රත්වත්තේ නාටකයෙන් හෙළිදරව් වන දේ

ශ්‍රී ලංකාවේ අපි කිසිම කෙනෙකුට රාජ්‍ය බලය ඇති කවුරුහරි එකෙක් වෙරි වෙලා වටේ පිටේ ඉන්න උන්ට තර්ජනය කරලා පිස්සු නටන එක අමුතු දෙයක් නෙමෙයි. එහෙම පිස්සන් අති විශාල තොගයක් පසුගිය කාලේ, කොටින්ම භික්ෂූන් පවා, අපි දැක්කා. එහෙම බලය අයුතු ලෙස පාවිච්චි කරලා මානව අයිතිවාසිකම් පවා කඩකරමින් නටන පිස්සුවට වෙරි සහ සිහිකල්පනාව කියලා වෙනසක් නෑ. සමහරවිට එකම වෙනස වෙරි උනහම ටිකක් එන්ටර්ටේනින්වෙලා සිද්ධිය විකාරරූපී නාට්‍යයක් විදිහට මතුවෙලා පේනවා. එච්චරයි. කෙටියෙන් මේ තමයි අඩු වැඩි වශයෙන් මේ රටේ රාජ්‍ය බලයේ සාමාන්‍ය තත්ත්වය. නිලධාරිවාදය.

මේ අමුතු නැති තත්ත්වයේ අපිට අමුතු දේ නම් එවැනි සිද්ධියක් වුණ ගමන්ම චෝදනා ලබපු එකා ඉල්ලා අස්වීමයි. මේක නං අපිට හුරු පුරුදු දෙයක් නෙමෙයි. විශේෂයෙන් ලොහාන් රත්වත්තේ වගේ මීට සමාන දූෂන සහ මනව අයිතිවාසිකම් කඩ කිරීමේ වැඩවල ඉතිහාසයක් තියෙන පුද්ගලයෙක්. මේ සිද්ධියේ තියෙන වඩා ම රසවත් සහ වැදගත්ම තැන එතනයි, එනම් අපි කැමති දේ මෙතරම් ඉක්මනට සිද්ධ වුණේ කොහොමද කියන එකයි.
නීතිය ක්‍රියාත්මක කර වංචා දූෂණ වහාම නවත්තන්න කියලා අපි දැන් බොහෝ කාලයක ඉදන් මේ රජයට බල කරනවා. ඒත් ඔවුන් සත පහකට ඒක ගණන් ගත්තෙ නෑ. ලොහාන් රත්වත්තේ හරියටම වරද භාර ගන්නෙත් නැතුවම රජය අපහසුතාවයට පත් කරන්න බෑ කියල ඉල්ලා අස්වෙනවා. ඔහු නිසා රජය අපහසුතාවයට පත්වුණු පළවෙනි අවස්ථාව මේක නෙමෙයි, ඔහු මෙවැනි ‘විනයක්’ ඒ කිසිම අවස්ථාවක පෙන්නලා නෑ.
විවිධ ප්‍රවෘත්ති මූලාශ්‍ර වලින් අපට ආරංචි විදියටනම් මහින්ද රාජපක්ෂ ඉතාලියේ ඉදන් ලොහාන් රත්වත්තටත් කතා කරලා ගෝඨාභයටත් උපදෙස් දීලා තියෙනවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. මේක වෙනත් විදියකට සිද්ධ වෙන්න කිසිම හැකියාවකුත් නැහැ කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා.

එහෙනම් අපිට මේ තරම් උද්ඝෝෂණ කරලත් හිරේ ගිහිල්ලා වෙඩි කාලා පවා ලබා ගන්න අමාරු ‘සාධාරණය’ ටෙලිෆෝන් කෝල් එකින් පැය කීපයක් තුල කරගන්න පුලුවන් වුණු පසුබිම මොකක්ද කියන එක ඉතාම වැදගත් ප්‍රශ්නයයි. එයින් නම් අපිට සාධාරණය ලැබෙන්නේ අපිට ඊට සහයෝගය දෙන්න සිද්ධ වෙනවා!
පැහැදිලියි.මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව 48 වන සැසිවාරය ගොඩක් උණුසුම් කරමින් පසුගිය දවසක ආහාර සුරක්ෂිතතාව, මිල පාලනයට ආදාළව අගෝස්තු 30 දා ශ්‍රී ලංකාව විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉතා සමීපව අධීක්ෂණය කරමින් පවතින බව එම කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැච්ලෙට් කියලා තියෙනවා. ඊට අමතරව
සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් කියලා රත්වත්තේගේ සිදුවීම ඉලක්ක කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් ට්විටර් පණ්වුඩයක් තබලා තියෙනවා. මේ තත්ත්වය තුළ ගෝඨාභය මේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයට සම්බන්ධ වීමට නියමිතයි.
අපේ මේ දේශපාලකයින් පුළුවන් තරම් අනිකුත් ජාතීන් සහ විදේශිකයින්ට යකුන් ලෙස බය කරවා ජනතාව දුපතක දමා තබා ගන්නට හේතුව දැන් හරිම පැහැදිලියි. මේ දුපතෙන් පිට ඉන්නා ජාතීන්ට, හරයන්ට සහ විනිෂ්චයන්ට අපව වෛර කර තබාගන්නට හදන්නේ ඇයි කියලා හරිම පැහැදිලියි. එනම් ඒවා අපට මුහුණ දුන් පසු ඔවුන් අරබුදයට යනවා. මෙය හුදෙක් වර්තමාන රජයෙන් පමණක් සිදු වුණ දෙයක් නෙමෙයි බොහෝ රජයන් භාෂාව නිසා සිදුවුන අසාධාරණය පවා පාවිච්චි කරමින් ඔබ හැදුනු විදිය හරියටම හරි ඒ විදිහට හැදුනැති පිට එවුන් වැරදියි කියලා අපේකම හෝ ජාතිකත්වය ආදියේ නාමයෙන් ජනතාව විවිධ ලෙස තමන්ගේ දේශපාලන අසමත්භාවය තුළ ගොනාට අන්දවා තබාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ ක්‍රමය තුළ හැදුණු මේ රටේ කී දෙනෙක් මානව අයිතිවාසිකම් කියන්නේම, එනම් තමන්ගේම අයිතිවාසිකම් මොනවද කියලා දන්නවාද?
දැන් රසවත්ම දේ නම් මේ නායකයින්ව විශ්වාස කරලා පත්කරපු තමන්ගේම රටේ මිනිසුන් මානව අයිතිවාසිකම් නීතිය සාධාරණය ඉල්ලනකොට ඇහුම්කන් නොදෙන අතර ඒවා ඔවුන් අපට ලබා දෙන්නේ විදේශකයින්ගේ බලපෑම් නිසයි. ඔවුන් අපිව ඔවුන්ට බලපෑමක් කරන්න බැරි තත්වෙට පත් කරගෙන අවසන්. ඔවුන්ට විදේශ හඬට යටත්වෙන්න සිද්ධ වෙන්නෙත් ඔවුන්ගේම ආර්ථික දේශපාලන කලමණාකරනයේම ඇති දුර්වලතාවයක් නිසයි. අපි නිතර කියන ‘දූපත් මානසිකත්වය’ කියන පටු ප්‍රාදේශීයවාදී දෘෂ්ටිවාදය හැදෙන්නේත් අන්න ඒ ආර්ථික දේශපාලන කළමනාකරණයේම දුර්වලතාවය නිසයි. ඒත් ඒ අපි හැදුන හැටි නිසා ඒකට අපේ කම කියලා අපිට ආඩම්බරත් වෙන්නලු!

අවසානයේ මේ හැදුනු ක්‍රමය තුළ මිනිසුන් ඈත්ව හැදුනේ මානව අයිතිවාසිකම් වලින් විතරක් නෙමෙයි තව බොහෝ දේවල් වලට ඒ තත්වය බලපෑවා. මේ විදේශීය විනිශ්චයන්ට දැනුමට අවබෝධයට අත්දැකීම් වලට විවෘත නොවු පාරිභෝගිකයාව කොටුකරගෙන කෑම දෘශ්ඨිවාදයක් ලෙස දේශපාලනයේ සිට කලාව හරහා සෑම විෂයක ම අඩු වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන්. මෑතක දී මෙය වඩාත් දකින්නට පුළුවන් වුණේ ධම්මික පැණිය සිදුවීම තුලයි.  ඊට වඩාම කොටු වුණු පාරිභෝගිකයින් සියලුම දෙනා මේ විදිහට දූපත්වාදීව කොටුවූ පන්ති සංස්කෘතීන්වල අයයි.  ඔවුන්ගේම ජනතාව, ඔවුන් කියන ‘අපේ එවුන්’ ඔවුන්ව මානව අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් රවටනකොට එයින් බේරීමේ දැනුම තාක්ෂණය ඔවුන්ට තිබුණේ නෑ. අනිත් බොහෝ ක්ෂේත්‍ර වලත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.

අවසානයේ මේ සිදුවීම හරහා ද අපට තේරුම් ගන්නට ඇති අමිහිරි යථාර්ථය අපේම සහයෝගය ඇතිව අපිව රවටා ගෙන ඇවිත් තියෙන දේශපාලනයයි.

– ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

3 × 5 =