දුමින්දට සමාව දීමෙන් ලංකාව මානව හිමිකම් ගැටළුවක !

2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාව දීම හේතුවෙන් රටේ නීතිය හා අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාචික ප්‍රකාශය ලබා දුන් බැචලේ මහත්මිය පැවසුවේ වැදගත් මානව හිමිකම් නඩු ගණනාවක අධිකරණ ක්‍රියාවලීන් පිළිබඳව ද තමා සැලකිලිමත් වන බවයි.
2008 සහ 2009 වසර වලදී 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික

හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව නඩු නොපැවරීමට නීතිපතිවරයා ගත් තීරණය ද ඊට ඇතුළත් බව ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලනික අභියෝගයන් තුළින් පිළිබිඹු වන්නේ මෙරට මිලිටරිකරණය සහ වගවීමක් නොමැතිකම මෙන්ම මූලික අයිතිවාසිකම් අහිමිවීමේ ප්‍රතිඵල බවයි බැචලේ සඳහන් කළේ.

එමෙන්ම, ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය පවසනවා.

සාමකාමී විරෝධතා හා සැමරුම් කිහිපයකට එරෙහිව අධික පොලිස් බලය යෙදවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ විරෝධතාකරුවන් රඳවා තබා ගැනීම සිදු වූ බව පෙන්වා දුන් ඇය වැඩිදුරටත් පැවසුවේ පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම පිළිබඳව තමා දැඩි කණස්සල්ලට පත්වන බවයි.
ඊට අමතරව 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු පිළිබඳව නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම පිළිබදවද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය මෙහිදී සිය වාචික වාර්තාව මගින් අවධානය යොමුකර තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය පසුගිය 13දා ජිනීවා නුවරදී ආරම්භ වූ අතර, එහිදී මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් පිළිබද වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය.

Leave A Reply

Your email address will not be published.

3 × three =