තලේබාන් මණ්ඩලේ කචල් – බරාදර් අතුරුදහන්

පුදන කොටම කාපි යකා කියන්නා සේ ඇෆ්ගනිස්තානයේ ළදරු තලේබාන් ආණ්ඩුවේ “මණ්ඩලේ කචල්” වී ඇති බවට අද බොහෝ මාධ්‍ය වාර්තා පළවුණා. ඊයේ කාබුල් නුවර ජනාධිපති මන්දිරයේ තලේබාන් නායකයන් අතර විශාල ගාලගෝට්ටියක් ඇතිවී තිබෙන බවයි එකී වාර්තා වලින් පැවසෙන්නේ.

මේ ගැටුම ඇති වී තිබෙන්නේ තලේබාන් ආණ්ඩුවේ නියෝජ්‍ය අගමැති මුල්ලා අබ්දූල් ගානි බරාදර් හා තලේබාන් සන්නද්ධ අංශය වූ හක්කානි බලකායේ නායකයන් අතරයි.

බරාදර් යනු තලේබාන් සංවිධානයේ සම නිර්මාතෘවරයායි. මොහමඩ් ඕමාර් සමඟ එක් වී 1994 දී තලේබාන් සංවිධානය ආරම්භ කළේ බරාදර් විසින්. 1996-2001 තලේබාන් ආණ්ඩුවේ දෙවැනියා වුණෙත් ඔහු. ඔහු තමයි කටාර් රාජ්‍යයට ගොස් ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා කළේ. වඩාත් සංයමයෙන් යුතුව ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමට කැමති මධ්‍යස්ථ නායකයෙක් වූ බරාදර් තලේබාන් සංවිධානයේ දේශපාලන න්‍යායාචාර්යවරයා ලෙසත් සැලකෙනවා.නව තලේබාන් රජයේ අගමැති ධුරය බරාදර්ට ලැබේයැයි බොහෝ අය අපේක්ෂා කළත් ඔහුට උප අගමැති ධූරයෙන් සෑහීමට පත් වීමට සිදුවුණා.

අනෙක් අතට හක්කානි ජාලය යනු අතිධාවනකාරි සාමාජිකයන්ගෙන් සමන්විත සන්නද්ධ බලකායක්. තලේබාන් රජයේ ආරක්ෂක ඇමති, අභ්‍යන්තර කටයුතු ඇමති වැනි බලගතුම තනතුරු හක්කානි කණ්ඩායමට හිමිව තිබෙනවා. ඇමෙරිකානු හමුදා හා ඇෆ්ගන් රජයේ හමුදා වලට එරෙහිව පසුගිය කාලයේ සිදුකරන ලද ප්‍රචණ්ඩ ප්‍රහාර වලට හක්කානි ජාලයේ නම ඈඳී තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසට නම්කර තිබෙනවා.

තලේබාන් ජයග්‍රහණයේ වැඩි අයිතිය ඇත්තේ කාටදැයි යන්න පිළිබඳව බරාදර් හා හක්කානි ජාලයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ කලීල් උර් රහුමාන් හක්කානි අතර ඇති වූ වාදයක් දුරදිග යෑම නිසා නායකයන් දෙදෙනාගේ අනුගාමිකයන් අතර මේ ගැටුම ඇති වූ බව වාර්තා වෙනවා. බරාදර් විශ්වාස කරන්නේ ඔහුගේ දේශපාලන කණ්ඩායම විසින් අනුගමනය කළ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශය ජයග්‍රහණයට හේතු වූ බව.හක්කානි සාමාජිකයන්ගේ මතය තමන්ගේ සටන් ක්‍රියාමාර්ග ඊට හේතු වූ බව.

මේ ගැටුමෙන් පසුව බරාදර් කාබුල් නගරය අතහැර කන්දහාර් වෙත ගොස් ඇති බව වාර්තා වෙනවා. තවද ඉන් පසුව බරාදර් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බව ද වාර්තා වෙනවා. හක්කානි කණ්ඩායම විසින් බරාදර් ඝාතනය කර ඇති බව තහවුරු නොකළ සමාජ මාධ්‍ය වාර්තා ලැබී ඇතැයි Fox News වෙබ් අඩවිය සඳහන් කරනවා.
තලේබාන් රජයේ උත්තරීතර නායකයා ලෙස සැළකෙන හිබතුල්ලා අකුන්ඩ්සාඩා මවුලවි වරයාද මේ වන තෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නැහැ.
– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

16 + fifteen =