ඩලසාදර්ශය සහ ඔලිම්පික් ගිය නිමාලි ගෙන් ක්‍රීඩා ඇමති සමාව නොගැනීම

ඩලස්ගෙන් ඉගෙනගන්න
මහාචාර්ය නීලිකා මලවිගේගෙන් සමාව ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දුන් ආදර්ශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාරිණී නීලිකා මලවිගේ මෙරට පැතිරී ඇති කොරෝනා වසංගත පාලනය හා අදාළ වෘත්තීමය උපදෙස් සේවා සමග සෘජුව එක්වී සිටි චරිතයකි. මෑත දිනෙක ගේට්වේ පාසල් සමූහයේ මෙහෙයවීමෙන් පවැත්වූ මාර්ගගත සම්මන්ත්‍රණයක දී එහි විශේෂ ආරාධිකාව ලෙස වසංගතය, ප්‍රතිශක්ති එන්නත්කරණය, හා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අදහස් පළ කළාය. එහි දී ඈ විසින් කිසිම අවස්ථාවක වහාම පාසල් විවෘත කළ යුතුය යන අදහසක් පළ කොට නොසිටියාය. එහෙත් මෙරට බොහෝ මාධ්‍ය ඇගේ දේශනය මුළුමනින්ම විකෘත කොට පාසල් නැවත විවෘත කළ යුතුය යන අදහසක් ඈ පළ කළ බවට වාර්තා කොට තිබිණ.( මව්බිම පුවත්පත එවැන්නක් වාර්තා නොකළ බව ඉරිදා මව්බිම ලිපියක සඳහන් කරයි ) තමන් පළ නොකළ අදහසක්, විශ්වාස නොකරන යෝජනාවක් කළ බව ජන මාධ්‍ය මගින් ප්‍රචාරය වූ කල්හි අදාළ දේශකයා පත්වන අපහසුතාව පිළිබඳ ලිවීම අනවශ්‍යය. මහාචාර්යවරියගේ මුහුණුපොත සටහන් ඊට සාක්ෂි දරයි.

“ලංකාවේ මාධ්‍ය මා වැරදි ලෙස උපුටා දක්වමින් මා කිසි දිනෙක නොකියූ දේ සඳහන් කරමින් ම’විසින් කරන ලද විනාඩි 30-40 ක වෙබ්නාර් එකකින් එක් වාක්‍යයයක් ඉදිරිපත් කරයි. එවිට සියල්ල සන්දර්භයෙන් බැහැර වේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මෙසේ කිරීම ගැන මම නිහඬව සිටියෙමි. දැන් මම වෙහෙසට පත්ව සිටිමි. මෙය නැවැත්විය යුතුය. ඔවුන් මෙසේ කරන්නේ ඇයි? මෙයට අවසානයක් නැද්ද.වැරදි දේ උපුටා දැක්වීමෙන් හා ඊටත් වඩා මා නොකියූ දේ පළ කිරීමෙන් ඔවුන් සිදුකරන හානිය ඔවුන්ට වැටහෙන්නේ නැද්ද? ඔවුන් නොදන්නේ ද? යථෝක්ත (Zoom) තාක්ෂණයෙන් මා සිදු කළ දේශනයේ දී අපි දැන් පාසල් විවෘත කළ යුතු යයි මා කීවේ නැත. අපට අගුළු දමා ඇති අතර මරණ අඩුවීමට පටන්ගෙන ඇත. වාර්තා කර තිබෙන්නේ ඇත්ත වශයෙන්ම මා පැවසූ දෙය නොවේ. මා එවැන්නක් පැවසුවාද යන්න හරිහැටි පරීක්ෂා නොකර මාධ්‍යවල පළ වූ වාර්තා ගැන අදහස් දක්වන සියල්ලෝ මට නින්දා කරති. මට ඔබට කියන්නට දෙයක් නැත. ”

මහාචාර්යතුමියගේ චිත්ත පීඩාව, මානසික තැවුල කෙබඳුදැයි යන්න ඈ විසින් ලියා ඇති කෙටි සටහනින් අපට දැනේ. මෙබඳුම අවස්ථාවකට මුහුණ දුන් ඔලිම්පික් ගිය ක්‍රීඩිකාවකගේ ප්‍රකාශයක් ද මට මතක් වේ. මීටර් 800 කාන්තා දුර දිවීමට සහභාගී වූ නිමාලි ලියනාරච්චි ඔලිම්පික් ගොස් තිබුණේ දිවීමට අවශ්‍ය පාවහන් පවා නොමැතිව යැයි පාර්ලිමේතුවේ දී ප්‍රකාශ කරන ලද්දේ මෙරට ක්‍රීඩා ඇමතිවරයා විසිනි. ඒ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එනිසා ඇය මහජන අප්‍රසාදයට, විරෝධයට ලක් වූ බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, ඈ නිවැරිදිකාරියක් බව කීමට ඇමතිවරයා හෝ අමාත්‍යාංශය ඉදිරිපත් වූයේ නැත. එහෙත් ‘ දුක් සැප කුමන්දා – අසන නිරිඳෝ වෙන කොයින්දා ‘ යන අප ළමා කාලයේ කියවා ඇති කවිය සිහියට නංවමින් මහාචාර්ය මලිවිගේ ගේ චිත්ත පීඩාව, තැවුල සමනය කිරීමට ජන මාධ්‍යය විෂය භාර ඇමතිවරයා ඉදිරිපත්වීම අදහාගත නොහැක්කක් සේ එක්වර පෙනී ගිය ද ඩලස් අලහප්පෙරුම යනු කවුරුන්දැයි දන්නා කවරෙකුට හෝ එය විස්මය දනවන පුවතක් නොවනු ඇත. මන්ද යත් ඔහු තම ජීවිතය තුළ ජනමාධ්‍ය කරුවකු ලෙස ලද අත්දැකීම, ප්‍රායෝගික දැනුම සහිත චරිතයක් නිසාය. ඔහු මහාචාර්යතුමියගේ ප්‍රකාශය අසා, ඉතා නිරහංකාරව ඇගෙන් සමාව ඉල්ලූ බව ඔහුගේ මුහුණු පොත පෝස්ටුවකින් හෙළිදර්වු කොට තිබිණ.

“මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය රට වසංගත තත්වයෙන් ගිලන්ව ඔත්පළව සිටින මොහොතක සිය සහෝදර පුරවැසියන් එයින් මුදා ගැනීම සඳහා ඇයගේ දැනුම හඬ පෞරුෂය කැප කරන සමාජ නායිකාවක්.

ජාත්‍යන්තර පාසලක් මගින් සංවිධානය කළ වෙබ් සම්මන්ත්‍රණයක දී ඇය විසින් සිදුකළ ඉතා ආන්දෝලනයට තුඩුදුන් මුළු කතාවම මා පෞද්ගලිකව ශ්‍රවණය කළා. එම නිසා ඇය විසින් කරන ලද ප්‍රකාශය විකෘති කොට පළ කිරීමෙන් ඇයට සිදු වූ හානිය මෙන්ම සිත්වේදනාව දා මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කරගැනීමට අප සියලු දෙනාම සංවේදී විය යුතුයි.
එම නිසා මා සියලුම මාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් ඇයට පෞද්ගලිකව ආමන්ත්‍රණය කර ඇයගෙන් සමාව ඉල්ලුවා. එම නිසා මේ අත්වැරැද්ද වගකීම් සහිත ජනමාධ්‍ය කලාවන් වෙනුවෙන් හොඳ ආරම්භයක් බවට පරිවර්තනය කර ගන්නා ලෙස මා මගේ සියලු සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයංගමව ඉල්ලා සිටිනවා ”

මගේ සහෝදර වෘත්තීය සගයන් යැයි ඇමතීමට හැකි ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් අපට සිටීම මාධ්‍යවේදීන්ගේ වාසනාවකැයි සිතමි. ඩලස් අලහප්පෙරුම නම් අමාත්‍යවරයා නොව අප හොඳින් දන්නා අඳුනන මාධ්‍යවේදියාගේ ආදර්ශය අනුව අපගේ ජනමාධ්‍ය ආයතන ද, රජයේ අනෙක් අමාත්‍යවරුන් ද තම ආකල්ප වෙනස් කරගන්නේ නම් යහපත් ජන සමාජයක්, ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහින දකින සැමගේ අමන්දානන්දයට හේතුවනු නොඅනුමානය.
අවසාන වසහයෙන් මෙසේ කියමි.
” ඩලස්ගෙන් ඉගෙනගන්න ”
– බුද්ධදාස ගලප්පත්ති

Leave A Reply

Your email address will not be published.

11 + thirteen =