කිසිසේත් ම නොසැලුණු තරුණයා තව තවත් කරුණු හෙළිදරවු කළේ ය. අන්තිමේ දී මහින්ද ඉතාලි ගමනක් ද හදිසියේ යොදා ගත්තේ ය. එහි දි පාප් වහන්සේ හමු වී උන් වහන්සේට වෙන කතාවක් කියන්නට සැලැසුම් කළ බව සිතා ගත හැකි ය. මහින්දගේ ඉතාලි ගමන ගැන කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ ඇමැති කිව්වේ, පාප් වහන්සේ මුණගැසී ඒ ගැන කියන බව ය. පහුවදා ම කාදිනල්තුමා එය තදින් විවේචනය කළේය. එත් එක්ක ම එවැනි මුණගැසීමක් සිදු නොකරන බව විදේශ අමාත්‍යාංශයෙන් කිව්වේ ය. එම සිදුවීම්වලින් කරන්න ගියේ කුමක් ද? වැළැක්වුණේ කොහොම ද යන්න සිතා ගත හැකි ය.

ඥානසාර යළි කරළියට

මේ ඊයේ පෙරේදා හිටපු ගමන් ආයෙත් සැරයක් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ආණ්ඩුවේ මාධ්‍ය නාළිකාවක් වන ස්වාධීන රූපවාහිනියෙන් කරුණු කියන්නට පටන් ගත්තේය. පහුවදා ‘හිරු’ නාළිකාවේ ‘සලකුණ’ වැඩසටහනට ද සහභාගී විය. එහි දී කියන්නේ, මහ මොළකරු ගැන හොයන්න එපා කියා ය. එපමණක් නොව සිදුවීම ගැන අවධානය සම්පූර්ණයෙන් ම වෙන පැත්තකට හරවන්නට ද උත්සාහ ගත්තේය.

එහෙත්, ඉහත මතු කළ සිදුවීම් දෙක පිළිබඳව නිවැරැදිව පරීක්ෂණ සිදු කරන්නේ නම්, මහ මොළකරු පමණක් නොව ප්‍රහාරයේ අරමුණ කුමක් ද යන්න පවා සොයා ගත හැකි ය. දැන් මේ උත්සාහ කරන්නේ මේ සත්‍යය යටගැසීමට ය. විවිධ අය පාවිච්චි කර ගනිමින් මේ කරන්නට යන්නේ එයයි. වෙන වෙන අයට චෝදනා එල්ල කරමින්, සැබෑ තොරතුරු යටගැසීමේ වුවමනාව ඇත්තේ කාට ද යන්න පැහැදිලි ය. වෙන කිසි දෙයක් නොමැතිව උන් වහන්සේ චෝදනා කරන අයට මෙම ප්‍රහාරයෙන් යම් දේශපාලන වාසියක් අත් වූයේ ද යන්න පමණක් සිතාබැලීම ප්‍රමාණවත් ය. එතැනින් ම ඒ කරුණු පුස්සක් බවට පත් වේ. සැබැවින් ම මෙම සිදුවීමෙන් දේශපාලන වාසිය ලැබුණේ කාට ද යන්නෙන් සැබෑ කුමන්ත්‍රණකරුවා සොයා ගත හැකි ය; මහ මොළකරුවා සොයා ගත හැකි ය. දැන් මේ මහ මොළකරු සොයන්න එපා යැයි කියන්නේ එය සම්පූර්ණයෙන් ම යටගැසීමට ය. එදා සහරාන්ලා පාවිච්චි වුණා සේ ම අද අන් අයව පාවිච්චි වන්නේ ද එකී කුමන්ත්‍රණය යටගැසීමට ය. එහෙත්, එය කිසිසේත් ම කළ නොහැක්කකි. සත්‍යය කවදා හෝ හෙළදරව් වනු ඇත. එය කිසිවකුට කිසි ම අයුරකින් යටගැසීය නොහැකි ය. මේ වන විට හෙළිදරවු වූ කරුණුවලට වඩා තව බොහෝ කරුණු අනාගතයේ දී හෙළිදරවු වනු ඇත. වෙස්මුහුණු දාගෙන ඉන්න හැමෝගෙ ම සැබෑ මුහුණු එදාට එළියට එනු ඇත●

ජගදාක්‍ෂි

 

 

Leave A Reply

Your email address will not be published.

4 × three =