කබ්රාල් වැඩ අරඹයි බැඳුම්කර හොරු නිදහස් ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් ධුරය දැරූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ වගකීම්වලින් ඉවත් කිරීමට මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කර තිබේ.

අර්ජුන් මහේන්ද්‍රන් සහ අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහි වෝහාරික විගණන වාර්තා පහක සියලු ලේඛන භාරකාරිත්වය පැවතියේ දවුලගල මහත්මිය යටතේ ය. ඊට අමතරව මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව පිළිබඳ සාක්ෂි ඇතුළු අනෙකුත් සියලු කටයුතු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වා ඇත්තේ ද ඇය ය. අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසට මහ බැංකු වංචා චෝදනාව ඉදිරිපත් වූ මොහොතේ සිට ජනාධිපති කොමිෂන් සභාව, වෝහාරික විගණනය දක්වා සියලුම පරීක්ෂණ කටයුතුවල වෘත්තීයමය වගකීම රැඳී තිබුණේ ද කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය යටතේ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ බැඳුම්කර වංචාවේ සටහන් වෙනස් කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ එය වළක්වනු ලැබුවේ ද ඇය විසින් බවයි. ඊ.ඒ.පී. එදිරිසිංහ මූල්‍ය සමාගමට අදාළ විගණනයේ ද මූලිකත්වය දැරූ ඇය, එහි දී බලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් නොතකා ක්‍රියාකළ නිලධාරිනියක ලෙස ද මහ බැංකුවේ ප්‍රකට ය.

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුර කැබිනට් මණ්ඩල ලේකම් තනතුර මෙන් වගකීම් සහගත මෙන්ම භාරධූර රාජකාරියක් වන බවත්, එම තනතුර වෙනස් කිරීම නිසා අදාළ අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු සියල්ල අයාලේ යෑමේ අවදානමක් ඇති වන බවත් බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

20 − thirteen =