විදේශයන්ට රට බිලිදෙන ‘දේශප්‍රේමයක’ අරුමය

ඓතිහාසික ගොඩනැගිලි, ඉඩම්, වරාය, විදුලිය ඈවරයි… දෑවරයි..!

මාතෘ භූමිය ආරක්ෂා කරන්නෙමැයි ළෙහි දෑත් ගසා ශපථ කර බලයට පැමිණි අයිය මලෝවරු, වෙන කිසිවකුට නොදෙවෙනි තරම් නිර්ලජ්ජිත ලෙස අනාගත පරපුරට අයත් දේපළ විකුණාගෙන කෑම ආරම්භ කර සිටිති. ඔව්, මාතෘ භූමියද සමගම !

“රාජ්‍ය සම්පත් විකුණන්නේ නෑ. යහපාලන ආණ්ඩුව විකුණපු රාජ්‍ය සම්පත් අපේ ආණ්ඩුවක් යටතේ නැවත පවරා ගන්නවා.” මේ 2019 ජනාධිපතිවරණයේත්, 2020 මහමැතිවරණයේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් අසන්නට ලැබුණු කතාය.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ පුන පුනා කීවේ රාජ්‍ය සම්පත් විකුණන්නේ නැති බවකි. එදා කියු කතා සියල්ල පුස්සක් කරමින් ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව රාජ්‍ය දේපොළ විකිණීමේ කටයුත්තට අතගසා ඇත.

“සෙලිං දිවා” හෙවත් මහ දවල් විකිණීම

ඒ අනුව ඔවුන් මුලින්ම සෙලෙන්දිවා නම් සමාගමක් ස්ථාපිත කළ අතර ඊට පෞරාණික ගොඩනැගිලිවල අයිතිය පවරා ගත්හ. පෞරාණික ගොඩනැගිලි සේ සැලකෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, යෝර්ක් ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යන ජනරජ ගොඩනැගිල්ල හා මහ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙම සෙලෙන්දිවා ආයෝජන සමාගම යටතේ පිහිටුවන ලද තවත් සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අමතරව ග්‍රෑන්ඩ් හයට් හෝටලය, හිල්ටන් හෝටලය හා වෝටර්ස් එජ් හෝටලය ද සෙලෙන්දිවා සමාගම යටතට පවරා ගැනීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය වසර 150 ට වඩා පැරණි ගොඩනැගිල්කි. එය මිල කළ නොහැකි වටිනාකමකි. නමුත් ඒ සියල්ල පසෙකලා ආණ්ඩුව මේ ගොඩනැගිලි විකුණා දැමීමට පිඹුරුපත් සකස් කර හමාරය. අදාළ ගොඩනැගිල්ල විකුණා දැමීම වෙනුවෙන් එහි පවත්වාගෙන ගිය විදේශ කටයුතු අමාත්‍යාංශය හා කැබිනට් කාර්යාලය වෙනත් ගොඩනැගිලි වෙත ගෙන යෑමට මේ විට කටයුතු කරමින් සිටියි.

ගෆුර් ගොනැගිල්ල, යෝක් ගොඩනැගිල්ල, පැරණි තැපැල් මූලස්ථාන ගොඩනැගිල්ල හා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යනු වසර සිය ගණනක් ඉපැරණි ගොඩනැගිලිය. රජය සතු මේ සියලු ගොඩනැගිලි පෞරාණිකත්වය සලකා මිල ගණන් කැඳවා අලෙවි කිරීමට සැලසුම් කර තිබේ. එසේම හිල්ටන් හෝටලය හා ඊට අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය ද විකුණා දැමීමට සැලසුම් කර ඇති තවත් වටිනා දේපළකි.

මුලින්ම ගාලුමුවදොර පිහිටි යුද හමුදා මූලස්ථාන ඉඩම විකුණා දැමූවා සේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි ගුවන් හමුදා ක්‍රීඩා පිටිය හා කඳවුරු ගොඩනැගිලි සංකිර්ණය ද විදේශ සමාගමකට අලෙවි කිරීමේ පිඹුරුපත් සකසා හමාරය. එහි පළමු පියවර ලෙස ක්‍රීඩා පිටිය හා ගොඩනැගිලි සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගෙන ඇත්තේ සංවර්ධනය කිරීමට බව පවසමිනි. එම භූමිය මිලදී ගැනීමට දැනටමත් ඕමාන රජයේ සමාගමක් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සියල්ල හොරණ ප්‍රදේශයට ගෙන යෑමටත් ඉන් හිස්වන ගොඩනැගිලි සහිත අක්කර 42ක භූමිය විදෙස් සමාගමකට විකුණා දැමීමටත් ආණ්ඩුව කටයුතු සම්පාදනය කරමින් සිටියි. වත්මන් ආණ්ඩුව ජාතික සම්පත්, ජාතික දේපොළ විකුණන නාස්තිකාර පියෙකුගේ භූමිකාව මේ වන විට රඟ දක්වමින් සිටින බව ද ජ.වි.පෙ නායක අනුර දිසානායක පෙන්වා දෙයි.

පෞරාණික ගොඩනැගිලි විකුණා දැමීමෙන් ඩොලර් මිලියන 400ක මුදලක් මේ වසර අවසන් වන විට උපයා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. හෝටල් ටික අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 300ක් ලබා ගැනීමට ද සැලසුම් කර තිබේ.
තවද ඔරුගොඩවත්තේ සිට රාජගිරිය දක්වා වූ ගුවන් මාර්ගය ඉදිකිරිම හා ඉදිකිරිමෙන් පසු පවත්වාගෙන යාමේ අයිතිය චින සමාගමකට පවරාදීමට ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කෙරවලපිටිය විකිණීම

රාජ්‍ය දේපොල විකුණා දැමීමේ අලුත්ම ව්‍යාපෘතිය ලෙස ආණ්ඩුව අතගසා ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය සතු බලාගාර විදෙස් සමාගම් වෙත පැවරීමය. එහි නවතම පියවර ලෙස ඉකුත් සඳුදා පැවැති කැබිනට් මණ්ඩලයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවී ඇමතිවරයාගේ වාචික කරුණු දැක්වීමකට පමණක් සීමා වී තිබේ. කැබිනට් පත්‍රිකාවක් නොමැතිව ඇමතිවරයා ඉදිරිපත් කළ වාචික කරුණු මත පිහිටා එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හෙළි කළේය.

කෙරවලපිටිය බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමට පැවරෙන අතර එහි ඉදිකරනු ලබන ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම තවත් ඇමරිකානු සමාගමකට පැවරීමට ද ආණ්ඩුව තීරණය කර තිබේ. එහිදි බලාගාරයට ගෑස් ගෙනියන නළ පද්ධතියේ සිට ගෑස් ගබඩා කර තබන පර්යන්තය ඇතුළු සියලු ස්ථාන මෙම සමාගමට පවරාදීමට ද යෝජනා ඉදිරිපත්ව ඇත.

ඇමෙරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරය පවරාදීමට අදාළ ගිවිසුම සකස් කිරීමේ බලය මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට පැවරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ගිවිසුමේ කොන්දේසි, මිල ගණන් හා අරමුණු ගැන තීන්දු ගැනීමේ අධිකාරි බලය ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පවරා දී ඇත.

වරායත් ඈවරයි – දෑවරයි

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති කැබිනට් රැස්වීමේදී අනෙක් ඇමතිවරුන්ට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා නොදීම මෙය සම්මත කර ගෙන තිබේ. ලංවිම වෘත්තීය සමිති සඳහන් කරන්නේ රට සතු බලාගාර පුද්ගලික අංශයට පවරා දීමේ පළමු පියවර මෙයින් ආරම්භ කර තිබෙන බවය.

විදුලි බලාගාර සම්බන්ධයෙන් හා රටේ පෞරාණික ගොඩනැගිලි විදේශ සමාගම්වලට පවාරා දෙන අතර කොළඹ වරායේ අක්කර 13 ක් චීන සී.අයි.සී.ටී. සමාගමට පවරා දීමට වන කැබිනට් පත්‍රිකාවකට ද අනුමැතිය හිමිව තිබේ. වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් මෙම කැබිනට් පත්‍රිකාව 2021/07/31 දා ඉදිරිපත් කොට සම්මත කර ගෙන තිබේ.

අදාළ කැබිනට් පත්‍රිකාව අනුව ආණ්ඩුව චීන සමාගමකට වරාය සේවා සැපයුම් මධ්‍යස්ථානයක් සෑදීමට අවසර ලබාදී ඇත. ඒ වෙනුවෙන් වරාය සතු අක්කර 13ක ඉඩමක් පැවරීමට ද අනුමැතිය දී තිබේ. වරාය අධිකාරිය සතු ජැටිවලින් වැඩි කොටසකට හිමිකම් කියන්නේ පෞද්ගලික සමාගම්ය. පැවැති ආණ්ඩු විසින් වරාය අධිකාරිය සතු නැව් භාණ්ඩ ගොඩබෑමේ ජැටි විවිධ අවස්ථාවලදී පෞද්ගලික අංශයට පවරාදීම නිසා වරාය අධිකාරියට වැඩිම ලාභයක් ලැබෙන්නේ සේවා සැපයීමෙන්ය.

එනම් වරායට පැමිණෙන භාණ්ඩ ගබඩා කිරීමේ සිට ප්‍රවාහනය කිරීම දක්වා සේවා සැපයීම කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි. එයින් විශාල මුදලක් වරාය අධිකාරිය උපයා ගනිමින් සිටියි. එම අදායම චින සමාගමකට හැරවීමේ පළමු පියවරට ආණ්ඩුව අතගසා හමාරය. වරාය අධිකාරිය 2017 වසරේදි මෙලෙස සේවා සැපයීම් මගින් උපයා ඇති මුදල රුපියල් බිලියන 5.7කි.

වරාය අධිකාරියට විශාල මුදලක් ලැබෙන සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ආණ්ඩුව විසින් වසර 35ක කාලයකට චීන සමාගමකට ලබාදීමට තීරණය කර ඇත. එලෙස වසර 35ක සේවා කාලයකට චීන සමාගමකට වරාය අධිකාරිය සතු අක්කර 35ක භූමිය පවරන්නේ අක්කරයක් රුපියල් ලක්ෂ අටහමාරක මුදලකට ය.

වරාය අධිකාරිය සතු ඉඩම් මීට පෙරද බද්දට දී තිබේ. එලෙස සිමෙන්ති සමාගමට වරාය අධිකාරිය සතු අක්කරයක ඉඩමක් බදු දී ඇත්තේ රුපියල් ලක්ෂ 22කටය. සිලෝන් වෙයාර් හවුල් නම් ආයතනයට අක්කරකුත් පර්චස් 42ක භූමියක් පවරා ඇත්තේ රුපියල් ලක්ෂ 135ක මුදලකටය. එලෙස ඉහළ මිල ගණන්වලට බදු දෙද්දී ආණ්ඩුව චීන සමාගමට අක්කර 13ක් බදු දෙන්නේ අක්කරයක් රුපියල් අටලක්ෂ පනස් දහසකට වීම කණගාටුදායක පුවතකි.

කැබිනට් පත්‍රිකාව අහෝසි කරනු !

කොළඹ වරායේ අක්කර 13ක ඉඩම දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය නමින් හවුල් ආයෝජන ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට පැවරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අහෝසි කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියි. ඊට එරෙහිව වරාය, ඛනිජ තෙල් හා විදුලිය ලෙස ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බව ද වෘත්තීය සමිති නායකයෝ ප්‍රකාශ කරති.

“කෙරවලපිටිය ස්වභාවික විදුලි බලාගාරය ඇමෙරිකන් ෆොට්රාස් සමාගමට දෙන්න යනවා. කෙරවලපිටිය තාප බලාගාරයෙන් 40%ක් ඇමෙරිකානු සමාගමකට දෙන්න යනවා. මේ හදන්නේ විදුලි බල මණ්ඩලයේ බලාගාර ටික විකුණන්න පුළුවන් ද කියලා මුට්ටිය දාලා බලන එක. අපි මේකට විරුද්ධව තෙල්, විදුලිය හා වරාය ලෙස ඒකාබද්ධව වෘත්තීය සමිති සටනට එකතු වෙනවා.” ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කීවේය.

රාජ්‍ය සම්පත් කුණු කොල්ලයට විදෙස් සමාගම්වලට විකුණා දැමීමට එරෙහිව වෘත්තීය සමිති සටනට පැමිණ තිබේ. ජාතික දේපොළ කුණු කොල්ලයට නිසි තක්සේරුවකින් තොරව විකුණා දැමිමේ යටි අරමුණ කුමක් දැයි පැහැදිලිය. එනම් ආණ්ඩුව මේ වන විට දැඩි ඩොලර් හිගයකට මුහුණ දී සිටීමයි. ඩොලර් හිඟය පියවා ගැනීමේ සිල්ලර උපාය මාර්ගය ලෙස ආණ්ඩුව තෝරාගෙන ඇත්තේ තමන් සතු දේපොළ උකසට තබා මුදල් උපයා ගැනීමේ ක්‍රියාමාර්ගයයි. එය සමාන කළ හැක්කේ නාස්තිකාර පුද්ගලයෙකු එදිනෙදා ජීවත්වීමට තමන්ට උරුමයෙන් ලද දේපොළ විකිණීමයය.

– ලසන්තවීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

four × five =