නීතියට ඉහළින් සිටින ලොහාන් !

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුළදී තමන් අතින් සිදුවූ සිදුවීම්වල වගකීම බාරගනිමින් ලොහාන් රත්වත්ත ඔහු දැරූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පසුගිය 15දා පැවසීය.
ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දුන් බවත්, ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගත් බවත් ඔහු සඳහන් කර තිබිණි. පසුව ලොහාන්ගේ ලිපියත් එළියට ආවේය. සිදුවීම වූයේ 12 වැනිදා ය.
12 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර දෙකට ඇතුළු වී ඇති ලොහාන් රත්වත්ත , වැලිකඩ බන්ධනාගාරයේ පෝරකය අසලට සිය මිතුරන් සමග ගොස් ඇත්තේ ද කිසිදු පූර්ව අවසරයකින් තොරව ය. එසේම අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දෙදෙනෙකු දණ ගස්වා තර්ජනය කර ඇතැයි ද මේ වන විට තහවුරුව තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් මේ පිළිබඳ සුවෝ මෝටු විමර්ශනයක් හෙවත් පැමිණිලිකරුවකු නොමැති විමර්ශනයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාරය පාර්ශ්වයෙන් මෙතෙක් එවැනි කිසිදු විමර්ශනයක් ආරම්භ කර නැති අතර, මෙවැනි සිදුවීමක් සිදු නොවූ බවටත්, විෂය භාර ඇමැතිවරයාට අවශ්‍ය ඕනෑම මොහොතක සිරකරුවන් හමුවිය හැකි බවටත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පළ කළ අදහස් ආන්දෝලනයට තුඩු දී තිබේ. පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර පවසා තිබුණේ පැමිණිල්ලක් ලැබුණහොත්, පරීක්ෂණයක් ආරම්භ කරන බවයි. එසේ පවසන අතර, ලොහාන්ගේ පිස්තෝලය ලියාපදිංචි එකක් බව පැවසීමට ද ඔහු කටයුතු කර තිබිණි.

ඔහු තවමත් ඇමැති

සියල්ල අතරේ ලොහාන් රත්වත්ත තවමත් රාජ්‍ය ඇමැති ය. ඔහු රාජ්‍ය ඇමැති ධුර දෙකක් දැරූ අතර, ඉවත් වී ඇත්තේ එකකින් පමණි. අනෙක් ඇමැති ධුරය වන මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ධුරයේ ඔහු තවමත් රැඳී සිටී. ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුණේ ලොහාන් රත්වත්ත මේ සියලු තනතුරුවලින් ඉවත් විය යුතු බවයි. එම නිවේදනයේ නීතිඥ සංගමය මෙසේ ද සඳහන් කර තිබිණි. ‘ලොහාන් රත්වත්ත මහතාට එරෙහිව තිබෙන චෝදනා ඉතා බරපතළ වන අතර, එබැවින් සිරකරුවන් සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යංශයක් බාරව සිටීමටවත්, වෙනත් ඇමැති තනතුරක හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක හෝ වගකීමක් දැරීමටවත් ඔහු විශ්වසනීය පුද්ගලයෙකු වන්නේ නැත. එවැනි සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී විමර්ශනයක් සිදු කළ යුතුය. චෝදනා ඔප්පු වුවහොත් දණ්ඩනයට ලක්කළ යුතුය. මෙවැනි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී විමර්ශන කඩිනමින් සිදුකිරීම ඉතා වැදගත් ය. තමන්ගේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නැවත නැවතත් අවධාරණය කර තිබේ. ඉල්ලා අස්වීම මගින් රත්වත්ත මහතා තම චර්යාව සම්බන්ධ වගකීම බාරගෙන තිබේ. එමගින් කිසිදු රජයේ තනතුරක් දැරීම සඳහා ඔහු සතු සදාචාරාත්මක අයිතිය අහිමි වී ඇත.’

මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රධානී හැනා සිංගර් මහත්මිය පවසා තිබුණේ නෙල්සන් මැන්ඩෙලා රීතිවලට අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බවයි. සිරගතව සිටිනි සියලුමදෙනාගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙන්ම සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම හෙළා දැකීමේ හැකියාව වැඩි කිරීමට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් කටයුතු කරන බව ඇය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත යුතුයි !

මේ සිදුවීම පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයකු සඳහන් කළේ අවශ්‍ය ඔ්නෑම අවස්ථාවක විෂය භාර ඇමැතිවරයාට සිරකරුවන් මුණැගසීමට කිසිදු නෛතික බලයක් නැති බවයි. බන්ධනාගාර ආඥා පනතේ 37(1) වගන්තියට අනුව එම බලය ඇත්තේ බන්ධනාගාර විචික්ෂණ මණ්ඩලයේ සාමාජිකයන්ටත්, මහාධිකරණ විනිසුරු ධුරයේ සිට ඉහළ විනිසුරුවරුන්ටත් පමණක් බව ඔහු සඳහන් පැවසීය.

එසේම විෂය භාර ඇමැතිවරයාට හෝ කිසිවකුට හෝ ගිනි අවි රැගෙන බන්ධනාගාරය තුළට පිවිසීමට කිසිදු හැකියාවක් නැති බවත්, එය මුළුමනින්ම නීතිවිරෝධී බවත් පැවසූ අදාළ කොමසාරිස් ජනරාල්වරයා, එසේම පස්වරු 5.30න් පසු මිතුරන් සමග එසේ යෑමට අවසරය හෝ අවස්ථාව ලබාදුන් පාර්ශ්වවල සිට සියල්ලන් මීට අදාළ වගකිවයුත්තන් බව ද සඳහන් කළේය. එසේ නීතිවිරෝධී ලෙස ගොස් සිරකරුවකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීම, සිරකරුවන් දණගැස්වීම වැනි කරුණු සමස්ත රට ම ලැජ්ජාවට පත්කරන්නක් බවත්, ඊට වගකිවයුතු සියලු පුද්ගලයන් අනිවාර්යෙන් අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

පෝරකය අසලට ගොස් එය නැරඹීමට බලයලත් නිලධාරියකුට අවශ්‍ය නම්, ඒ සඳහා විධිමත් අවසරයක් ලබාගත යුතු බවත්, එම ස්ථානයට ඇතුළු වීම පවා සීමා කර ඇති බවත් සඳහන් කළ අදාළ හිටපු කොමසාරිස් ජනරාල්වරයා, මේ සිද්ධියට අදාළ පිරිස් එය විහිළුවකට ගෙන ඇති බව ද පැවසීය. තමන් මේ වන විට බන්ධනාගාර ක්ෂේත්‍රයෙන් බාහිර ව, වෙනත් රැකියාවක නිරත වී සිටින නිසා නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි අදාළ හිටපු කොමසාරිස් ජනරාල්වරයා, බන්ධනාගාර නීති උල්ලංඝනය කිරීම, වධහිංසාව, ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ අදාළ වගකිවයුත්තන් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බව ද පෙන්වා දුන්නේය.

මේ සිදුවීමට අදාළ ව නීතිය ක්‍රියාත්මක නොවුණහොත්, මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී මෙන්ම ලබන 21 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමතීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ද ගැටළු ඇති වනු ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
1990 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද 45/111 දරන සිරකරුවන් ආරක්ෂා කිරීමේ මූලික ප්‍රතිපත්ති ලොහාන් රත්වත්ත මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මුළුමනින්ම උල්ලංඝනය කර තිබේ. එහි අවසාන වගකිවයුත්තා වන්නේ රජයයි. නෙල්සන් මැන්ඩෙලා ප්‍රතිපත්ති අනුව ද සිරකරුවන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදීය අනිවාර්ය වේ. ඔවුන් සිටින්නේ රාජ්‍යය භාරයේ ය.

පිස්තෝල පෙන්වන විෂයපථය

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම මෙසේ සඳහන් කළේය.
‘ඇමතිවරයාට බන්ධනාගාරය පරීක්ෂා කරන්න පුළුවන්. අවශ්‍ය නම් රැඳවියන් එක්ක කතා කරන්නත් පුළුවන්. අතීතයේ ඩග්ලස් දේවානන්දා ඇමතිවරයා බන්ධනාගාර පරීක්ෂා කරන්න ගිහින් ඔහුට බරපතළ තත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. මෙතැනදි බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් එළියට ගෙන පිස්තෝලයක් තබා තර්ජනය කිරීම ඇමතිවරයාගේ විෂය පථයට අදාළ වෙන්නේ නැහැ. මෙතැන අයුතු ඇතුළුවීම, සාපරාධී බලහත්කාරය, මරණීය තර්ජන එල්ල කිරීම, නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නීතිවිරෝධී රැස්වීම යන දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදුකර තිබෙනවා. සිරකරු අයිතීන් සම්බන්ධ ප්‍රඥප්තියේ විධිවිධාන උල්ලංඝනය කර තිබෙනවා. අධිකරණ නියෝගයකින් බන්ධනාගාර ගත කරන පුද්ගලයෙක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙක් හෝ වෙනත් විනිශ්චයකාරවරයෙක් නිශ්චිත උපදෙස් මාලාවක්, විධානයක් බන්ධනාගාර අධිකාරියට දෙනවා. මෙයට කියන්නේ අධිකරණ භාරය කියලා. ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අධිකරණය, රජය වගකියන්න ඕනෑ.’

නීතියට කොකා පෙන්වන සෙල්ලම්

උඩතලවින්න ඝාතනය සහ තවත් එවැනි බරපතළ අපරාධ පිළිබඳව ලොහාන් රත්වත්තට එල්ල වී ඇති චෝදනා ද සුළුපටු නැත. ඒවා ගැන වෙනම ලියන්නට අවශ්‍ය ය. කෙසේ වෙතත් බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය ඇමැති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ ‘සෙල්ලම් දැමීම්’ වැඩි වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් 05දා මධ්‍යම රාත්‍රියේ අනුරාධපුර, රුවන්වැලිසෑයට ගොස් එහි කලබලයක් ඇති කිරීම සහ එහි ආරක්ෂකයන්ට තර්ජනය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවකි.

‘යකෝ මම ඇමති කෙනෙක්. ඇමති කෙනෙක්ට රුවන්වැලිසෑය වඳින්න දෙන්නෙ නැත්නම් කවුද යකෝ වඳින්නෙ. එන්න කියාපියව් තොපේ මහ එකාට’ යනුවෙන් ඇමැතිවරයා මෙහිදී තමන්ට බැණ වැදුණු බව එහි සිටි පොලිස් නිලධාරීන් උඩමළුව පොලිස් ස්ථානයට වාර්තා කර ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදුවූයේ නැත. එසේම මේ වසරේ ජනවාරි මාසයේදී මහනුවර හෝටලයකදී අහසට වෙඩි තබමින් කලහකාරී ලෙස හැසිරීමයි. වැලිකඩ සහ අනුරාධපුර සිදුවීම් වන්නේ ඉන්පසුව ය. කාලයේ වෙනසක් නැත. 2013 සැප්තැම්බර් 21 දා මහනුවර – පාතදුම්බර ඡන්ද කොට්ඨාසයේ, කැලෑබොක්ක මහා විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය අසලදී අහසට වෙඩි තබා ඡන්දදායකයන් බියවැද්දීම පිළිබඳව ද ඔහුට චෝදනා ඇත.

ළඟ නොව දුර බලන්න !

අප නීතියට පහළින් සිටියද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය සැමට සමාන විය යුතු බව සඳහන්ව තිබුණද, ඔහු සිටින්නේ නීතියට ඉහළින් ය. කුමක් හෝ හේතුවක් නිසා ඔහු නීතියට ඉහළින් තැබීමට ආණ්ඩුවේ නායකයන් කටයුතු කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඇමතීමට තිබීමත්, ඒ සමුළුවලදී අවධානය යොමුවීමත් නිසා ඇතැම් විට ඔබ මෙය කියවන මොහොත වන විට ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නට ද ඉඩ ඇත. එහෙත් ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ විමසිල්ලෙන් සිටින්න.

– ශාලික විමලසේන

මෙවර(2021-09 – 19) “ලංකා” පුවත්පතින්

Leave A Reply

Your email address will not be published.

1 × 4 =