එයා තමයි හොඳටම කරල තියෙන්නේ

සාමාන්‍යයෙන් යුරෝපා රටවල අවුරුදු 67 දී තමයි රැකියා වලින් විශ්‍රාම ගන්නේ. ඉතින් මේ නෝනත් දැන් ඒ වයසෙදි ගෙදර යනවා. එයාට ඕනිනම් දෙපැත්තෙන් දෙන්නෙක් අල්ලගෙන ඇවිදින කාලෙ වෙනකම් පුටුවෙ ඉන්න බැරි කමක් නෑ. මොකද නෝනා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. එයා තමයි යුරෝපයේ රැජිණ, ලෝකයේ බලගතුම බවලතිය වූ ඇන්ජෙලා මර්කෙල්. ඒ විතරක් නෙවෙයි එයා තමයි ඇත්තටම හොඳටම කරල තියෙන්නේ.

අවුරුදු 16ක් ජර්මානු චාන්සලර් විදියට කටයුතු කරපු මර්කෙල් නෝනා සැප්තැම්බර් 26 සිය ධූරයෙන් සමුගැනීමට නියමිතයි. 2005 දී ජර්මනියේ නායකත්වයට පත් වෙච්චි ඇය පිට පිට තුන් වතාවක්ම ජයග්‍රහණය කළා. අන්තිම ඡන්දේ තිබුණේ 2018. ඒ වෙලාවෙ ඇය කිව්වා ආයෙත් ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා.

ජර්මනියේ චාන්සලර් වෙච්චි ඇඩොල්ෆ් හිට්ලර්ට උවමනා වුණේ මුළු යුරෝපයම තමන්ගේ යටතට ගන්න. එයාගෙ ඒ හීනය වෙනුවෙන් ලෝකයේ මිලියන 75ක මිනිසුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වුණා. හැබැයි මර්කෙල් නෝනා මිලියන ගණනකගේ හදවත් දිනාගෙන යුරෝපයේ නායිකාව වුණා. බහුතරයක් යුරෝපීයයන් පිළිගන්නවා ‍යුරෝපා සංගමයේ නිල නොලත් නායිකාව එහෙම නැත්නම් de facto leader ඇන්ජෙලා මර්කෙල් කියලා. ඇන්ජලා මර්කෙල් කියන්නෙ හිට්ලර්ගෙ දියණියක් කියලා Conspiracy Theory එකක් හැදෙන්නත් මුල් වුණේ ඇය හිට්ලර්ටත් වඩා බලවත් නායිකාවක් වූ නිසයි.

බොහෝ ජර්මානුවන් හිතන්නේ තමන්ගෙ රටේ ස්වර්ණමය යුගය මර්කෙල් යුගය කියලා. 1990දි බර්ලින් තාප්පය කඩා දමා බටහිර ජර්මනියයි නැගෙනහිර ජර්මනියයි එකතුවුණාට පස්සෙ හෙල්මුට් කෝල් අවුරුදු 16ක් චාන්සලර් තනතුරේ හිටියා. ඒත් ජර්මානු ආර්ථිකය යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්වුණේ මර්කල් යුගයේදී. ඒ වගේම ලෝකයේ හොඳම සෞඛ්‍ය පද්ධතියේ හිමිකම හා නිර්භීත විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමේ ගෞරවය ඇයට හිමියි.

2004 ඔලිම්පික් උත්සවය පවත්වා ඉල්ලගෙන කාලා ආර්ථිකය බිංදුවට බස්ස ගත්ත ග්‍රීසිය ගොඩගන්න උදවුකළේ මර්කෙල්. ඒ වගේම පසුගිය කාලයේ කොරෝනා වසංගතයෙන් බැටකාපු ඉතාලිය, ස්පාඤ්ඤය වගේ රටවල් වල උදවිවට ආවෙ මර්කෙල්. කොටින්ම කිව්වොත් මර්කෙල් නෝනා නැත්නම් යුරෝපා සංගමයක් නැහැ. යුරෝපයේ නායකයන් අතර ලොකු අක්කාගේ භූමිකාව ඉටුකළේ ඇයයි.

ප්‍රංශය , බ්‍රිතාන්‍යය වගේ යුරෝපා රටවල් ඇමෙරිකාව පැටලෙන හැම ගාලගෝට්ටියකමට එහෙයි කියන්න ගියත් මර්කෙල් නෝනා එහෙම ගියේ නෑ. හැබැයි ඇය ඇමෙරිකාව සමඟ දැඩි සම්බන්ධතාවයක් පවත්වා ගත්තා. ඒ වගේම ඇය චීනය හා රුසියාව එක්කත් පැටලෙන්න ගියේ නෑ. ඔවුන් සමඟ ඉතා ඉහළ රාජ්‍යතාන්ත්‍රික හා වෙළෙඳ සම්බන්ධතා පවත්වා ගත්තා.ලෝකයේ බොහෝ නායකයන් මර්කෙල් නෝනාගේ සංයමයෙන් යුතු දේශපාලන කැරිස්මාවට ගෞරව කරන්නේ ඒ නිසයි.

ඇන්ජෙලා මර්කෙල් සැබැවින්ම නිර්භීත නායිකාවක්. ඇමෙරිකාව හා චීනය වගේ රටවල් නව ඩිජිටල් තාක්ෂණික යුගයක් ගැන විශ්වාස තබමින් තමන්ගේ ආර්ථික උපාය මාර්ග තේරුවත් මර්කෙල් නෝනා නව තාක්ෂණයට පමණක් කොටු වුණේ නැහැ. ඇය කීර්තිමත් පැරණි ජර්මානු තාක්ෂණය ගැන වැඩි විස්වාශයක් තිබ්බා. මේ ගැන ඇයට චෝදනාත් එල්ල වෙනවා.ඒ වගේම යුරෝපයම විරුද්ධ වෙද්දී ඇය සිරියානු සරණාගතයන් මිලියනයකට ජර්මනිය විවෘත කළා.

දේශපාලනයට එන්න කළින් මර්කෙල් නෝනා ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරියක් විදියට වැඩකළා. මර්කෙල් කියන්නේ ඇයගේ පළමු විවාහයේ සැමියාගේ වාසගම. ඇන්ජලා ඔහුගෙන් දික්කසාද වෙලා වෙන කසාදයක් කරගත්තත් මර්කෙල් නම වෙනස් කළේ නැහැ.

ඒ වගේම එයාගෙ දැන් ඉන්න සැමියා ලෙහෙසියෙන් දකින්න නැහැ. කිසිම රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකට එයා එන්නෙ නැහැ. මර්කෙල් නෝනාට ඥාති සංග්‍රහ හෝ දූෂණ වංචා චෝදනා කිසිවක් නැහැ. ඇය හරිම සරල ගැහැණියක් බව ලෝකයම දන්නවා. මේ මොහොතේත් ඇය ජීවත් වෙන්නේ එදා ඉඳන් පදිංචි වෙලා හිටපු තට්ටු නිවාසයේමයි. අතට පයට දැසි දස්සන් කවුරුත් ගෙදර නැහැ. පොළේ යන්නෙ උයන්න පිහන්නෙ මර්කෙල් නෝනාමයි. ජර්මානු චාන්සලර්වරිය වුණත් හැමදාම උදේට සැමියාට කෑම පිළියෙල කරන එක ඇය නොවරදවාම කරනවා. ඒ වගේම විදුලිය පිරිමැසීමට මර්කෙල් නිවසේ රෙදි සෝදන යන්ත්‍රය බොහෝ විට රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක කරන බව ඇය වරක් පවසා තිබුණා.

දවසක් මාධ්‍යවේදිනියක් මර්කෙල් නෝනාගෙන් ප්‍රශ්ණයක් ඇහුවා. චාන්සලර්තුමියනි, ඔබතුමිය එකම ඇඳුම නැවත නැවතත් අදින බව අපට පේනවා, ඔබට වෙනත් ඇදුම් නැද්ද?

මම රජයේ සේවකයෙක් මිස නිරූපිකාවක් නෙවෙයි. මර්කෙල් නෝනා සිනාසෙමින් පිළිතුරු දුන්නා.

– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

15 − 6 =