ඈ ගැන මේ වගත් කීමට නොවෙමි මැළී – හිස මත කිරුළ නොදැරුව රැජිණියයි නිළී

රඟපෑමකට හදවත ගිය බැවින් සැලී
මේ කවි ලියන්නේ අතිශය පෙමින් වෙළී
ඈ ගැන මේ වගත් කීමට නොවෙමි මැළී
හිස මත කිරුළ නොදැරුව රැජිණියයි නිළී
ජයගන්නට සිතා පැමිණිය විට තිරය
සිරි ගුණසිංහයන් දුන්නේ එම වරය
හදුනාගෙන එයින් සිනමාවේ හරය
ආවේ පීනලා ඇය සත්සමුදුරය
යාපා හදපු හන්තානේ කතාව
ස්වර්ණා එහි රඟපු මනරම් ලතාව
රැඟුවේ විජය එහි ඇගෙ පෙම්වතාව
විජයත් එයයි අප දුටු මුල් වතාව
තුංමං හන්දියේ සුළු චරිතයක් වුව
ඇය පෙන්නුවා ඒකත් සුළු නොවන බව
චරිතය කි⁣යන්නේ ලොකු පොඩි එකම නොව
ඒකට ඕන රඟපෑමට තිබෙන ඉව
ආනන්දයේ කොලු සිසු බල මුළුල්ල
ගැහුවේ පොඩිකමට සිනමා කැරැල්ල
එක්විය ඇයත් සමගින් උන් සියල්ල
පිම්මකි උන්ගෙ තරමට නිම් වළල්ල
ධර්මේ ඔබේසේකර අදියුරු පවුර
සමගින් පතී පොබ කළ අපෙ වම් ඉවුර
ස්වර්ණගෙ ප්‍රභාවෙන් එය තව විය තිවුර
වම් ඉවුරට ඇයත් දුන්නා සිය දෙවුර
ගසනා විට කැරලි සිනමා මගෙහි පතී
හිටියා ඇයත් එහි මුල් පෙළ මතක ඇතී
නැගලා අහස් ගව්වට කළ කෙරුම් ගතී
නැතුවට පතී එය නම් අමතකව නැතී
රංඟන ජීවීතේ ඇයගෙත් කඩයිමය
නම රත්මලී එය චරිතෙට දුන් නමය
අවසන වියරුවක් වූයෙම කළ පෙමය
අමතක නොකළ හැකි සළරුව දඩයමය
හමුවන අනෙක් චරිතය වම් ඉවුර තුළ
අවුරුදු විසිඅටෙන් ඇරඹුණු ගමනෙ මුල
තිරයේ වගෙම දිවියේ හැඩ වෙනස් කළ
ස්වර්ණා ධර්මසිරි හමුවුණු හංසවිල
නැවතත් ධර්මෙ සිනමා තිරයට එද්දී
ආවේ එක්කරන් සයිමන් මැවු සුද්දී
ස්වර්ණම ඒකෙදිත් ඒ සුද්දිම වෙද්දී
සැලුණේ නැතොත් පුදුමයි හිත නරඹද්දී
ඉන්පසු ධර්මසිරි කෙරුවේ බව දුකය
බව කර්ම යැයි ආවේ ඒකෙම දෙකය
මේවයි ස්වර්ණ කළ වැඩ ගැන නැත සැකය
නෝනාහාමි මිස ස්වර්ණා අමතකය
හදනා කාලෙ අංජානා යසේට
හිත ගියෙ ස්වර්ණගේ කෙළිලොල් විසේට
ඉන්ද කාර යාර වන්ද රසේට
ගැහුවේ විසිල් රසිකයො විඳි තොසේට
සියුමැලි තාරකාවක් ලෙස නොම පායා
සවි ශක්තිමත් ගැහැනිය ලෙස රැඟු ඡායා
අභියෝගයට අභියෝගම කළ සේයා
චරිතෙකි ඉන් වෙනස් සළරුව තුළ මායා
චරිතය යහළු යෙහෙළිගෙ කළ’යුරු සේම
දැනෙනව කැලෑ මල්වල සුවදද බෝම
අප්පුඩි ගහපු අය හට මතකද තාම
ඇය කළ මදාරා පරසතු රඟපෑම
ඇල්ලූ අයුරු කදිමයි චරිතයෙ නිලය
හිමිවිය කැපකිරීමට උපරිම ඵලය
පෙන්වු තැනකි ඇයගේ රංඟන බලය
සිනමා තිරය තෙත් කළ සාගර ජලය
රඟපෑමක්ය හොද හැටි අදටත් මතක
රැඳිලා එදා සිට නැරඹූ හැම නෙතක
පුදුමයි ගැහැනියක සතු ශක්තිය හිතක
සිහිවන විටදි රැඳි ඡායා කැඩපතක
සෑහෙන දෙනෙක් සමගින් කළ වැඩ දැක්ක
එනමුත් වැඩක් නොකෙරුණෙ ලෙස්ටර් එක්ක
ඒකට හේතු නොදනිමි ඇත්තට මක්ක
මැණිකකි එයත් හැදුණා නම් නොව සක්ක
නරඹපු පළමු දවසෙහි ගෙදරින් පොරකා
හිතුනෙම ලින්ට ගැන මොන පරයද අරකා
දමමින් ලුණු ඇඹුල් නිසි පදමට ගොරකා
ස්වර්ණට නතිං චරිතය නම් මීහරකා
කොච්චර කන්ට්‍රවශල් වුණමුත් බෙල්ල
දෙන්නට මැළි වුණේ නෑ චරිතෙට කෙල්ල
දක්වා ඇය කෙරේ ඇති සිය සැලකිල්ල
ගත්තේ අයෝමා ලෙස ඇය නිරිඇල්ල
එනවිට පළමු පියවර තබමින් සගය
හඳයගෙ ඡන්ද කින්නරියට දුන් අගය
මේ වැනි රංඟ ශිල්පිණියන් නම් හිඟය
අවසන් වරට දුටුවේ ඇගෙ ඇස අගය
නැරඹූ රෑ අනන්තය ගුණයෙන් බෝසේ
ඒකට දෙස් විදෙස් පැසසුම් ලැබුණාසේ
ඇය ගැන ඇගෙ හඬින් පුරසාරම් නෑසේ
ඒකම තමයි ඇය ගැන ඇති සංතෝසේ
ලිස්ට් එක දිගයි සිනමා වතගොත පිරුණූ
ඇය කළ චරිත තව ඇත මට මගහැරුණූ
එය අඩුපාඩුවක් නොම වන්නට දරුණූ
ලියමුද කමෙන්ටුවකින් ඒ ගැන කරුණු
නැතුවට ෆිල්ම් ඔක්කොම බැලුවද නිච්චී
නොගියා නොවෙයි සමහරකට හිත පිච්චී
ඇක්ටිං මිසක් ඇගෙ නැත බොරු බෝරිච්චී
කළ වැඩ ටිකත් ඇති මල්ලවආරච්චි

– ප්‍රියන්ත කොඩිප්පිලි (fb)

(ඡායාරූපය – Prem Dissanayake නිර්මාණය කළ “ස්වර්ණාය.සිනමාවේ ගැහැනිය” කෘතියේ මුල් කවරයෙන්)
Leave A Reply

Your email address will not be published.

4 × 1 =