‘සුදත් බණ්ඩාර’ අසූව දශකයෙහි ඒ මහා ගිනි කන්ද මැද ඔහු සැබැවින්ම ගිනි සිසිලක්ව සිටියේය

අද උදෑසන මගේ සමකාලීන සගයා බීසීඑස් ගේ නම සඳහන් වෙමින් ජංගමය නද දෙන විට මට එහි අමුත්තක් තිබුණේ නැත. ඒ දින කිහිපයක සිට එක් කරුණක් සම්බන්ධයෙන් අප අතර අදහස් හුවමාරු වෙමින් තිබුණ හෙයිනි. එහෙත් ඔහු මා ඇමතුවේ වෙනස් කරුණකටය. ඔහුගේ කට හඬද වෙනදා නැති ශෝකී බවකින් පිරී ගොසිනි.
‘සුදත් බණ්ඩාර මරුණ මහත්තයො.’
ඉන්පසු ගෙවුන තත්පර කිහිපය එහෙමපිටින්ම හිස්ය. ඒ හිස් බවට පසුව මනස පිරී ගියේ තිරයක් මත වේගයෙන් ධාවනය වන්නාක් බඳු රූප පෙලකිනි. ඒ සෑම රූප රාමුවක්ම පුරවා සිටියේ සුදත් බණ්ඩාර ය.
සුදත් හට කෝවිඩ් වැළඳුන බව මට කීවේද බීසී එස් ම ය. ඒ සති තුනකට පමණ පෙරදීය. තමාට කෝවිඩ් වැළඳීම ගැන සතුටු වූ මිනිසකු ගැන මා ඇසුවේ නම් එ ද සුදත් ගැනමය. ඔහු තමන්ට කෝවිඩ් වැළඳුන පුවත කියා ඒ ගැන සතුටුවී තිබුණේ මෙලෙසිනි.

‘දැන් මට හරි සතුටුයි මහත්තයො, මොකද මීට පස්සෙ මට අපේ කෝවිඩ් හැදෙන අපේ උන්ව බලන්න එන්න පුළුවන්. කෝවිඩ් හැදුන වෙලාවෙ මට ගෙදර වෙන් කරපු කාමරේ මට මීට පස්සෙ අපේ උන්ට එහෙම වුනාම කොරන්ටයින් වෙන්න දෙන්න පුළුවන්.’
1983 වසරේ පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුලත් වූ සුදත් සහ අපේ ගමන් මග එකටම වැටී තිබුණ අසූව දශකය මගේ සිතෙහි රළ නගයි. වරෙක අන්තරය හා සම්බන්ධව සිටි අප පසු වෙද්දී විවිධ අංශ වලට බෙදී වැඩ කරද්දී අප සුදත් ඇමතුවේ කම්කරුවා නමිනි. ඒ ඔහු එවක ජාතික කම්කරු සටන් මධ්යසස්ථානයෙහි කැඳවුම්කරු ලෙස වැඩ කළ හෙයිනි. නිතරම බුලත් විටකින් මුව රතු කරගෙන සිටි ඔහු සැබැවින්ම කම්කරු පෙනුමැති යයි අපි එකල ඔහුට විහිලු කළෙමු. තමන්ට පැවරෙන වගකීම් ඉටු කරනු පිණිස වැඩබිම් හී සැරූ ඔහු විවිධ සම්බන්ධතා ගොඩනගා ගනිමින් අතිශය අනතුරුදායක සමයක ජීවිතය ගැන නොතකා දවස පුරාම කාර්යබහුලව සිටියේය. එහෙත් ඒ කිසි විටෙකත් ඔහු වෙතින් සිනහව පහව ගියේ නැති. අසූව දශකයෙහි ඒ මහා ගිනි කන්ද මැද ඔහු සැබැවින්ම ගිනි සිසිලක්ව සිටියේය.

පසුව ඔහු වෛද්‍යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන විට මා සිටියේ සිර කුටියකය. මට ඔහු යළි හමුවන්නේ හමුවන්නේ ඉන් බොහෝ කලකට පසුවය. එවිට ඔහු බුලත් විටට අමතරව අසීමිත ලෙස සිගරැට්ටුවට සහ මධු විතටද ලංව සිටි බව මම දැන සිටියෙමි. එසේම අදහස් අතින්ද අප අතර වෙන්කම් පැවතිණි. ඔහු ජාතිකවාදී අදහස් වෙත වඩා නැඹුරුව සිටි අතර ඒ පිලිබඳව අදහස් පල කරමින් සිටියේය. ඒ හැරුණු විට ඔහු පරණ සුදත්මය.

එසේ අප හමුවූවේ ඔහු මගේ කාර්යයට සම්බන්ධකමක් හදාගෙන සිටි හෙයිනි. ඔහු දසාහිත්‍ය පරිවර්තනයට අත ගසා සිටියේ ස්පාටකස් කෘතිය අපූරුවට සිංහල බසට නගා තිබුණි. එය ඔහු අතින් වූ මහඟුම කාර්යයකැයි අදද මම නොපැකිල කියමි. ඉදින් මම ඔහු ඒ මගෙහිම තවත් බොහෝ දුර යා යුතු යයි කියමින් ඔහු දිරි ගන්වන්නට තැත් කළෙමි. එහෙත් ඔහු එ මගෙහි වේගයෙන් ගමන් කළේ නැති. යළිත් වරක් ඔහු මා අමතා ගැරිබොල්ඩි ගැන තොරතුරු සෙවීමට තමන්ට මහත් වුවමනාවක් ඇති බවත් ඒ ගැන ලියන්නට සිතා සිටින බව කීවත් එය සිදුවූවේ ද නැත.

අප අතර අදහස් අතින් වෙනස්කම් තිබියද සමාජ ක්‍රමයෙහි වෙනසක් පිලිබඳව ඔහු තුළ වූ අපේක්ෂාව වෙනස්ව පැවතියේ නැති. එසේම අනෙකා වෙත වූ ඔහුගේ ආදරයද කවර වාද විවාද මැද වුව පෙර පරිදිම අතිශය සුන්දරව තිබිණි.
එහෙත් මේ මිතුරා, සගයා නික්ම ගොසිනි. පළමු වතාවෙහි සුවය ලදද ඔහු වෙත යළි මේ අවදානම කඩා පාත් වනු ඇතැයි මම සැබැවින්ම බියෙන් පසුවීමි. ඒ ගැන බීසීඑස් සමගද කතා කළෙමි. ඒ සුදත් හට කෝවිඩ් සමග සටන් කරන්නට තරම් ශාරීරික ශක්තියක් තිබිණිදැයි මට සැකයක් පැවති හෙයිනි. මට නිතරම මංගල, සුනිල් පෙරේරා, බද්දේගම සමිත හිමි පිලිබඳ අත්දැකීම සිතට වද දෙමින් පැවතිණි. අවසන බීසීඑස්ම ඒ දුක්බර පුවත මට පැවසූ විට මම ගොළුව ගියෙමි.

සුන්දර මිනිස්සු නික්ම යති. ඔවුන්ගේ මතක පමණක් අප අතර ඉතිරි කරති. එහෙත් මේ සියල්ලන්ටම නික්ම යාමට සිදුවනුයේ කළ යුතුව ඇති කාර්යයන් බොහෝ තිබියදීය. ඇතැමෙක් මේ කාලකණ්නි බව දරාගත නොහැකිව මානසික පීඩාවෙන් නික්ම යති. අපේ පරම්පරාවට එසේ නික්ම යාමට අයිතියක් නැතැයි මම විශ්වාස කරමි. තවමත් අප එකමුතු වන්නේ නම් අපට මේ සමාජයට කළ හැකි දේ බොහෝ යැයි මම විශ්වාස කරමි. ජීවිතයේ යෞවන සමයෙහි ජීවිත පරිත්‍යාගයෙන් අනෙකා උදෙසා කැපවුන අපට දැන් නිරපරාදේ ජීවිත දිය කර හැරීමට කිසිදු අයිතියක් නැත. අප ගැන විශ්වාසයෙන් සිය ජීවිතය කැප කළ අපේ අතීත සගයෝ අපෙන් අපේක්ෂා කළෝ අදිටන් සහගතව සමාජය වෙනුවෙන් කළ හැකි යුතුකම කිරීම පිලිබඳවය. එය පැහැර හැරීමට අපට අයිතියක් කෙසේවක් නැති. කවර වාද විවාද මැද වුව අප දිගටම යහපත් සමාජයක් වෙත වූ අපේ අපේක්ෂාව වෙනුවෙන් ගමන් කළ යුතුමය. කමල් දේශප්‍රිය පිලිකාවට පැරදිණි. මැතිව් හෘදයාබාධයකට පැරදිණි. සුදත් කෝවිඩ්වලට පැරදිණි. අසූව දශකයෙහි හළුව ගිය සගයන් මෙන්ම ඉන්පසු විවිධ අවස්ථාවල නික්ම ගිය සගයන්ද අවසානය දක්වාම යහපත් සමාජයක් වෙත වූ සිය අපෙක්ෂාව අත් හැරියේ නැත.

සුදත් බණ්ඩාරට සමුදෙන අතර අප මීට වඩා බරින් ජීවිතය ගත යුතු යයි මම විශ්වාස කරමි. සහෘදයිනි, අපට ඇති තරම් එකිනෙකා හා වාද කරගත හැකිය, ගැටුම් ඇතිකරගත හැකිය. එහෙත් අප එදා දුටු සුන්දර සමාජයක සිහිනය වෙනුවෙන් අප සිටිනා තැන්වල සිටිමින් වුව අපට කළ හැකි දේ බොහෝය. එසේම අප එකිනෙකා ගැන මීට වඩා සමීපව සොයා බැලිය යුතු යයි කියාද මට සිතෙයි. අපට වඩාම හානිකර වන්නේ එකිනෙකාගෙන් ඈත්වීමම ය.

ඉදින් අපි සුදත්ට සහෝදරාත්මකව සමු දෙමු. ඒ අතරම අප මීට වඩා සමීප විය යුතු යයිද ඉතිරිව සිටිනා සගයන්ට සිහිපත් කරමි. ටයරය අපේ ජීවිත වලට සමීප භාණ්ඩයක් වූවේ ටයර් හතරක් මත දුවනා යන්ත්‍රය අපට සමීප වන්නට බොහෝ කලකට පෙරදීය.

ඉදින් සකියනි, අපි යළිත් සිතන්නට පටන් ගනිමු. කවර ප්‍රතිවිරෝධයන් මැද වුව අප සුදත් බණ්ඩාරට කෙතරම් ආදරය කළේදැයි අපට කියා දුන්නේ ඔහුගේ වියෝවමය. යළි එසේ වියෝවකින් අප අනෙකාට ආදරය කළ බව වටහා ගන්නට පමා නොවී ජීවත් වෙමින් ආදරය බෙදා ගන්නට උත්සුක වෙමු. සුදත් හට කළ හැකි උපහාරය එය යයි මම විශ්වාස කරමි.
සුදත්, සුබ ගමන්.

– චුලානන්ද සමරනායක (fb)

Leave A Reply

Your email address will not be published.

thirteen − one =