ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හදිසි නීතිය ගැන බොරු කියයි !

පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම සඳහාත්, පීඩාවට පත් ජනතාවට උපරිම සහන ලබාදීම සඳහාත් ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනතේ විධිවිධාන ප්‍රකාරව හදිසි නීතිය ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක අද (11) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එහෙත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා මේ කියන්නේ සම්පූර්ණ අසත්‍යයකි. ජනතාව මුලාකිරීමත්, මර්දනය කිරීමත් සඳහා හදිසි නීතිය ගෙන ඒමේ ආණ්ඩුවේ උපක්‍රමය තවදුරටත් වර්ධනය කිරීමක් පමණක් ඔහු මෙමගින් සිදුකරයි.

මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මේ ප්‍රකාශයේදී සඳහන් වූ ඉහත නිශ්චිත කරුණ සම්බන්ධයෙන්, මීට පෙර අවස්ථාවකදී නීතිඥ ජගත් ලියන ආරච්චිගෙන් කළ විමසීමකදී ඔහු පළ කළ අදහස් පහත දැක්වේ.

පාරිභෝගික අධිකාරි පනත

මේ වන විට ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින් දිගටම සඳහන් කරන්නේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරන ලද්දේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැටළුව විසඳා, පාරිභෝගිකයාට කඩිනමින් සහන සැලසීමට බව ය. එහෙත් ජනතාව අතර පතුරුවා හරින එම මතයේ බරපතළ දෝෂයක් තිබේ. සීනි සහ සහල් මිල පාලනය පිළිබඳ කරුණ ගතහොත්, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ මීට අදාළ ප්‍රතිපාදන තිබේ.

මේ පනතේ 18 වැනි වගන්තියේ සඳහන් වන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී ඒවා නිශ්චිත භාණ්ඩ හෝ සේවා හෝ ලෙස, පාලන මිලක් සහිතව නම් කිරීමේ බලය විෂය භාර ඇමැතිවරයාට තිබෙන බවයි. එසේ නිශ්චිත භාණ්ඩ ලෙස නම් කර, එය ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. පනතේ 60 (4) වගන්තියට අනුව අදාළ නියම කරන ලද මිලට වඩා වැඩි මිලට විකිණීම වරදකි.

නීති ප්‍රමාණවත් නැද්ද?

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 20 (5) වගන්තියේ ද මෙවැනි තවත් අවස්ථාවක් තිබේ. යම් ආකාරයකට භාණ්ඩයක හෝ සේවාවක හෝ මිල වැඩි බව තීරණය කළහොත්, ඒ සඳහා මිලක් නියම කිරීමේ බලය අධිකාරියේ සභාපතිවරයාට තිබේ. පසුගිය නොවැම්බර් මාසයේදී සීනි සම්බන්ධයෙන් පාලන මිලක් නියම කරන ලද්දේ මේ වගන්තියට අනුව ය. එනම් ඇමැතිවරයා විසින් නොව, සභාපතිවරයා විසින් ය. එහිදී දඩ මුදල් අඩු ය.

මේ ගැසට් පත්‍රය පසුගිය පෙබරවාරි මාසයේදී අහෝසි කරන ලදි. එනම් සීනි මිලට අදාළ ගැටළුව රට තුළ මතු වූ අවස්ථාව වන විට රට තුළ ඊට පාලන මිලක් නියමව තිබුණේ නැත. එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ කොන්දේසි සහිත වෙළෙඳාම ද තහනම් ය. ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය වාර්තා කර තිබුණේ නිශ්චිත මිලකට වඩා භාණ්ඩ මිලදී නොගන්නේ නම්, සීනි මිලදී ගත නොහැකි බවට ඇතැම් වෙළෙඳසැල්වලින් කොන්දේසි පනවා ඇති බවයි. භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම ද, භාණ්ඩ තොග අනවශ්‍ය ලෙස රැස්කිරීම ද වරදවල් බව පනතේ පැහැදිලිව දක්වා ඇත.

නීති ක්‍රියාත්මක නොවූයේ ඇයි?

2021 ජුනි 11 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සුදු සීනි, දුඹුරු සීනි ගබඩා රජයේ ලියාපදිංචි කළ යුතු බවට නියෝග කරන ලදි. සහල් සම්බන්ධයෙන් ද ඊට පෙර එවැනි නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝග කඩකිරීම ද දඬුවම් ලැබිය යුතු වරද වේ. මේ වරදවලට අදාළ දඩ මුදල් සම්බන්ධයෙන් සංවාදයක් තිබේ. ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසන්නේ ඒවා ප්‍රමාණවත් නොවන බවයි.

නමුත් දඬුවමේ ප්‍රමාණය කෙසේ වෙතත්, වරද සිදු කරනු ලබන පුද්ගලයා නීතියට හසුවීමේ ප්‍රවණතාව මත නීතිය ක්‍රියාත්මක වීම තීරණය වේ. පසුගිය කාලයේදී එවැනි වැටළීම් කොට, නඩු දමන බවක් මාධ්‍ය මගින් දැකිය හැකි නොවීය. සාමාන්‍යයෙන් එම කටයුතු සිදුවූයේ නම්, ඒවා ප්‍රචාරය කෙරේ. එනම් තිබී ඇත්තේ දඩ සම්බන්ධ ගැටළුවකට වඩා, පවතින නීති ක්‍රියාත්මක නොවීම පිළිබඳ ගැටළුවකි.

මේ වන විට ආණ්ඩුව අදාළ දඩ මුදල් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. 2003 වසරේදී ඉදිරිපත් වූ පනතකට අදාළ දඩ මුදල් සංශෝධනය වීම සිදුවිය යුත්තකි. එහෙත් මෙමගින් සංශෝධනය කිරීමට යෝජනා කර ඇත්තේ 20 (5) වගන්තියට අදාළ දඩ මුදල් පමණි. එනම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාට බලය ඇති වැරදි සම්බන්ධයෙන් ය. අනෙකුත් අවස්ථා සහ වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් සංශෝධනය කිරීමක් පිළිබඳ කෙටුම්පතේ සඳහන් වූයේ නැත.

කෙසේ වෙතත් ගැටළුව ඇත්තේ නොවැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා අදාළ නීති ප්‍රතිපාදන යටතේ වැටළීම් සිදු නොවූයේ ඇයි ද යන්න ය. එසේ ම සීනි පිළිබඳ බදු සංශෝධනය වී තිබියදී සීනි තොග විශාල වශයෙන් ගෙන්වූ බව ආණ්ඩුව පාර්ශ්වයෙන් ම පවසන තත්ත්වයක් තුළ, පෙබරවාරි මාසයේ මිල පාලනය ඉවත් කිරීම ද ගැටළුවකි.

මේ කටයුතු කිරීමට හදිසි නීතිය ගෙන ආ බව පැවසුවද, පසුදින ම මිල පාලනය පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කරන ලදි. ඊට හේතුව හදිසි නීතියෙන් මේ කටයුතු සිදු කළ නොහැකි වීම ය. තේරුම්ගත යුත්තේ මේ සත්‍යයයි.

හදිසි නීතියෙන් වැරදිකරුවන්ට තෑගි මුදල්

එහෙත් හදිසි නීතියෙන් එක් දෙයක් සිදු විය. එනම් ලියාපදිංචි නොකළ තොග තිබේ නම්, ඒවා මිලදී ගෙන ජනතාවට බෙදාහැරිය හැකි බවට හදිසි අවස්ථාවට අදාළ 2021 අංක 01 දරන හදිසි අවස්ථා (අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ නියෝග) නියෝගයේ සඳහන් වීම ය. එහි 12 වැනි වගන්තියේ සඳහන් වන්නේ ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යෑම සඳහා වී, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය හා ඒවා ප්‍රවාහනය කරනු ලබන වාහන භාරයට ගත හැකි බවයි. එහි 12 (2) සඳහන්ව ඇත්තේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ තීරණය පරිදි රජයේ සහතික මිලට හෝ රේගුවේ සඳහන් මිල ගණන් පදනම් කරගෙන එම තොග රජය භාරයට ගෙන, පාරිභෝගික ජනතාවට සහන මිලට බෙදාහැරීමට කටයුතු කළ යුතු බවයි. එනම් මෙහිදී අදාළ තොග රාජසන්තක කිරීමක් සිදු නොවේ. රජයේ මුදල් ගෙවා මිලදී ගැනීමක් සිදු වේ.

ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ කරන්නේ පාරිභෝගික පනත යටතේ වරදකි. ලියාපදිංචි නොකරන ලද තොග තබාගැනීම වරදකි. ඊට අදාළව වැටළීම් කොට, නඩු දැමිය යුතුය. දඩ ගැසිය යුතුය. සිර දඬුවම් ද පනතේ සඳහන් ය. එහෙත් අදාළ පනතේ ප්‍රතිපාදන හදිසි නීතිය යටතේ අත්හිටුවා ඇති ආණ්ඩුව, අදාළ තොග මිලට ගැනීමට කටයුතු කරයි. එනම් නඩු දමා, දඬුවම් කළ යුතු පාර්ශ්වවලට රජයෙන් මුදල් ගෙවයි. මෙවැනි බරපතළ ගැටළු රැසක් හදිසි නීතිය පිළිබඳ සංවාදය තුළ අනිවාර්යෙන්ම මතුකර ගත යුතුය.

 

Leave A Reply

Your email address will not be published.

four × 1 =