විපක්‍ෂයේ පලා යාම සහ පාස්කු ප්‍රහාරයේ වාර්තාව

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කර මාස හයක් ගත වී ඇත. ඒ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ද එළිදක්වා ඇත. එය ඉදිරිපත් වන්නට දවසකට පෙර රවුෆ් හකීම් පිළිබඳ වීඩියෝවක් ද පිටවිණි. ඒත් එක්ක ම රාජපක්‍ෂ කඳවුරෙන් වාර්තාව පිළිගත නොහැකි බව ද ප්‍රකාශ කෙරිණි. එහෙම බැලුවා ම මේ සිදුවීම් පෙළේ පැහැදිලි අන්තර් සම්බන්ධයක් ඇත. සැලැසුම්සහගතව සියල්ල සිදු කර ඇති බව පැහැදිලි ය. පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළේ සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම ය. සහරාන් පිළිබඳව මුලින් ම ආරක්‍ෂක අංශ දැනුම්වත් කළේ මුස්ලිම් ජනතාව ය. එදා කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව සහරාන්ට විරුද්ධව උද්ඝෝෂණය කළේ ය. ඔහු වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කළේ ය. සහරාන් ඇතුළු කණ්ඩායම ඔය තරම් ම දරුණු ප්‍රහාරයක් එල්ල කරන බව දැන නොසිටියත්, ඔවුන් අන්තවාදය පතුරුවන බව ඔය හැමෝ ම දැනසිටියහ. විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයෝ දැනසිටියහ. රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීහු දැනසිටියහ. ඒ වකවානුව තුළ ඔවුන් සකසා ඇති වාර්තාවලින් එය පැහැදිලි ය. දේශපාලන නායකයෝ ඒ බව ප්‍රසිද්ධියේ පිළිගත්හ. තමන්ට ලැබෙන මුස්ලිම් ඡන්ද ප්‍රමාණය අඩු වේවි යන භය නිසා ම ඔවුහු එය සැඟවූහ. අනෙක් පැත්තට ඔය මුස්ලිම් දේශපාලකයන් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අවංකව පෙනී සිටියේ ද නැත. හකීම්ලා, රිෂාඞ්ලා හැමෝ ම කළේ තම තමන්ගේ බලය පාවිච්චි කරමින්, ව්‍යාපාර පවත්වාගෙන යාම ය. හකීම් හා රිෂාඞ් අතර ද තරගයක් පැවැතිණි. ඒ නිසා ම දෙන්නා වෙන වෙන ම ද මුස්ලිම් අය දිනාගැනීම සඳහා මෙහෙයුමක නිරත වූහ.


රාජ්‍ය බුද්ධි අංශ කොතරම් තොරතුරු ලබාගෙන ඉහළට වාර්තා කළ ද, ඒවායින් පලක් වූයේ නැත. ඒ ඔවුන්ගේ වරදක් නිසා නොවේ ය. ලබා දුන් තොරතුරු මත තීන්දු තීරණ නොගැනීමේ වැරැද්ද ය. ඒ වගකීම ඇත්තේ, ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ට සහ දේශපාලන නායකත්වයට ය. ආරක්‍ෂක අමාත්‍යවරයා ජනාධිපතිවරයා ය. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා රුවන් විජේවර්ධන ය. අගමැතිවරයා යනු ආරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධානතම සාමාජිකයෙකි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ හමුදාපතිවරුන් සියලු දෙනා ම ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් ය. ඒ නිසා මේ කිසිවකුට මෙහි වගකීමෙන් ගැලවිය නොහැකි ය. ඔවුන් හැම දෙනා ම සිදු වූ සිද්ධියට වගකිව යුතු ය. පොදුවේ ගතහොත්, ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව ම වගකිව යුතු ය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැත. අවසාන වශයෙන් ගතහොත්, ජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීමේ මූලික වගකීම ඇත්තේ, ආණ්ඩුවට ය. ආණ්ඩුව එය මඟහැරීම පිළිබඳ වාක්‍යයක් වාර්තාවේ සඳහන් නොවේ. එය විවිධ පුද්ගලයන් කිහිප දෙනකුට පමණක් පවරා ඇත. නිවැරැදිව ම වාර්තාවක් නම්, හරි පැහැදිලිව එක් ප්‍රධාන වාක්‍යයකින් “මෙම බරපතළ ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව පවත්නා ආණ්ඩුව ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ය.” වැන්නක් සඳහන් නොකිරීම වාර්තාවේ පවතින බරපතළ අඩුපාඩුවකි.


එය එසේ වුව ද, එතරම් ප්‍රමාණයකින් හෝ වගකිව යුත්තන්ට වගකීම් පැවරීම කිසිවක් ම නොවී තිබෙනවාට වඩා හොඳ ය. එය එසේ වූයේ, කැබිනට්ටුවේ සංයුතිය නිසා ය. විපක්‍ෂය නියෝජනය කරමින්, එහි සිටියේ එක් මන්ත්‍රීවරයකු පමණ ය. ඒ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා ය. සුමන්දිරන් සිටිය ද, ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි ය. මුලින් ම මෙම කමිටුවට රාජපක්‍ෂ කණ්ඩායමෙන් ද නියෝජිතයන් පත් කර තිබිණි. ඔවුන් ද මෙයට සහභාගී වූයේ නම්, වාර්තාවට ඉහත කී වාක්‍යය ඇතුළු කර ගන්නට තිබිණි. ඔවුන් ඉන් මඟහැරීම බරපතළ වරදකි. ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඒ යුතුකම හා වගකීම ඔවුන් ඉටු කළ යුතු විය. එහෙත්, ඔවුන් කළේ කට්ටිවාදී ලෙස ප්‍රශ්නයෙන් පලා යාම ය. දැන් වාර්තාව ගැන එක එක අභූත කතා කීමෙන් ප්‍රයෝජනයක් නැත. කළ යුතුව තිබුණේ. කමිටුවට සම්බන්ධ වෙලා සිදු වී ඇති දේ නිවැරැදිව විමර්ශනය කිරීම ය. වගකිව යුතු විපක්‍ෂයක් නම්, ඔවුන්ගේ භාවිතාව විය යුත්තේ, එයයි. ඔවුන් එදා මේ කමිටුවට යන්න බැහැ කිව්වේ, හකීම් එහි සාමාජිකයකු වූ නිසා නොවේ ය. රිෂාඞ්ට එරෙහිව වූ චෝදනා කමිටුවෙන් පරීක්‍ෂා කරන්නේ යැයි කියපු එකට විරුද්ධව ය. එලෙස ප්‍රකාශ කළේ අගමැතිවරයා ය. ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ය. එකී ප්‍රකාශ කිසිසේත් ම කමිටුවේ නිල ප්‍රකාශයන් නොවන්නේ ය. එවැනි උත්සාහයක් තිබුණේ නම්, එය පරාද කළ හැක්කේ ද කමිටුවට සහභාගී වීමෙන් ය. අවසානයේ ගත් විට රිෂාඞ්ට එරෙහි විශ්වාස භංග යෝජනාව නිකම් ම මඟහැරුණේ ය. ඒ ඔහු ඉල්ලා අස්වීම හේතුවෙන් ය. ඊට පසුව හෝ රාජපක්‍ෂලාට කමිටුවට සහභාගී විය හැකිව තිබිණි. එහෙත්, ඔවුහු එසේ නොකළහ.


ඇත්තට ම තේරීම් කාරක සභා ක්‍රියාවලියෙන් රටේ ජනතාවට බොහෝ කරුණු දැනගත හැකි විය. කවුරු කවුරුත් පැහැර හැරියේ ය යන්න මුළු රටට ම හෙළිදරව් විය. ඥානයක් ඇති ඕනෑ ම එය තේරුම් යන්නේ ය. මෙවැන්නක් නොවුණේ නම්, අදටත් රටේ ජනතාව සිද්ධ වෙච්ච බොහෝ දේවල් දන්නේ නැත. කවුරු මොන මොන කතා කීවත්, තේරීම් කාරක සභාවේ කාර්යභාරය වටිනා එකක් ය. ජනතාව ඉදිරියේ උත්තර දී ගත නොහැකිව වගකීම් විරහිතව වැඩ කළ නිසා රාජපක්‍ෂ කණ්ඩායම අද හකීම්ව අල්ලාගෙන දඟලන්නේ ය. හකීම් කමිටුවේ සාමාජිකයකු වී යටපත් කරන්න උත්සාහ දැරුවේ කුමක් ද? ඔහු විසින් වැළැක්වූයේ කුමක් ද? එහෙ ම කිසිවක් කියා ගන්නට නැත. සියල්ල විමර්ශනය වූයේ මාධ්‍ය ඉදිරිපිට දී ය. එනම්, පොදු ජනතාව ඉදිරියේ ය. ඒ නිසා රාජපක්‍ෂලා කියන ඒ කතාව කිසිදු පදනමක් නැති විහිළුකාරී එකක් පමණක් ය.


අද රට ඉස්සරහා ලැජ්ජා විය යුත්තේ, ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව මැදිහත් නොවීම නිසා ය. විපක්‍ෂයක් විදියට ඒ වගකීම පැහැර හැරීම පිළිබඳව ය. ඒ සැබෑ වගකීමෙන් මිදිලා, අද ඔවුන් කරන්නේ සුපුරුදු පරිදි ජාතිවාදය නැවත ඇවිස්සීම ය. හිස්බුල්ලා, සහරාන් එක්ක එකට කටයුතු කරපු බව මුළුමනින් ම වසා දමන්නේ ය. ඩලස් අලහප්පෙරුම හිස්බුල්ලලාට ඕනෑ විදියට පදනම් හදාගෙන විශ්වවිද්‍යාල හදන්න උදව් කරපු එක වසං කරන්නේ ය. වර්ධරාජා පෙරුමාල් වැනි වෙන ම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ උග්‍රතම බෙදුම්වාදියා එකතු කර ගැනීම වසං කරන්නේ ය. වර්ධරාජා පෙරුමාල්ලා, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, හිස්බුල්ලලා සියලු දෙනා ම අද ඉන්නේ රාජපක්‍ෂ කඳවුරේ ය. ඒ සියල්ල කිසිදු හිරිකිතයකින් තොරව සිදු කරන මේ අය හකීම් ඉස්පිරිතාලෙකට ගොස් සහරාන්ගේ මල්ලිව හමු වුණු එක ලොකුවට කතා කරන්නේ ය. හකීම්ලා කරපු දේ වැරැදි ය. එහෙත්, එවැන්නක් කළ එක ම කෙනා ඔහු නොවේ ය. හිස්බුල්ලා ද එසේ ම ය. ඒ වාගේ ම සහරාන් එක්ක එකට වැඩ කර ඇත්තේ ද මඩකළපුවේ රාජපක්‍ෂලාගේ සංවිධායකවරයා ය. ඔහුත් සහරාන් එක්ක එකට හිටපු පින්තූර ඇත්තේ ය. මෙවැනි හමු වීම් පිළිබඳ පින්තූරවලින් සමස්තය ම තේරුම් ගන්න යාම වැරැද්දකි.


සොයාබැලිය යුත්තේ, කොහේ දී හරි මේ හමු වීම් පිළිබඳ නොවේ ය. ඔවුන් හා එක්ව යමක් සිදු කළා ද යන්න ය. එබැවින්, හකීම් සහරාන්ගේ මල්ලිව ප්‍රසිද්ධ තැනක දී හමු වුණා යන්න මත පාස්කු ප්‍රහාරය පිළිබඳ කෙරුණු පරීක්‍ෂණය සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂේප කිරීම පදනම් විරහිත ය. කිසිදු තර්කානුකූල පදනමක් නැති දෙයකි. එතැන හුදෙක් ම ඇත්තේ පටු දේශපාලනමය අවස්ථාවාදයකි.
රාජපක්‍ෂලා දිගින් දිගට ම කරගෙන ආවේ ජාතිවාදය ඇවිස්සීම ය. පාස්කු ප්‍රහාරය ඔවුන්ට තවත් හයියක් වුණේ ය. ඒ ප්‍රහාරයත් එක්ක ම ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීම වැඩි කළේ ය. වෙස්වළා ගත් ආශීර්වාදයක් කර ගත් පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ වැන්නෙක් ජනාධිපති අපේක්‍ෂකයා කිරීමට තරම් ම අවස්ථාවාදී විය. රාජපක්‍ෂ කඳවුරේ අපේක්‍ෂකයා කවුද යන්න මතගැටීමක් තිබිණි. පාස්කු ප්‍රහාරයෙන් මතගැටුම අවසන් විණි. ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියවුන්ට ස්වීප් එකක් ඇදුණේ ය. වෙන කාටවත් එයට එරෙහි වන්නට ඉඩක් නොවිණි. එදා සිට මේ දක්වා දිගින් දිගට ම ඔවුන් තොරොම්බල් කරන්නේ, මෙම ප්‍රහාරයයි. ජාතික ආරක්‍ෂාව යන්න ප්‍රධාන මාතෘකාව කරගෙන ඇත්තේ ද එහි උපරිම වාසිය ගැනීමට ය. මළ මිනී මතින් කෙසේ හෝ බලයට ඒම ඔවුනගේ පටු අරමුණ ය. එහෙත්, බුද්ධිමත් ජනතාව මෙය හොඳින් තේරුම් ගනිති. ඔවුන් කිසි දාක ජාතිවාදයට කැමැති වන්නේ නැත. පටු අවස්ථාවාදයට කැමැති වන්නේ ද නැත.


තර්කානුකූලව බලන විට පාස්කු ප්‍රහාරය මෙහෙයැවූයේ, කවුරුන් ද යන්නත් බරපතළ සැකයකට භාජනය වන්නකි. රාජපක්‍ෂලා දිගින් දිගට ම කීවේ මෙය පිටුපස බටහිර මැදිහත් වීමක් තිබෙන බව ය. බටහිර මැදිහත් වීමක් යනු කවුරුත් දන්නා ඇමෙරිකා එක්සත් ජනපදයයි. ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම ද කිසිදු බාධාවකින් තොරව සිදුව ඇත. අද වන තෙක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ පිළිබඳව කිසිවක් කියා නැත. තානාපතිවරිය මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇත. මේ සිදුවීම් ටික සිදු වූ මොහොතේ සිට ම විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම එක් වර ම ඇමෙරිකාවට බණින්න පටන් ගත්තේ ය. ඇමෙරිකාව පිළිබඳව ඒ දවස්වල ඇති කරපු විරෝධය මේ දවස්වල පෙනෙන්නට නැත. ගෝඨාභය පිළිබඳ ඇමෙරිකානු උසාවියේ නඩුව ද නිෂ්ප්‍රභ විය. සිදුවීම් සියල්ල හරියට බැලුවොත් වැඬේ හරි පැහැදිලි ය. මේ පිටුපස සූක්‍ෂ්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇත. කිසිවකුට හිතා ගත නොහැකි විදියට සියල්ල සිදු කර ඇති බව පැහැදිලි ය.


ලෝකය පුරා ම ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම් බැලූබැල්මට සිතා ගත නොහැකි ය. රාජපක්‍ෂ පවුලේ කිසිවකු ඇමෙරිකාව විවේචනය කරන්නේ නැත. එයාලා වැඬේ භාර දීලා ඇත්තේ, හැම දාමත් ඒ වෙනුවෙන් කඬේ යන වලව්වේ වළං හෝදන්නන්ට ය. කිසිවක් නොතේරෙන ඔවුන් කරන්නේ, ඔහේ රෙදි ඇපිල්ලීම පමණක් ය. මැදපෙරදිග කලාපය පුරාවට පැවැතුණු රාජ්‍යයන් බිඳවැට්ටුවේ ද මේ ආකාරයෙන් ම ය. එකී රටවල අභ්‍යන්තරයෙන් ම අන්තවාදී සංවිධාන ගොඩනැඟීමෙන් ය. බින් ලාඩන්ලා, තලේබාන්ලා, අයිඑස්අයිඑස්වරුන් වැනි සියල්ල හැදුවේ ඔවුන් ය. අවසානයේ රාජ්‍යය දුර්වල කොට දේශපාලන වාසි ලබා ගත්තෙත් ඔවුන් ය.


පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පරීක්‍ෂණවලින් මේ තරම් ගැඹුරු කුමන්ත්‍රණයක් සොයා ගත නොහැකි ය. එවැන්නක් සොයාගත හැකි වන්නේ තව කාලයක් ගත වූ පසුව ය. එදා ගෝඨාභය රාජපක්‍ෂ ඇමෙරිකානු තානාපති රොබර්ට් ඕ බ්ලේක් සමඟ ‘ඇක්සා’ ගිවිසුම අත්සන් කිරීම ද අහම්බයක් නොවේ ය. ඉදිරියේ දී අත්සන් කිරීමට නියමිත ගිවිසුම් මොනවා ද යන්න තවමත් කිසිවකු නොදන්නෙහි ය. පසුගිය දවස්වල ඇමෙරිකානු පුවත් පතක ඇමෙරිකානුවකු ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්‍ෂකයකු වී ඇති බව ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළ කර තිබුණේ ය. එහෙම බලන කොට කාදිනල්තුමා කියපු දේ හරියටම හරි ය. කාදිනල්තුමා දිගින් දිගට ම කීවේ මෙය පිටුපස බටහිර මැදිහත් වීමක් ඇති බව ය. පැහැදිලිව ම මෙතැන බටහිර කුමන්ත්‍රණකාරී මැදිහත් වීමක් ඇත. එයට තෝරාගෙන ඇති ඉත්තා, කිසිවකුට එක්වර ම හිතා ගන්නටවත් බැරි ඉත්තෙක් ය. එහෙත්, අවසානයේ ඔවුන්ට ඕනෑ දේ සිදු කෙරෙමින් පවතින බව නම්, පැහැදිලි ය.
අන්තිමට බලද්දී, ඇමෙරිකාව රනිල් වික්‍රමසිංහගේ ඇස් දෙකෙන් ම රිංගලා ඇත. කනෙන් රිංගීම පුරුදු දේ  ය. එහෙත්, ඇස් දෙකෙන් රිංගීම හිතා ගත නොහැකි ය. මතුපිටින් පෙනෙන දේ සත්‍යය නොවන්නේ ය. පෙනුමට වඩා හරය වෙනස් ය. අප එය තේරුම් ගත යුතු ය. හැමදාමත් අපේ රටේ දේශපාලනය මෙහෙයැවූයේ එක්කෝ ඇමෙරිකාව ඇතූළු බටහිර බලවේගයන් ය. එසේ නොමැති නම්, අසල්වැසි ඉන්දියාව ය. ජේ. ආර්, ජයවර්්ධනලා ඉන්දු – ලංකා ගිවිසුමට තල්ලු කළේ ද එලෙසින් ම ය. ඒ හැම අවස්ථාවක ම ඔවුන් වැඩියෙන් ම පාවිච්චි කරන්නේ ලංකාවේ ජාතික ප්‍රශ්නයයි. එදා දෙමළ බෙදුම්වාදය ඔවුන් පාවිච්චි කර ගත්තේ ය. අද ඉස්ලාම් අන්තවාදය පාවිච්චි කර ගන්නේ ය. හැටේ දශකයට පෙර වැඩිපුර ම ලෝකය පුරා පාවිච්චි කර ගත්තේ බෙදුම්වාදයයි. මෑත කාලයේ ලොව පුරා ඔවුන් පාවිච්චි කර ගන්නේ ඉස්ලාම් අන්තවාදයයි.


පසුගිය පහළොස් වැනිදා නැවත බෝම්බ ප්‍රහාරයක් සිදු වන බවට කටකතාවක් ද ප්‍රචාරය කෙරිණි. ඉන් පසුව පහළොව සහ විසිපහ දින දහය ඇතුළත එවැන්නක් සිදු වන බවට කටකතාවක් පැතිරිණි. මේවා නිකම් ම ඇති වෙන ඒවා නොවේ ය. සංවිධානාත්මකව කරවන ලද ඒවා ය. බොහෝ විට ජනපතිවරණයට පෙර කුමන හෝ බරපතළ සිදුවීමක් වීමේ හැකියාවක් ද ඇත. එවැනි සිදුවීමක් ඇති කොට ඉන් උපරිම දේශපාලන වාසිය ගැනීම ඔය වැනි අවස්ථාවාදීන්ගේ ජානමය ගතිය බැවින්, ඒ පිළිබඳව ද පූර්ණ අවබෝධයක සිටීම වැදගත් ය. ඒ වගේ ම ඇත්ත කුමන්ත්‍රණකාරීන් හඳුනා ගැනීම ඊටත් වඩා වැදගත් ය. සැබෑ කුමන්ත්‍රණකරුවන් හෙළිදරවු කොට පරාජය කිරීම ද කළ යුතු ය. තේරීම් කාරක සභාවේ වාර්තාව එළිදැක්වීමට දවසකට පෙර හකීම් ගැන වීඩියෝවක් එළියට ඒමත්, ගෝඨාභය අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට පෙර පාස්කු ප්‍රහාරය එල්ල කිරීමත් යන මේවා එකිනෙකට සම්බන්ධ බව තේරුම් ගත යුතු ය. දේශපාලන බංකොළොත්කම් පෙරළා පාවිචිච් වන්නේ කුමන්ත්‍රණවලට ය. 2005දී එල්ටීටීඊ එකට සල්ලි දීලා, උතුරු නඟෙනහිර ඡන්ද වර්ජනය කර ගනීවි යැයි කවුරුවත් සිතුවේ නැති දෙයකි. එලෙසින් ම මෙවැනි දේ සිදු කරවීම හරහා ලබා ගන්නට උත්සාහ දරන දේශපාලන වාසි ද එලෙස ම ය. එසේ නම්, කළ යුත්තේ, එය හෙළිදරව් කිරීම සහ පරාජය කිරීම ය.

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

15 + 10 =