පුරවැසියොත් පොඩි ගුරු වගේ

ඊරි පිල්ලියක් මා පසුපස හඹා එන්නට පටන්ගෙන තිබේ. එය ගැලවිය නොහැකි අති භයානකම පිල්ලියකි. මේ පිල්ලිය මා වෙත එවූයේ කවුද? පිල්ලි යැවීමේ හා කැපීමේ ශූරයකු වූ පොඩිගුරු අත්විඳින මේ උභතෝකෝටිකය ගැන දැනගැනීමට නම් ඔබ රෝහිත බ්‍රහ්මචාරීගේ නවතම නවකතාව වන ‘බූමාටු’ කියැවිය යුතු ය. 2020 වසරේ සරසවි ප්‍රකාශනයක් ලෙස පළ වුණු මේ නවකතාව පිළිබඳව අදහස් දැක්වීමට එහි කර්තෘ රෝහිත බ්‍රහ්මචාරී මෙසේ සම්මුඛ විය. රෝහිත බ්‍රහ්මචාරී වයඹ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද ලේඛකයෙකි.

 

පිල්ලි, මන්තර, ගුරුකම්, කොඩිවිණ, වෙදකම වගේ කාරණා එක්ක ඔබට තියෙන සම්බන්ධය මොකක් ද? එවැනි කාරණා අළලා නවකතාවක් නිර්මාණය කිරීමේ පසුබිම විස්තර කළොත් ?

ඔබ ඔය කියපු හැම ගැමි විශ්වාසයක්ම, එහෙම නැත්නම් අභිචාර විධියක්ම මම ඉපදී, හැදීවැඩුණු පරිසරයෙන්ම බොහෝ විට මට උරුම වූ ඒවා. මම ඉපදුණේ ආනමඩුවේ. ඒ අතිශය දුෂ්කර වියළි කලාපයේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට බොහෝ විට භෞතික පරිසරයක් ඇතුළෙ උත්තර ලැබුණෙ නෑ. ඒ නිසාම මිනිස්සු කොයිතරම් අතාර්කික වුණත්, අභෞතික බලවේග යැයි ඔවුන් විශ්වාස කරන යම් යම් විශ්වාසයන්හි පිහිට පැතුවා. අයියනායක දේව සංකල්පයත් ඒ වගේ දැවැන්ත විශ්වාසයක්. මේ ප්‍රදේශයේ හැම ළමයෙකුගේ වගේම මගේ කුඩා කාලයත් ගෙවුණේ මේවත් එක්ක. අලුත් හාල් මංගල්ලෙට අයියනායක දේවාලේ කිරි උතුරන එක, ලෙඩ දුක්වලට බාරහාර වෙන එක, තොවිල් පවිල්, ශාන්තිකර්ම කරන එක, හතුරන්ට හදි හූනියම් කරන එක මේවායින් කීපයක් විතරයි. මේවා අනායාසයෙන්ම මගේ හිතේ යම් කුහුලක් ඇති කරන ලද ඒවා. ඒ වගේම මම 2004දී එක්තරා සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කළා, ලංකාවේ එක්තරා ජන කණ්ඩායමක් ගැන. ඔවුන්ගේ ජීවන ක්‍රමය ඇතුළෙත් මේ අභිචාර විධිවලට විශාල ඉඩකඩක් වෙන් වෙලා තිබුණා. හැබැයි, මට මොනම අවස්ථාවකවත් හිතුණේ නෑ මේ අත්දැකීම් ආශ්‍රයෙන් නව කතාවක් ලිවිය යුතුයි කියලා. මා තෝරා ගත් නිශ්චිත තේමාවකට මගේ අත්දැකීම් මුහු කිරීම පමණයි සිදු වී තිබෙන්නේ.

බූමාටු යන්නෙහි අදහස පොළොවෙහි වාසය කරන දෙවිවරු යනුවෙන් ද තැනක විස්තර වන අතරේම තැනක මෙය යක්ෂ ගෝත්‍රිකයන් වෙනුවෙන් යොදන ලද නමක් විදියට ද සඳහන් වෙනවා. ලාංකීය සහ බෞද්ධ සමාජය තුළ යක්ෂයා සහ දෙවියන් ගැන මේ ප්‍රවාදය ඔබ දකින්නේ කොහොම ද?

පාළි භාෂාවෙන් ‘භුම්මට්ඨ’ කියල හඳුන්වන්නේ ‘මහ පොළොවට අයත්’ කියන අර්ථයෙන්. ඒ අර්ථයෙන්ම පුරාණ යක්ෂ ගෝත්‍රිකයන්ටත් ඒ නම භාවිත කරනවා විය හැකියි. මේ පොළොවේ සැබෑ හිමිකරුවන් ඔවුන්. බෞද්ධ සාහිත්‍යයේ, විශේෂයෙන්ම විමාන වස්තුවේ දී අපිට හමුවන දෙවියන් වර්ග කිහිපයක් ඉන්නවා. ආකාශස්ත, අන්තස්සර හා බූමාටු. මේ අතුරින් බූමාටු ලෙස හැඳින්වූයේ මහ පොළොවට අරක් ගත් විශේෂ බලයක් සහිත ජීවීන් විශේෂයක්. ඔවුන් ‘බූමාටු දෙවියන්’ ලෙස හැඳින්වූවා. මේ මිහි මත ජීවත් වූ සහ අදටත් ජීවමාන වන්නා වූ පරහිතකාමී මෙන්ම දියුණු මානසිකත්වයකින් යුතු උත්තුංග මානවයන්ම මේ විශේෂණයෙන් හැඳින් වූ බව අපිට අන්‍යාර්ථයෙන් හිතන්නට පුළුවන්. සෑම මානවයෙක් තුළම යක්ෂයකු හා දෙවියකු ජීවත් වන්නේ ය යන්න බොහෝ පැරැණි අදහසක්. ඒ නිසාම තමයි, වරෙක මිනිස්සු ‘හූනියම් දෙවියන්ගෙන්’ පිහිට ඉල්ලන අතර, තවත් වරෙක ‘හූනියම් යකාට’ යාදිනි කියන්නේ. කඩවර සංකල්පය වුණත් එහෙමයි. යහපතට, පිහිටට දෙවියා. නරකට දඬුවමට යකා. මෙන්න මේ ද්විඝටනාත්මක ලක්ෂණය මිනිස් සන්තානයට හිමි සංකීර්ණ ස්වභාවයක්. අවශ්‍ය නම්, අප තුළ වාසය කරන දෙවියා (බූමාටු දෙවියා) සදාකාලික කර ගත හැකි බවයි මගේ අදහස. විශේෂයෙන් මේ නවකතාවේ පොඩිගුරු හරහා මා කියන්නට උත්සාහ කළ එක කාරණයක් ඒක.

ඔබේ ‘බූමාටු’ නවකතාව පාදක කර ගන්නේ අපේ පැරැණි ලෝකය, එවැනි පසුබිමක් නිර්මාණය කිරීම තරමක් අභියෝගයක්. ඒ සඳහා ඔබ අනුගමනය කරපු දේවල් මොනවා ද?

ඔව් නිර්මාණකරණයේ දී ඒක විශාල අභියෝගයක්. කියවන්නාට විශ්වසනීයත්වයක් ඇති වන ලෙස හා නිර්මාණයේ කලාත්මක ලක්ෂණ රැකෙන සේ එය කළ යුතු වෙනවා. ‘බූමාටු’ නවකතාවට පාදක වෙන්නේ 50, 60 හෝ ඊට ආසන්න දශකයක වියළි කලාපීය, විශේෂයෙන්ම දෙමළ හත්පත්තුව කේන්ද්‍ර කර ගත්තු සමාජ වටාපිටාවක්. මේ වටාපිටාව නිර්මාණය කිරීමේ දී මා සැලැකිලිමත් වූ කාරණා කීපයක්ම තිබුණා. එකක් තමයි, තද් යුගයේ භාෂාව. මේ සඳහා මම පැරැණි දෙමළ හත්පත්තුවේ ජනයා වහරන ලද භාෂාව පිළිබඳ යම් අධ්‍යයනයක් කළා. එවැනි අධ්‍යයන යම් ප්‍රමාණයකට හැදෑරීමක් කළා. ඒක මට එච්චරම අපහසු කාර්යයක් නොවුණේ, මගේ ප්‍රථම උපාධි නිබන්ධයත් ඒ ආශ්‍රයෙන් සිදු වූවක් නිසා. දෙවැනියට ඒ යුගයේ ජන දිවිය. ඒ ගැහැනු මිනිසුන්ගේ ආහාර රටාව, සිරිත්විරිත්, විශ්වාසයන්, ගෘහ නිමාණය, ද්වාර කර්ම වගේ ටිකක් පුළුල් පරාසයකට ඒ අධ්‍යයනය යොමු වුණා. තුන්වෙනි කාරණාව තමයි, ඔබ මුලින්ම ඇසූ යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම් හා ඇදහිලි සම්බන්ධ කාරණය. ඒ කාරණය තරමක් පුළුල් ලෙස, ගැමි විශ්වාස මත පදනම්ව ගවේෂණය කරන්නට සිදු වුණා. පැරැණි ලේඛන, පුස්කොළ පොත් වගේ දේවල් පරිහරණය කරන්නට සිදු වුණා. බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝ පොතපත කියවා තිබීමෙන් ලත් යම් ආභාසයක් මේ සඳහා විශේෂ සහයෝගයක් සැපයූ බව කියන්නට ඕනේ. මේ නවකතාවේ වස්තු විෂය සඳහා මට අදහසක් ඉපදුණේත් ‘දනිය සූත්‍රය’ කියවමින් සිටින විට.

නවකතාව තුළ පොඩිගුරුගේ චරිතය නිර්මාණය වෙන්නේ පැරැණි වීර කාව්‍යවල එන වීර චරිතයක් විදියට කියලා තමයි නවකතාව කියවාගෙන යද්දී මට දැනුණේ. මෙවැනි චරිත බොහෝ විට විනාශය ළඟා කරගන්නේ තමන්ගේම බලයෙන් ඇති වෙන අන්ධ වීමකින්. ආර්. කේ. නාරයන් නම් ඉන්දීය ලේඛකයා රචිත ‘The Man-Eater Of Malgudi ’ නම් නවකතාවේ එන වාසු නම් චරිතයත් මෙවැනි ලක්ෂණ යම් පමණකට දරන චරිතයක්. අවසානයේ දී ඔහු විනාශ වෙන්නේ තමන්ගේම හස්තයෙන්. අපේ පැරණි වීරකාව්‍ය සහ ඒ සංකල්පනා ඔබේ රචනයට යම් බලපෑමක් කළා ද?

ඇත්තටම මේ කතාවේ එන පොඩිගුරුගේ චරිතය බොහෝ උත්කර්ෂයට නැංවෙන චරිතයක්. ගම තුළ ඔහු තම ක්‍රියාකාරීත්වය තුළින් අත් කර ගන්නා ලද යම් ප්‍රභූත්වයක් තිබුණා. ඔහු වෛද්‍යවරයාගේ කාර්යයත්, කට්ටාඬියාගේ කාර්යභාරයත්, නැට්ටුවාගේ හා බෙර වාදකයාගේ කාර්යභාරයත් ඉටු කළ, ගැමියන්ට නැතිවම බැරි සංකීර්ණ චරිතයක්. ඒ වගේම ඔහු තම හැකියාවන් හා තමා සතු බලය පිළිබඳ යම් අභිමානයකින් සිටි පුද්ගලයෙක්. එය අධිමානයක් කිව්වොත් නිවැරැදියි. හැබැයි ඔහු එක්තරා මොහොතක දී තම සිතිවිලිවලටම පැරැදී සියල්ල අතහරිනවා. ඒක හරියට මඛාදේව ජාතකයේ එන මඛාදේව රජ්ජුරුවන්ගෙ චරිතයේ ක්‍රියාකලාපය වගේ. මඛාදේව ජාතකය ඇසුරින් මහා කාව්‍යකුත් ලියැවිලා තියෙනවා. “මුවදෙව්දාවත” ’ මහා කාව්‍යය. ඔබ කියනවා වගේ මේ වගේ අපේ පැරැණි සාහිත්‍ය කෘතිවල හෙවණැල්ලක් මා මතට වැටෙන්නට ඇති බව හිතෙනවා. නමුත්’, ඒ කිසිවක් සවිඥානිකව භාවිත කළ වගක් මට මතක නෑ. මට අවශ්‍ය වුණේ පොඩිගුරුගේ චරිතය ඉතා උත්කර්ෂවත් ලෙස ගොඩනඟලා එහි අවගමනය මගින් පාඨකයාට යම් කම්පනයක් ලබා දීම සහ යම් ගැඹුරු සාකච්ඡාවක් ඇති කිරීමටයි.

මිය යන පුද්ගලයෙක් ශක්ති සංකල්පයක් විදියට, නැතිනම් මරණීය මොහොතේ ඇති වන ඒ චෛතසිකය විසින් පොඩිගුරුව නැවත නිවස වෙත ගෙන ඒම සම්බන්ධව යම් බෞද්ධ සංකල්පයක් තියෙනව ද? නැතිනම් එය හුදෙක්ම ඔබේ පරිකල්පනයක් පමණ ද?

මිය ගිය පුද්ගලයකුගේ ‘ආත්මය’ හෝ වෙන යම් ශක්ති ප්‍රවාහයක් නොකඩවා දිගින් දිගටම ක්‍රියාත්මක වන බවක් බුදුදහමේ කියා නැහැ. නමුත් ‘ප්‍රේත’ නමින් හඳුන්වන එක්තරා ජීවී විශේෂයක ක්‍රියාකාරීත්වයක් පිළිබඳ තිරෝකුඩ්ඪ’ සූත්‍රයේ හා ‘තිරෝකුඩ්ඪ’ ප්‍රේත වස්තුවේ සඳහන් වෙනවා. සියුම් ශරීර සහිත ඒ ජීවීන් භෞතිකය ඉක්මවා සිටින බවත්, ඔවුන්ට කිසිවක් හෝ සිදු කළ නොහැකි අතර ජීවත් වන තම නෑ හිතවතුන්ගේ උපකාර බලාපොරොත්තු වන බවත් සඳහන් වෙනවා. මරණින් පසු පේත නම් සියුම් ජීවී ශරීරය පින් බලාපොරොත්තුවෙන් තම පූර්ව භවයේ නිවස සමීපයේ, දොරමුළුවල, බිත්ති මුළුවල ජීවත් වෙන බව මේ සූත්‍රගත තොරතුරුවල තියෙනවා. මේ කාරණා බ්‍රයිඩේ මර්ෆි, එඩ්ගා කේසි, රූත් සිමන්ස් වැනි පුද්ගලයන්ගේ අත්දැකීම් හා අන්තරාභව පර්යේෂණ මඟිනුත් තහවුරු කරගෙන තියෙනවා. ඒ කාරණා එලෙසම තිබිය දී විග්‍රහ කර ගැනීමට අවශ්‍ය වූ තවත් කාරණයක් මට තිබුණා. ඒ තමයි, මේ භෞතික ලෝකයේ ඇතැම් ප්‍රපංචයන් කෙරෙහි මොන තරම් ආදානග්‍රාහී ලෙස අපි බැඳිලා සිටිනවා ද කියන කාරණය. ඒ බැඳීම් නිසාම අපි කොයි තරම් පටු දෘෂ්ටියක සිර වී සිටිනවා ද? යථාර්ථයෙන් බැහැර වෙනවා ද? උදාහරණයක් ලෙස දැන් මේ කතාවේ එන පොඩිගුරා, හාමිනා කියන චරිතය කෙරෙහි කොතරම් ආශක්ත බවක් තිබුණ ද කියනවා නම්, ඔහු මිය ගිය බවක්වත් අවබෝධ කර ගන්න ඔහුට ශක්තියක් තිබුණෙ නෑ. බැඳීම්වලින් නිදහස් වුණු නිවහල් මානසිකත්වයක දී තමයි, ඔහු සැබෑව අවබෝධ කර ගන්නේ. මං විශ්වාස කරනවා නූතන සමාජ, දේශපාලනික කාරණාවලදීත් පුරවැසියන් ලෙස අපි හැසිරෙන්නේ මේ පොඩිගුරු හැසිරුණු ආකාරයටමයි කියලා.

හොඳයි නවකතාවෙන් ඈත් වෙලා මම කැමැතියි ඔබේ සාහිත්‍යයට ප්‍රවිශ්ඨ වීම ගැන කතා කරන්න. කොහොම ද සාහිත්‍යයට ඔබේ ආගමනය සිදු වෙන්නේ ?

ඇත්තටම ඒක එක්තරා අහම්බයක් කිව්වොත් නිවැරැදියි. 2000 අවුරුද්දේ මම කැලණිය විශ්වවිද්‍යාලයට එන්නේ චිත්‍ර ශිල්පියෙක් වීමේ අශාවෙන්. සෞන්දර්ය විශ්වවිද්‍යාලය සඳහා ඒ දවස්වල තිබුණු දිගු පෝලිම නිසාම කැලණියේ සෙබැ ්රඑි කරන්න තීරණය කරනවා. නමුත්, අවාසනාවකට හෝ වාසනාවකට මාව එහි විශේෂවේදී පාඨමාලාවට තෝරා ගැනෙන්නේ නෑ. ඒකට බලපෑ වෙනම හේතුවක් තිබුණත්, මම ඒ වෙනුවට සිංහල විශේෂවේදී උපාධියක් කරන්න පටන් ගන්නවා. ඒ පාඨමාලාව අතර තමයි පින්සල වෙනුවට පෑන මගේ අතට අහු වෙන්නේ. 2002 අවුරුද්දේ මගේ පළමු කෙටිකතා සංග්‍රහය වූ
‘රෝගීහු තිදෙනෙක්’ රචනා කළා. එය ඒ වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ දී විචාරක අගැයීමටත් පාත්‍ර වුණා. ඒ වගේම වයඹ රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් ලැබුණා. ඊට පස්සේ ”නෙතු වැහෙන ඇබිත්තට” නවකතාව. එයටත් වයඹ සාහිත්‍ය සම්මානය ලැබුණා. ඊට පස්සේ ‘අමුතු කංකාරිය’ යොවුන් සාහිත්‍ය කෘතිය. අලුත්ම නිර්මාණය තමයි මේ ‘බූමාටු’.

සාහිත්‍යයේ කාර්යය රසවින්දනය ද, නැති නම් ඉන් එහාට ගිය සමාජීය වගකීමක් ද කියන ප්‍රශ්නය ඔබට යොමු කළොත් ?

වෙනත් ඕනෑම කලා නිර්මාණයක වගේම සාහිත්‍යයේත් මුඛ්‍ය අභිලාෂය වන්නේ ශෝතෘ හෝ පාඨක ජනයාගේ සන්තානය තුළ යම් ආනන්දයක් ජනනය කිරීම. එහෙත් ඒ කලාංගය හෝ සාහිත්‍ය කෘතිය, එය විසින් ජනනය කරනු ලබන ආනන්දය ඉක්මවා යන ප්‍රඥාවක් ජනනය කරනු ලබයි නම් හෝ රසවිඳින්නා පෙර සිටි තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමට දායක වෙයි නම් හෝ ඒ නිර්මාණය උසස් නිර්මාණයක් ලෙස අපි සලකනවා. සාහිත්‍යය සම්බන්ධයෙන් වන සමාජයීය කාර්යභාරය ලෙස මා හඳුනා ගන්නෙත් ඒ තත්ත්වයයි. එක් අතකට එය ලේඛකයකුගේ වගකීමක් ද වෙනවා. මොක ද? අපි අද මේ ජීවත් වන සමාජය කියන්නෙම ඉසියුම් ලෙස මිනිසාගේ ජීවන පැවැත්ම අර්බුදයට ලක් කළ තත්ත්වයක්. මේ පිළිබඳ සමාජයට පැහැදිලි කළ හැක්කේ නිර්මාණකරුවාටයි. නමුත්, මේ කාර්යභාරය කෙසේවත් නිර්මාණකරුවාට තනිවම කළ නොහැකියි. විචාරකයාගේ කාර්යභාරයත් ඒ සඳහා එකසේම අවශ්‍ය වෙනවා. නමුත්, අවාසනාවකට අද මේ දායකත්වය ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් සාහිත්‍යකරුවාගේ, නැත්නම් නිර්මාණකරුවාගේ පොදු ජනයා ඥානනය කිරීමේ කාර්යය ඉතා මන්දගාමී හා පසුගාමී එකක් බවට පත්වී තිබෙනවා.

පරිසරය හා මිනිසා අතර සම්බන්ධය ඔබ දකින්නේ කොහොම ද? ‘බූමාටු’ නවකතාව තුළත්, මහ නුගේ සහ පොඩිගුරුගේ පෞරුෂය අතර ඔබ යම් සම්බන්ධයක් ගොඩනඟනවා.

පරිසරය හා මිනිසා අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයක් ය යන්න අප බොහෝ විට අසා ඇති කාරණයක්. ඒත් ප්‍රශ්නය වන්නේ, ඒ අවියෝජනීය බව ඇති කර ගන්නේ කෙසේ ද යන්න මිනිසා අවබෝධ කරගෙන ඇද්ද යන කාරණයයි. එය ගඩාගෙඩියක් කාලා එළිමහන් ගල්තලාවක් මත මධුසමය ගත කිරීමට එහා ගිය කාරණයක් ය යන්න අප අවබෝධ කර නොගන්නා තාක් මිනිසා හා පරිසරය අතර මේ සම්බන්ධය සදාතනික ගැටුමක්ව පවතීවි. පරිසරය කියන්නෙම මිනිසාගේ භාවයන්හි ප්‍රකාශනයක් ය යන්න මා විශ්වාස කරනවා. එය භෞතිකත්වය ඉක්මවා ගිය එකක්. මං හිතන්නේ පරිසරය සමඟ වූ සියුම් සම්බන්ධය ගැන අදහසක් ආනමඩුව බඳු කැලෑ ගමක සිටි අතීත මිනිසුන්ට තිබුණා. කොළ අත්තක් කඩල ගහක එල්ලන තැන පටන්ම වසංගතවලට මුහුණ දීම හා මරණය දක්වා ක්‍රියාවලිය තුළ ඔවුන් මේ සියුම් පරිසර සම්බන්ධය සිය ජීවන පැවැත්ම පිණිස උපයෝගී කර ගත්තා. ගොවිතැනට, කර්මාන්තයට, සත්ත්ව පාලනයට වගේ අංශවලට පාරිසරික හැසිරීම් පාදක කර ගැනීම උදාහරණ ලෙස කියන්න පුළුවන්. ඔබ කී ලෙසම ‘බූමාට’ු නවකතාවෙත් මිනිසා හා පරිසරය අතර පැවතුණු මේ භාවමය සම්බන්ධය පිළිබඳව ඉස්මතු කරන්නට මා උත්සාහ ගත්තා. මෙහි එන වනය, මහ නුගේ, ගෝන දඩයම වගේ සිදුවීම් හා නිරූපණ අධ්‍යහාර අර්ථයකින් විමසනවාට මා කැමැතියි. මෙහි මහ නුගේ හා පොඩිගුරුගේ තෘෂ්ණාභරිත සිත ක්‍රියාකරන්නේ අන්තර් පැවැත්මක් සහිතව. ඔල්ගා තොකර්චුක් නම් පෝලන්ත ලේඛිකාව විසින් ලියා, ඔබ විසින් සිංහලට පරිවර්තනය කරන්නට යෙදුණු ‘මරණයේ රළ නැඟුම’ නම් නවකතාව එසේ මිනිසා සහ පරිසරය අතර වූ විශිෂ්ට සම්බන්ධය කියැවෙන මාහැඟි කෘතියක්.

සංවාද සටහන – රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

four + 12 =