“සුනිල් පෙරේරලා ගොඩාක් ඇත. කේමදාසලා ඇත්තේ එක් අයෙකි”

සුනිල් පෙරේරලා ගොඩාක් ඇත. කේමදාසලා ඇත්තේ එක් අයෙකි. ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ අභාවය ගැන මට ඇත්තේ අසල්වැසියා මිය යාම ගැන කම්පනයකි. කේමදාස මිය යාම ගැන මට ඇත්තේ හදවතට අගුලු වැටුණා වගේ මගේ ම හදගැස්මේ සෞන්දර්ය උත්පාදකයා මිය යාම ගැන සදාකාලික සාංකාවකි. මේ දෙන්නාම බටහිර සංගීතයේ ධාරාවන් දෙකක් ලංකාවට ගෙනා දෙන්නෙකි.
සුනිල් පෙරේරා කරේ වොලී බැස්ටියන්ලා ‘‘අයිරින් රොසලින් ජොසපින් ඇන්ජලින් – අතරින් පතරින් නටයිද කැතරින්‘‘ වගේ සාජ්ජ වලදි නටන්න උවමනා ශද්ධාලංකාර සහිත වේග රිද්මයත් එක්ක ඈදෙන බයිලා යන සරල ගායන විශේෂයක් සිය සාජ්ජ ෆෝරම් තත්වයෙන් ගලවා පොදුජන සාජ්ජයක් බවට පත් කිරීමය. කේමදාස කරේ සංගීතයට ආත්මය ඒකාබද්ධ කිරීමය. ඔහු බටහිර සම්භාව්‍ය සංගීතය ස්වදේශීයකරණය කරා මිස ඒවා කොපි කරලා ගෙඩිය පිටින් මෙහෙට අතෑරලා දැමුවේ නැත.

ගායක-ගායිකාවන් දන්නා තරමට සංගීත නිර්මාපකයින් ගැන දන්නා තරම මුලු ලෝකයේම ඉතා අල්පය. ගායකයකු, වාදකයෙකු හැටියට නොව සංගීත නිර්මාපකයකු හැටියට ලංකාවේ හැමෝ ම දන්නා එකම මිනිසා කේමදාස ය. නමුත් ‘‘සුනිල් පෙරේරලා‘‘ අලුතෙන් හදාපු ගීත සංස්කෘතිය නිසා ඒ සමග රොද බැද ගත් ජනයාගෙන් සමන්විත අධිපතිවාදය නිසා සුනිල් පෙරේරලා පැටව් ගසන තරමට කේමදාසගෙන් පසු අලුත් කේමදාස කෙනෙකු බිහි වීම අපට අහිමි වි ඇත.
– සුජිත් රත්නායක (fb)

Leave A Reply

Your email address will not be published.

ten − 5 =