ජයග්‍රහණයේ පිපාසය සමස්ථ කණ්ඩායම ට ම නොදැනෙන්නේ නම්, ජයග්‍රහණය බොහෝදුරය

ලංකාවට මොකද උනේ, වෙන්න තියෙන දේ තමයි උනේ, ලෝකයෙ ප්‍රදාන පෙලේ කණ්ඩායමක් සමඟ T20I මැච් ගහන්න අපි සුදුසු නැති නිසා තමයි අපිට world cup එකට select වෙන්න qualifying round එකක් ගහලා එන්න වෙන්නෙ , ඒක මේ තරඟාවලිය  නිසා වෙච්චි දෙයක් නෙවෙයි . ඒක නිසා කලබල වෙන්න පුදුම වෙන්න දෙයක් නෑ, එතකොට අපි ඉන්දියාව එක්ක series එක දිනුවෙ. ඒක ඉන්දියාවෙ ජාතික කණ්ඩායම නෙවෙයි ඒ ගැන කලබල වෙන්න හොඳ නෑ කියලා අපි දැනගන්න ඕන .

එතකොට අපිට World cup එකේදී මොකද වෙන්නෙ , ඒක ට අපි ඉස්සෙල්ලා ම qualifying round එකෙන් select වෙන්න ඕන , ඒ කියන්නෙ select වෙන එකක් නැද්ද , ඔව් සමහරවිට එහෙම වෙන්න පුලුවන් , ඇත්තටම Irland අපිට වඩා මේ දවස් වල හොඳයි , Namibia ත් නරක නෑ කියලා තමයි ආරංචි තියෙන්නේ . ඒත් මං හිතන්නේ අපි select වෙයි කියලා . හැබැයි ඉතින් ඒකට කණ්ඩායම කල්ලි වාද නැතුව එක team එකක් හැටියට සෙල්ලම් කරන්න වෙනවා. එහෙම බැරි අයට  අවවාද කරලා හරියන්නේ නෑ එලවලා දානවා මිසක් . මේක manager , coach මූලික වෙලා කලයුතු වැඩක්. ඉන්න manager ට මේ වැඩේ කරන්න බැරි නම් ඒ සඳහා වෙන කෙනෙක් ගෙන්වාගන්න වෙනවා. මේ සඳහා මගේ යෝජනාව රොශාන් මහානාම . නමුත් මේ ඉහඳ වලට බහින්න මහානාම කැමති වේවිදැයි ඇත්තේ ලොකු අවිශ්වාසයක්.

ඊලඟට අපිට හරි හමන් batting coach කෙනෙක් ඕන වෙනවා, ඒ වෙන  මොකකටවත් නෙවෙයි spinners ලාට හරියට ගහන්න , sweep , reverse sweep හරියට ගහගන්න Craig Mcmillan ඕන නෑ  තිලාන් සමරවීර ව පොඩ්ඩක් මාස දෙක තුනකට consultant කෙනෙක් හැටියට ගෙන්න ගත්තත් ඇති වගේ .

මේ ටික විතරක් කියලා නවත්තන්න හිතාගෙන තමයි ලියන්න පටන් ගත්තෙ, ඒත් තව ටිකක් ලියන්නම්.

SA series එක ගැන හෝ ,World cup සංචිතය ගැන නෙවෙයි ලංකාවේ T20 team එක ගැන කතා කලොත් , අපි ඉස්සෙල්ලා ම T20 team එකක් හදාගන්න ඕන. මේ ඉන්න සංචිතය හා ඒ ආශ්‍රිතයන් ගැන කතා කලොත් , අපිට anchor role එක සෙල්ලම් කරන්න පිතිකරුවන් උපරිම වශයෙන් දෙන්නෙක් හිටියොත් ඇති . හැබැයි ඒගොල්ලො නිරන්තරයෙන් singles දාන්න පුලුවන් පිතිකරුවන් විය යුතුයි. ඒක ට චන්දිමාල් , අවිශ්ක , ධනංජය ද සිල්වා, චරිත් අසලංක අතරින් දෙන්නෙක් තෝරගන්න පුලුවන් . ධනංජය ද සිල්වා හෝ අසලංක තෝරාගන්නව නම් ඔහුට දඟ කැවෙන තණතිලි වලදි ආරම්භක පන්දු වාරයක් දෙකක් යැවීම ට ද සිදුවෙනවා. මේ කවුරු ගත්තත් අදාළ අයට single දාගන්න අනිවාර්යයෙන් පුරුදු කරන්න ම වෙනවා, අපේ dot balls ප්‍රතිශතය 50% කින් වත් අඩු කරගන්න එක මූලික අදහසක් ලෙස අරගෙන කටයුතු කරන්න වෙනවා.

මම තවමත් විශ්වාස කරන්නෙ ආරම්භක පිතිකරුවන් ලෙස ප්‍රහාරාත්මක පිතිකරුවන් දෙපලක් අවශ්‍ය බව, ඒ සඳහා කුසල් ජනිත් පෙරේරා සහ භානුක  තවමත් මගේ තෝරා ගැනීම වන අතර ඔවුන් අසාර්ථකයි නම් ලහිරු උදාර හො වෙන කෙනෙකුත් හෝ කැඳවා ගත යුතු බව සිතමි. කමිඳු මෙන්ඩිස් හෝ ලහිරු මධුශංක ට ඒ සඳහා හැඩගැසිය හැකිනම් එය වුවත් යෝග්‍ය වේ.

චාමික කරුණාරත්න අංක 8, 9 වැනි අංකයක පන්දුවට පහරදීමෙ කිසිදු අර්ථයක් නොමැති අතර අඩුම තරමින් ඔහුට අංක 4,5 වැනි ස්තානයක් ලබාදිය යුතුව ඇත. T20 යනු big hitters ලාගේම ක්‍රීඩාවක් නොවන බව සත්‍ය නමුත් big hitters ලාට ඒ සඳහා ඉහළ දායකත්වයක් ලබා දිය හැකි බව පිලිගත යුතුය . එමනිසා චාමික ට අමතරව ලහිරු මධුශංක ට ද ඒ සඳහා අවස්තාවක් ලබාදිය යුතුය. ශම්මු අශාන් ද එවැනිම සැලකිල්ලට ගත හැකි ක්‍රීඩකයකි . තවත් එවැන්නෝ සිටිය හැක. එමෙන්ම වනිඳු හසරංග පිතිකරුවකු වශයෙන් නැවත දක්ශතා නොදක්වන්නේ නම් ඔහු පිතිකරණ ලැයිස්තුවේ පහල අංකයකට යොමු කිරීම සිදුකල යුතුව ඇත.

දසුන් ශානක ද නායකයකු ලෙස පෙර දැක්වූ දක්ශතා දැන් දැන් නොදක්වන බවක් පෙනෙන්නට තියෙනවා, පන්දු යවන්නන් කළමණාකාරණයේ සිට පන්දු රකින්නන් ස්තාන ගත කිරීමේ ගැටලු ද මේ වෙනකොට ඇතිවෙමින් පවතිනවා. ප්‍රවීන් ව ප්‍රමාණවත් පරිදි යොදා නොගැනීම, චාමිකගෙ අති උනන්දුවෙන් ප්‍රයෝජනයක් නොගැනීම අවස්තා කිහිපයක් විතරයි . කණ්ඩායමේ නැවත ගැටලු ඇතිවී තිබීම ඇතැමුන් දක්ශතා නොදැක්වීම ට කටයුතු කිරීම නිසා ඇතිවන පීඩනය හේතුවෙන් මෙය සිදුවනවා විය හැකිය . එසේනම් හැකි ඉක්මනින් එය විසඳාගත යුතුව ඇත. දසුන් පැහැදිලි ව ම ජාත්‍යන්තර මට්ටමේ Power hitter කෙනෙක් නොවන බව දැන් පැහැදිලි බැවින් , ඔහු මැදපෙල ශක්තිමත් කරන පිතිකරුවෙකු සහ පන්දු යවන්නකු ලෙස වහ වහා ක්‍රියාත්මක විය යුතුව ඇත. ඔහු අනිවාර්යයෙන් Power play අවස්තාවෙ හෝ death overs වල පන්දු යැවිය යුතුම වේ. එසේ නොවී ඔහුට කණ්ඩායමේ තම ස්තානය අභියෝගය ට ලක්වීම වලක්වාගත නොහැකි බව වටහාගත යුතුව ඇත.

දුශ්මන්ත චමීර ගෙ සහයට සිටි බිනුර ප්‍රනාන්දු ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීම වටහාගත නොහැක .චමීර ගෙ සහයට තව වේග පන්දු යවන්නන් තිදෙනෙකු පමණ හැකි ඉක්මනින් ගොඩනගා ගත යුතුව ඇත. එවැනි තත්ත්වයක් තුල වර්ධනය වෙමින් සිටින ක්‍රීඩකයකු ඉවත් කිරීම ප්‍රබල උභතෝකෝටිකයකි. ධනංජය ලක්ශාන් සහ තවත් පන්දු යවන්නන් කිහිපදෙනෙකු සිටින අතර තව වේගවත් පන්දු යවන්නකු සිටියා නම් හොඳ යැයි සිතමි.

දඟපන්දු යවන්නන් විශාල සංඛ්‍යාවක් සිටින නමුත් ඔවුන් ව නිවැරදිව කළමණාකාරණය නොවන්නෙ නම් ඔවුන් අපතේ යනු ඇත. ලෝක කුසලාන සංචිතය ට ඇතුලත් නොවුන ද ලක්ශාන් සඳකැන් වැන්නකු පවා නිවැරදි කළමණාකාරණය කින් පසු යොදා ගත හැකිය.

අවසාන වශයෙන්  එක්දින තරඟ වල යම් සුලු සාර්ථකත්වයක් දැක්වුවද T20I හි වර්ධනය කරගත යුතු බොහෝ දේ ඇත. පලමුව එය වෙනම Format එකක් බව තේරුම් ගනිමින් ඒ සඳහා ක්‍රීඩකයන් සොයා ගතයුතුය. මේ සඳහා 20 ක පමණ සංචිතය ගොඩනංවා අදාළ ස්තානය සඳහා සුදුසු ක්‍රීඩකයන් ගෙ දක්ශතා සලකමින් කණ්ඩායම තෝරා ගැනීම සිදුකල යුතුය . ප්‍රබල කණ්ඩායම් වන එංගලන්තය , ඉන්දියාව කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ එවැනි ආකාරයකට ය. නමුත් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩකයන් 11 වත් නැති ශ්‍රී ලංකා කණ්ඩායම ට එය ටිකක් දුර හීනයකි.

තරඟ සැලැස්ම වල් ගොඩ නැඟිය යුතුය . කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩකයන් ගෙන් පුරවා ගැනීම වෙනුවට අදාළ භූමිකාව ට සුදුසු ක්‍රීඩකයන් ඇතුලත් කරගත යුතුව ඇත .

මේ සියල්ලටම පෙර කණ්ඩායම තුල නැවත කල්ලි වාද ඇතිවීම වලක්වාගැනීමට කටයුතු කල යුතුව ඇත. මේ නව කණ්ඩායම ගැන බලාපොරොත්තු තබාගැනීමට මූලික හේතුව වූයේ මොවුන් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමට උත්සාහ කිරීමයි. නමුත් එය එසේ නොවන්නෙ නම් , සුදුස්සාට සුදුසු තැන නොලැබෙන්නේ නම් මෙය නැවත ගොඩ නැඟිය නොහැකි අගාධයකට ගමන් කිරීම වැළැක්විය නොහැක . අනිකුත් සියලු දේ ක්‍රමයෙන් ගොඩනගා ගත හැකි නමුත් කණ්ඩායම් හැඟීම හා ජයග්‍රහණයේ පිපාසය සමස්ථ කණ්ඩායම ට ම දැනෙන්නේ නැත්නම් , ජයග්‍රහණය බොහෝදුරය.

– චරිත දිසානායක (Cricket with Charitha)

Leave A Reply

Your email address will not be published.

seventeen − six =