පත්තර කන්තෝරුවේ හමු වූ යාපනේ මිනිසා

මගේයාපනය

ඒ මීට අවුරුදු ගණනකට පෙර මතකයකි . මම පත්තර කලාවට පය තැබුවා පමණකි. ඒ කොළඹ හත රොස්මිඩ් පෙදෙසේ අංක 101 දරන ස්ථානයේ පිහිටි සිලෝන් නිව්ස් පේපර් ආයතනයයි . මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් හි කන්තොරුවයි.
එදවස අපේ මව්බිම පත්තරයේ මෙන්ම සිලෝන් ටුඩේ පත්තරයේ සියලු දෙනාම ආහාර ගන්නේ එකම කෑම කාමරයකය ( එය දැනටත් එසේ බව මම විශ්වාස කරමි). කෑම කාමරය පිහිටා තිබුණේ බිම් මහලේය. කෑම කාමරයේදී මම නිතර දකින එසේම හිත නිවන දයාබර හිනාවකින් යුතු මිනිසෙකි. ඔහුගේ දෑස් බොහෝ කාරුණිකය. මිත්‍රශීලිය. ඔහුට තිබුණේ තැන්පත් ගුරුවරයෙකුට ඔබින මුහුණකි. කුඩා කාලයේදී මම දකින්නට කැමති වූයේ පිරිමි ගුරුවරයකු නම් මේ මිනිසාට සමාන රුවකි. පසු කළෙක ඔහු මෙසේ මුණ ගැහුන විටද මට මතක් වූයේ කුඩා කාලේ මාතුළ වූ හැගීමය. අවුරුදු විස්සකට විසි දෙකකට පසුත් ඒ කුඩා වියේ සිතිවිල්ල හරියටම ඔහුගේ රුවට ගැලපුනේය. ඔහු එක්ක මම කතා කලේ මොනවාදැයි මට හරියට මතක නැතත් ඔහු අපේ විකාර කතාවලට සිනාසුනේ නොදරුවන්ගේ සුරතල් දකින පියෙකු මෙනි. කාර්යාලය තුළ දුටුවද ඔහුගේ ඒ දයාබර හිනාව එලෙසම විය.
නමින් අනන්ත් පාලකිද්නර් නම් වූ ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ ජේෂ්ඨයෙකි. එවකට සිලෝන් ටුඩේ පුවත්පතෙහි කතෘ මණ්ඩලයෙහි වූ ජේෂ්ඨ මාධ්‍යවේදියෙකි,
පසුව ඔහු මගේ මූණු පොතට ඇතුළත් විය. එතැන් පටන් මම ඔහු හා කතාකරන්නට ගත්තෙමි. ඒ කතාව නොනවතින කතාවක් වූවේ ඔහු යාපනේ, මුල් ඇති මිනිසෙකු වග දැනගැනීමෙන් අනතුරුවය. ඒ පටන් ගැන්ම තවමත් එසේය. කොපමණ කතාකලද දවසින් දවස මම අහන ප්‍රශ්න කන්ද වැඩි වෙනවා මිස අඩු වන්නෙම නැත. ඒත් ඔහුට තරහ යන්නේද නැත. අහන්න අහන්න ඕනෑම දෙයක් අහන්න කියන ඔහු ඇතැම් කතා පවසන විට මම නොදුටු මගේ යාපනය මගේ ඇස් ඉදිරිපිට මවා ගමි.
අනනත් පාලකිද්නර් යාපනේ උපන්නෙකි. කොකුවිල් ඔහුගේ ගමය. ඔහුගේ පියා අධිකරණ විනිසුරුවරයෙකු වූ පාලකිද්නර් ය.. අනන්ත් අයියා යාපනේ හින්දු විද්‍යාලයේ ඉගනුම ලැබූවෙකි. ඔහුගෙන් මම ඇතැම් සිදුවීම්, පුද්ගලයන් ගැන විමසද්දී ඒ සියලු දෙනා ඔහුට ඉතා ළඟ මිනිසුන් වග කියද්දී මට ඇත්තේ පුදුමයකි. රටක් ලෙස දෙපසකට වී සිංහල දෙමල යැයි කියමින් උන්නද අපි එකිනෙකා වටා ඇති මේ ආදරණීය බැදීම් අපිට අත හැරෙන්නේ අපේම නොසැලකිල්ල නිසාය.
මම දිනක් ඔහුගෙන් යාපනේ පුස්තකාලය ගිනි තැබීම ගැන ඇසීමි. එදා ඔහු දුන් උත්තරය ‘’ මම යාපනේ පුස්තකාලේ ගිනි තියපු දවසේ බලන්න ගියා. එතකොට මම ඊලනාඩු පත්තරේ වැඩ. ‘’ ඒ ඔහු කී හැටිය. පුදුමය එදා පුස්තකාලයේ සිද්ධිය මෙන්ම එදාම ගිනි තැබූ ඊලනාඩු පුවත්පත සම්බන්ධයෙන්ද ඔහුට ඇති බැදීමය. වරෙක මම චේරන් රුද්‍රමූර්ති ගැන අසනවිට ඔහුත් අනන්ත් අයියාත් එකම යුගයක පුවත්පත් කලාවට පිවිසිය උන් සේම, එකට තොරතුරු සොයා යාපනේ කරක් ගැසුවන් බවද කියන්නේ හිනැහෙමිනි.
‘’බිඳුණු තල් රුක ‘’ කෘතිය පිලිබඳ කියද්දී ඔහු කියුවේ ‘’ ඒ දවස්වල රාජන් හූල් මාත් එක්ක මේ විස්තර හොයන්න ගම්මානවලට ගියා. ඒ ගියත් කවදාවත් පොතක් ලියන්න කරුණු හොයනවා කියල කියන්නේ නෑ. ඒවා ඇත්තම තොරතුරු විදියට දැනගන්න එයාට ඕන වුණා කියල මම හිතනවා. ‘’ ඔහු කියන බොහෝ කතා අසා ඉන්නට හිතෙන්නේය. හැම විටක ඔහු දෙමල, සිංහල බේදයක් නොමැතිව අගය කලයුත්තන් අගය කිරීමද, විවේචනය කල යුත්තන් විවේචනය කිරීමද කරන්නේය.

ඔහුගේ මූණු පොතේ මම නිතර දකින්නට ප්‍රියකරන චායාරූප දෙකකි. ඒ ඔහුගේ මව සිතාරයක් සහිතව සිටින සේයාරුවයි. මම ආදරේ කරන පරණ යාපනේ මට විදහා දක්වන කාන්තාවක් එහි වේ. රෝස පහ සාරිය, සිතාරය, දිගු මුහුණත ඇති රතු තිලකය නිරන්තරයෙන් ඇය දකින්නට මට බල කරන්නකි. ඒ නිසාම දැන් ඇයගේ කොපියක් මගේ චායාරූප එකතුවක වේ. මේ පිලිබඳ අනන්ත් අයියා උරණ නොවනු ඇතැයි සිතමි. අනෙක් චායාරූපය ඔහුගේ යාපනේ පිහිටි නිවසේ ගේට්ටුවේ චායාරුවකි. ඒ දකින කළ මට මහා ශෝකාකූල බවක් දැනෙයි. ඔවුන්ට අහිමි වූ ඒ අතීතයට තාමත් ඔවුන් පෙම් බදිමින් හිදී. ඒ සියල්ලට වඩා මට දුක හිතෙන්නේ ඔහුගේ අවසන් කැමැත්ත ගැන කියන විටය.

‘’ මට කවදාහරි මම මැරුණම මගේ අවසන් කටයුතු කරන්න ඕනේ අපේ මුතුන් මිත්තෝ වළලපු යාපනේ තියන සුසාන භූමියේ. යුද්දේ නිසා අපේ දෙමාපියන් වෙනුවෙන් ඒක කරන්න බැරි වුණා. ඒත් මට ඒක කරන්න ඕනේ.’’ ඔහු කියන්නේ තාමත් යාපනේ නම් තමන්ගේ උපන් බිම වෙනුවෙන් ඇති ආදරයෙනි. අද ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියකු ලෙස කීර්තියක් අත් කරගත් ඔහු අපිට සම්පතක් වන්නේ ය. ඔහු කෙරේ ඇති ගෞරවය ආදරය වෙනුවෙන් මේ වචන ලියා තබන්නට හිතුවෙමි.
යාපනේ අහසට මම ආදරේ කරන තරමට යාපනේ මිනිසුන්ද මට ආදරේ කරන බව මට තේරෙන්නේ ඔවුන් සති දෙක තුනකට වරක් මට කතාකරන විටය. මට වෙලාවක් නොවුනද ඔවුන් මට කතාකරන්නට වෙලාවක් හොයාගනී. ඒ කතාකොට දුක සැප විමසා මට බොහෝ දේ කියා දෙයි. මගේ හීනවලට තවත් පාට පුදයි. හැමදාම දුරකථනය නිහඬ වන්නේ ‘’ ඕකේ අම්මා කවනමාග ඉරුන්ගල් ‘’ හෙවත් ‘’හරි අම්මා පරිස්සමින් ඉන්න ‘’ යන ගෞරවාදර පාඨය කීප වරක් කීමෙන් පසුවය.
මේ තරම් දයාබර මිනිසුන් අපි වටා ඉද්දී ඔවුන් අපිට මග හැරෙන්නට ඉඩ නොදී හදවතේ කොටසක් ලියා දිය යුතුමය. ඒ මගේ ආදරයයි. එලෙසම දෙමළ මිනිසාට ආදරය පුදන කාගේත් යුතුකමයි.
මම
යාපනේ පෙම්වතිය
– සඳරැසී සුදුසිංහ
මාතර ඉඳන්
sandaraseepriyathma@gmail.com

Leave A Reply

Your email address will not be published.

sixteen − 5 =