සුනිල් පෙරේරා ගැන හදිසි සටහනක්…

ශ්‍රී ලාංකේය ගීත කලාවේ තවත් විශාල පදාසයක් සුනිල් පෙරේරා සමඟ අවසන් ගමන් යන මොහොතේ මේ ඒ කම්පනය වෙනුවෙන් ලියැවුණු ඉක්මන් සටහනක් විතරයි. මෙය සුනිල් පෙරේරා කියපු ගමන් නිකම් මතකයට එන ‘හයිලයිට්ස්’ ටිකක් !

සුනිල්ගේ ගීත කලාව බොහෝ ගායක  ගායිකාවන්ට යන්න බැරි දිසාවන් ගණනාවක් කරා යනවා.

ඔහු ‘ලුණුදෙහි’, ‘ඔජායේ’ කියමින් බයිලා හෝ පාටි ගීතවල හොඳම එකට යන කොට අනික් පැත්තෙන් ‘ඔබ දුටු ඒ මුල් දිනේ’ කියමින් ආදර ගීතවල ද ඒ හා සමාන සුමට පෙම්වතාගේ හඬින් එහි සාර්ථකම අන්තයකට යනවා. සුනිල්ට ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම එයාකාරයෙන්  ඉතාම මිහිරියට ගී ගයන්නට පුළුවන් වූ අතර, එහෙම අපට සිටින්නේ ගායක ගායිකාවන් ස්වල්පයක් විතරයි.

සුනිල් පෞද්ගලිකවත් අතිශය විවෘත මිනිහෙක් වුණු අතර, ඔහුගේ ගීතවල ඇති ඒ අව්‍යාජ විවෘතභාවයම ඔහු අදහස් ඉදිරිපත් කරන කොටත් තිබුණා. කුහකත්වයට, බොරු සෝබනයට, ව්‍යාජ බවට සුනිල් එළිපිට පහර දුන්නා.

‘ජිප්සීස්’ ගායන කණ්ඩායම ශ්‍රී ලංකාවේ මෙතෙක් නොනැසී දීර්ඝතම කාලයක් ක්‍රියාත්මක වූ සංගීත කණ්ඩායම නෙමේ නම්, ඒ කීපයෙන් එකක්. විශේෂයෙන් පසුව ආ ‘මේරියන්ස්’ සහ ‘සන්ෆ්ලවර්ස්’ වැනි ගායක කණ්ඩායම්වලට විශාල පසුබිමක් හැදුවේ, සමහර අවස්ථාවල ආධාර උපකාර පවා කළේ සහ ආභාසය ලබා දුන්නේ සුනිල් ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායමයි. ජිප්සීස්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ විවිධාකාර අහුමුළුවල බිහි වුණු බොහෝ ගීත කණ්ඩායම්වල පරමාදර්ශය වුණේ ජිප්සීස්. ශ්‍රී ලංකාවේ ‘නොන්ස්ටොප්’ ගීත කලාවේ ද සුනිල් පෙරේරා පුරෝගාමියෙක්. දැනට වාර්තා වන ආකාරයට  සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් විසින් ‘ජොලිය’ නමින් 1981දී කළ නොන්ස්ටොප් කැසට් පටයට පෙර සිංහල නොන්ස්ටොප් කැසට් පටයක් නිකුත් කරලා තිබුණේ නැහැ. සිංහල  සංගීත සංදර්ශන වේදිකාවට ‘කුරුමිට්ටෝ’, ‘අඹු-සැමියෝ’, ‘විවාද’, ‘ලුණුදෙහි’ ආදී විවිධාකාර ප්‍රාසාංගික චරිත ගීතවලම අංගයක් ලෙස හඳුන්වා දුන්නෙත් ජිප්සීස්ලායි. කොටින්ම සුනිල්ගෙන් පසුව ආ අතිබහුතරයක් තරුණ පොප් ගායක, ගායිකාවන් සුනිල්ගෙන් මොනවා හෝ ආලෝකයක් ලැබුණ අයයි  කීම අතිශයෝක්තියක් නෙවෙයි. ඒ  බොහෝ අයගේ නිර්මාණ තුළ මොනවා හෝ සුනිල්ගේ ගීත කලාවෙන් ලැබූ යමක් තිබුණා. මොකුත් නැත්නම් ඇඳුම් පැළඳුම් හෝ ඉදිරිපත් කිරීමේ රටාවෙන්වත්.

සුනිල්ට ගීත නිර්මාණයේ දී තාක්ෂණික සහ කාර්මික පැත්ත පිළිබඳ ඉතාම හොඳ අවබෝධයක් තිබුණු අතර ‘්‍යස-සෙ ිැඑමච‘ වලට හරි යන විදිහට ඉහළ ගුණාත්මක බවකින් කටහඬ සහ සංගීතය නිර්මාණය කරන්නට ඔහුට හොඳ අවබෝධයක් තිබුණා (ඊට අමතරව ක්ලැරන්ස්ටත්  ඒ අවබෝධය තිබුණා).

සුනිල් ශ්‍රී ලංකාවේ ඉහළම පන්තියේ මෙන්ම පහළම පන්තියේත්  රසිකයන්ගේ ප්‍රියතම ගායකයෙක් වුණ අතර, ඒ පන්ති දෙකටම අමතන්නට ඔහුට එක හා සමාන හැකියාව තිබුණා. ඒ නිසා ඒ පන්ති  දෙකටම  ඔහුට සංස්කෘතික බලපෑමක් කරන්න පුළුවන් වුණා. ඒ සෑම කෙනෙක්ම කොහේ හරි විනෝද වුණොත් සුනිල්ගේ හඬ ඔවුන් සමඟ තිබුණා.

විශේෂයෙන් සිංහලෙන් පමණක් ගීත නිර්මාණය කරන සහ රසවිඳින ලෝකයට බටහිර ප්‍රාසාංගික වේදිකා සංගීතය සහ පොප් සංගීතය වඩාත් සමීපව ඇසුරු කර ඒ ඇසුරින් කරපු නිර්මාණ හරහා විශාලම ආභාසය ලබා දෙන්නේ ජිප්සීස් විසින්. සමස්තයක් ලෙස සියලු සිංහල සංගීත සම්ප්‍රදායයන්වලට එය අඩු වැඩි වශයෙන් බලපාපු බවට කිසිම සැකයක් නැහැ.

නටන්න බැරි, ලජ්ජා, කුලෑටි ඕනෑම කෙනකුට සුනිල්ගේ ගීතයකට එක ක්ෂණයෙන් නටවලා ගන්න පුළුවන් වුණා. සුනිල් දැනගෙන හිටියා, බොරු සෝබන පැත්තකින් දාලා ඇතුළෙන් නටන්න ආසා තියෙන මිනිහව නටන්න ඇදලා ගන්න හැටි.  ඔහුගේ බොහෝ ගීතවලට වස්තු විෂය වුණෙත්, මැද පාන්තික ජීවිතවලම තියෙන විකාර සහ හරසුන්භාවයනුයි. හස්බන්ඩ්ගෙ සහ වයිෆ්ගෙ හරසුන් ක්‍රියාකාරකම් ආදියයි. ඒවාටම හිනා වෙවී ඔවුන්ව නටවන්නට සුනිල්ට පුළුවන් වුණා.

සුනිල් පෞද්ගලිකවත් අතිශය විවෘත මිනිහෙක් වුණු අතර, ඔහුගේ ගීතවල ඇති ඒ අව්‍යාජ විවෘතභාවයම ඔහු අදහස් ඉදිරිපත් කරන කොටත් තිබුණා. කුහකත්වයට, බොරු සෝබනයට, ව්‍යාජ බවට සුනිල් එළිපිට පහර දුන්නා.

ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකව වඩාත්ම සාර්ථක වූ ගායකයෙක් වුණත්, වෙනත් විදිහකට ආර්ථිකව සුරක්ෂිත වුණු සුනිල් ගී කියන්න එන්නේ විනෝදයට. කොහොමටත් සුනිල් ආවේ මුහුදුකරයේ විනෝදයට ගී කියන ක්‍රිස්තියානි සංස්කෘතික ගීත ධාරාවකින්.

එහෙත් සුනිල්ලාගේ ගීත කලාව හුදු සරල නැටුම්, ගැයුම් සඳහා ඇති ගීත කලාවට වඩා එහා ගිය ගැඹුරු මානසික අභ්‍යාසයක් ඇති කළ ගීත කලාවක් වන ආකාරය තවමත් හරියට සාකච්ඡා වෙලා නැති  වැදගත් කාරණයක්.

සුනිල්ගේ මරණයට සෑම තරාතිරමකම ජනතාවගේ ප්‍රතිචාරවලින් අපට පෙනී යන්නේ අමරදේවට පසු මෑත කාලයේ ජනතාව වඩාම කම්පනයට පත් වූ සංගීතකරුවාගේ මරණය සුනිල්ගේ මරණය බවයි. එයින් කියැවෙන්නේ ඔහුගේ සංගීත කලාව කවර නමකින් හැඳින්වුවත්, එය අතිවිශාල ජනතාවකගේ රසිකත්වයට සහ  හැඟුම් ඇති කිරීමට බලපා ඇති බවයි.

සුනිල්ගේ ගීත කලාව ශ්‍රී ලාංකික ගීත කලාවටත්, සංස්කෘතියටත් කරපු බලපෑම අතිවිශාලයි. සුනිල් යනු හුදු ගායකයකුට වඩා සංස්කෘතික අයිකොනයක්.

සුනිල් ඔබට ස්තුතියි,
සුව නින්දක් !
ධනංජය කරුණාරත්න

 

 

Leave A Reply

Your email address will not be published.

8 − 3 =