යුද්ධය: ඇමෙරිකාවට වියදමක් ද? ආයෝජනයක් ද?

වසර 20කට පසුව ඇමෙරිකා එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය ඇෆ්ගනිස්ථානයෙන් මුළුමනින්ම ඉවත්ව තිබෙනවා. බොහෝ විචාරකයන් පවසන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝකය පුරා ගෙන යනු ලබන අධිරාජ්‍යවාදී, ආක්‍රමණශීලී සහ යුදවාදී දේශපාලන ප්‍රතිපත්තියේ සැබෑ ස්වභාවය ඉරාකයෙන් මෙන්ම ඇෆ්නිස්ථානයෙන් ද හෙළි වන බවයි. ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකාව විසින් මේ වන තෙක් ප්‍රධාන රටවල් 03ක් වෙත භෞතිකව සිය යුද බලය ව්‍යාප්ත කරනු ලැබුවා. ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ සිරියාව එම රටවල්. මෙම රටවල ඇමෙරිකාව විසින් සිදු කරන ලද යුදමය මැදිහත් වීම් බොහෝ දෙනා දකින්නේ, හුදු ඇමෙරිකානු යුද උන්මාදය සහ උද්දච්චකම හේතුවෙන් සිදු කළ දේවල් ලෙසයි. නැතිනම් ත්‍රස්තවාදයට එරෙහි අන්තර්ජාතික මෙහෙයුමක කොටස් ලෙසයි.

2001 වසරේ සිට ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යන තෙක් වන්දි ගෙවීමට සිදු වූ ඇෆ්ගනිස්ථානු සිවිල් වැසියන්ගේ ප්‍රමාණය පිළිබඳව නිවැරැදි සංඛ්‍යාලේඛන පිළිබඳව අදටත් දැනගන්නට නැහැ. නමුත්, බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව එම ප්‍රමාණය 70,000 ඉක්මනවා. එමෙන්ම ඔවුන් ඇස්තමේන්තු කරන පරිදි 2,43,000ක් පමණ සිවිල් වැසියන් ද මෙම කාලයේ මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා.

නමුත්, මෙම ආක්‍රමණ පිළිබඳව ගැඹුරින් හැදෑරිමේ දී පසක් වන ප්‍රධාන කරුණක් වන්නේ, යුද්ධය ඇමෙරිකාවේ බල ව්‍යාපෘතියේ අංගයක් වනවාට වඩා එය ඔවුන්ගේ ආර්ථික මොඩලයේ ප්‍රධාන උපායමාර්ගයක් වන බවයි. ඒ අනුව යුද්ධය ඇමෙරිකාවට හුදු යුද්ධයක් පමණක් ලෙස අප තේරුම් ගත යුතු නැති අතර, එය ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධානතම මූලෝපායයක්. එබැවින්, ඇමෙරිකානු යුද්ධ පිළිබඳව වන වසඟකාරී මතවාද වෙනුවට ඇත්ත ගවේෂණය කිරීමෙන් තාර්කික වෙනත් යථාර්ථයක් මතු කර ගත හැකියි. ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය හා ඒ හා බැඳි මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් ඔස්සේ මෙයින් ඉදිරියට මෙම ලිපි කිහිපයක් ඔස්සේ වසඟය වෙනුවට යථාර්ථය විමසා බලමු.

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරයි

2001 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකානු ආක්‍රමණික හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළා. ඒ වෙනුවෙන් ඔවුන් අන්තර්ජාතික තලයේ ගොඩනඟන ලද ප්‍රධාන තර්කය වූයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම දරන ඔසාමා බින් ලාඩන් සහ එම සංවිධානයේ බලවතුන්ට ඇෆ්ගනිස්ථානය රැකවරණය ලබා දෙන බවත්, එබැවින් ඔහුව අල්ලා ගැනීම සඳහා සහ එම සංවිධානය විනාශ කිරීම සඳහා මෙම හමුදා බලය යෙදැවීම සිදු කරන බවයි. මිලියන 38ක්වූ ඇෆ්ගනිස්ථානු ජනතාවගේ සියලු ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උල්ලංඝනය කරමින් සිදු කළ මෙම හමුදා ආක්‍රමණය ඇමෙරිකාව සාධාරණීයකරණය කළේ ඔසාමා බින් ලාඩන්ගේ හිස මිලියන 38ක් වූ සමස්ත ඇෆ්ගනිස්ථානු ජනතාවට හිලව් කරමින්. සුපුරුදු පරිදි ඇමෙරිකානු මෙම ආක්‍රමණයට නේටෝවේ ද සහාය ලැබුණා. බ්‍රිතාන්‍යය මෙන්ම ජර්මනිය ද සිය හමුදා ඇෆ්ගනිස්ථානය වෙත යොමු කරනු ලැබුවා. කෙසේ වෙතත්, 2014 වසරේ දී නේටෝව විසින් නිල වශයෙන් හමුදා එයින් ඉවත් කර ගනු ලැබුවා. නමුත්, 13,000ක භට පිරිසක් විවිධ කටයුතු සඳහා ස්ථානගත කරනු ලැබුවා.

මේ අතර ඇමෙරිකාව සහ නේටෝව විසින් අරමුදල් සපයමින් පෞද්ගලික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් නැති නම්, පෞද්ගලික කොන්ත්‍රාත් භටයන් අතිවිශාල පිරිසක් එහි සේවයේ යොදවන ලද අතර, එම ප්‍රමාණය කොතෙක් ද යන්න පිළිබඳව අදටත් පැහැදිලි සංඛ්‍යාලේඛන නැහැ. මෙම කොන්ත්‍රාත් භටයන් විසින් සිදු කරන ලද අමානුෂික ව්‍යසන අතිවිශාලයි. නිරපරාදේ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, ධනය රැස් කිරිම් ආදී විශාල ව්‍යසන සඳහා දායක වූ එක් කණ්ඩායමක් වුයේ මෙම කොන්ත්‍රාත් ආරක්ෂකයන්. නිල හමුදා යෙදැවීම වෙනුවට අතිවිශාල මුදලක් ගෙවා මෙලෙස යොදවන ලද පිරිස් මහා විනාශයක් ඇෆ්ගනිස්ථානු ජනතාවට සිදු කළ බව ප්‍රසිද්ධ රහසක්. මෙලෙස යොදවන ලද කොන්ත්‍රාත් ඝාතකයන් නිල වශයෙන් කෙතරම් ද යන්න ප්‍රකාශ වී නැහැ. ඉරාක යුද්ධය තුළ ද මෙම කොන්ත්‍රාත් ඝාතන කණ්ඩායම් යොදවනු ලැබුවා. අවම වශයෙන් 8,000ක් පමණ ඇමෙරිකානුවන් ද වැඩි පඩියට සහ ගෙවීම්වලට මේ ආකාරයට ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට කොන්ත්‍රාත් ඝාතකයන් ලෙස එක්ව සිටියා. මෙම පෞද්ගලික ආරක්ෂක බළකාවලින් බහුතර සාමාජිකයන් පිරිසක් නැවතත් ඇමෙරිකානුවන්ම වූ නමුත්, ආසියාතික හා වෙනත් රටවල හමුදාවලින් ඉවත් වූ සැලැකිය යුතු විශාල පිරිසක් ද එක්ව සිටින බව ප්‍රසිද්ධ රහසක්. ඒ ලබා දෙන ලද අතිවිශාල ගෙවීම් පාදක කරගෙන.

මේ අතර ඇමෙරිකානු සහ නේටෝ බලධාරීන් විසින් තමන්ට පාලනය කළ හැකි ඇෆ්ගනිස්ථානු ජාතික හමුදාවක් සහ විශේෂ බළකායක් නිර්මාණය කිරීම ද සිදු කරනු ලැබුවා. එලෙස යොදවන ලද ඇෆ්ගනිස්ථානු භටයන් හරහා සිය හමුදා භටයන් කෙළින්ම කැරැලිකරුවන්ට ගොදුරු වීම වළකා ගනු ලැබුවා. එය ඇමෙරිකාවේ උපායමාර්ගයක්.  මෙම හමුදා ගොඩනැඟීම සඳහා අවශ්‍ය පුහුණු කටයුතු සහ අදාළ සියලුම වියදම් සිදු කරන ලද්දේ ද ඇමෙරිකාව විසින්. සිය හමුදා ඇෆ්නිස්ථානයෙන් ඉවත් කර ගැනීමට සමාන්තරව මෙම තමන් විසින් ඇති කරන ලද හමුදා ක්‍රමිකව ස්ථානගත කරනු ලැබුවා. ඇමෙරිකාවේ අවසන් භට කණ්ඩායම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යෑමට දින කිහිපයක් තිබිය දී, තලේබාන් සටන්කරුවන් විසින් මුළුමනින්ම යටත් කර ගන්නා ලද්දේ මෙලෙස 2014 වසරේ සිට ගොඩනඟන ලද ඇමෙරිකාවට හිතවත් ඇෆ්ගන් රජයේ හමුදා බළකායන්.

ඇමෙරිකාව සල්ලි පොම්ප කරයි

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්ථානය තුළ රඳවන ලද හමුදා භට පිරිස 1,10,000ක් ඉක්මවා තිබුණා. ඒ 2010-2012 යන වසරවල. ඇමෙරිකාව විසින් සිදු කරන ලද මෙම ආක්‍රමණය සඳහා ඔවුන් විසින් වියදම් කරන ලද සමස්ත ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 955ක් බව නිල සංඛ්‍යාලේඛනවල දැක්වුණ ද,  පසුගිය දා ඇමෙරිකානු ජනාධිපතිවරයාම ප්‍රකාශ කරනු ලැබුවේ, එම වියදම ඩොලර් ටි්‍රලියන 02ක් බවයි. 2010-2014 යන වසරවල නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන සංඛ්‍යාලේඛනවලට අනුව වසරකට ඇෆ්ගනිස්ථාන යුද්ධය වෙනුවෙන් ඇමෙරිකාව විසින් වියදම් කර තිබෙන මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 120කට ආසන්න වන බව පැහැදිලියි. මෙම සංඛ්‍යාලේඛනවලට විශේෂ බළකා වියදම් සහ විශේෂ මෙහෙයුම්වලට සහ බුද්ධි තොරතුරු මෙහෙයුම්වලට අදාළ වියදම් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික බුද්ධි මෙහෙයුම් සඳහා වූ වියදම් ඇතුළත් නැහැ. ප්‍රතිපත්තියක් ලෙස ඇමෙරිකාව මෙම තොරතුරු හෙළි කරන්නේ නැහැ. නමුත්, එම ප්‍රමාණය ද ආසන්න වශයෙන් වසරකට ඩොලර් බිලියන 100ක් පමණ වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. විශේෂයෙන් රහසිගත මෙහෙයුම්වල වියදම්, බුද්ධි අංශ නියෝජිතයන් නඩත්තුව සඳහා වියදම් සහ ඔවුන්ගේ මෙහෙයුම් වියදම් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සඳහා සිදු කරන වියදම් ද මෙයට ඇතුළත්ව නැහැ.

මේ අතර ඇමෙරිකාවේ බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ‘වොට්සන්’ ආයතනය (Watson Institute) විසින් සිදු කර තිබෙන ගණනය කිරීමකට අනුව සමස්ත ඇෆ්ගනිස්ථාන යුද වියදම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.313 ඉක්මවනවා. මෙම වියදම තුළ ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථාන යුද්ධය වෙනුවෙන් ලබාගෙන තිබෙන ණය සඳහා ගෙවීමට තිබෙන පොලිය වන ඩොලර් බිලියන 532ක් ද ඇතුළත්. එසේම 2050 වසර වන විට ඇෆ්ගනිස්ථානු යුද්ධය වෙනුවෙන් ඇමෙරිකාව ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය පමණක් ඩොලර් ට්‍රිලියන 6.5ක් වනවා. මෙයින් පැහැදිලි වන්නේ ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානු යුද්ධය දියත් කිරීම සහ එය පවත්වාගෙන යාම සඳහා විශාල ලෙස ණය ලබාගෙන ඇති බවයි. එමෙන්ම යුද්ධයෙන් මිය ගිය සහ විවිධ අනතුරුවලට ලක් වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ගෙවීම් සිදු කිරීම සඳහා වන ඩොලර් බිලියන 233 ද ඇතුළත් වනවා. මේ අතර ඇෆ්ගනිස්ථාන යුද්ධය හේතුවෙන් මිය ගිය හා ආබාධවලට ලක් වූ සෙබළුන් වෙනුවෙන් සහ ඔවුන්නේ යැපෙන්නන් වෙනුවෙන් (Veterans Care) ඔවුන්ගේ ජීවිත කාලය පුරාම විශාල මුදලක් වියදම් කිරීමට ඇමෙරිකාවට සිදු වෙනවා. එම මුදල් මෙම වියදම් ලේඛනවලට ඇතුළත් නැහැ.

ඇෆ්ගනිස්ථානු යුද්ධයේ දී ඇමෙරිකානු භටයන් 2,324ක් පමණ මිය ගිය බව නිල වශයෙන් වාර්තා වෙනවා. එමෙන්ම බරපතළ තුවාල ලැබූ පිරිස 21,000 ඉක්මවන බව ද වාර්තා වෙනවා. ඇමෙරිකාව විසින්  මුදල් ගෙවමින් යොදවන ලද පෞද්ගලික ආරක්ෂක අංශ  කොන්ත්‍රාත් භටයන් 3,917ක් ද මිය ගිය බවත්, ඔවුන්ගෙන් ද 30,000කට වැඩි ප්‍රමාණයක් බරපතළ ලෙස තුවාල ලද බවත් වාර්තාවල දැක්වෙනවා. ඇෆ්ගනිස්ථානු භටයන් 70,000ක් ද මෙම යුද්ධයෙන් මිය ගිය බව නිල වශයෙන් සඳහන් වනවා. කෙසේ වෙතත්, මෙම අංක බොහෝ දුරට මෙයට වඩා විශාල අගයක් ගන්නා බව විචාරක මතයයි. ආරක්ෂක හේතූන් මත එම තොරතුරු මේ දක්වා හෙළි කර නොමැති අතර, ජීවිතයේ කිසිදු දිනක ඒවා හෙළිවෙතැයි ද අපේක්ෂා කළ නොහැකියි.

මේ අතර 2001 වසරේ සිට ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යන තෙක් වන්දි ගෙවීමට සිදු වූ ඇෆ්ගනිස්ථානු සිවිල් වැසියන්ගේ ප්‍රමාණය පිළිබඳව නිවැරැදි සංඛ්‍යාලේඛන පිළිබඳව අදටත් දැනගන්නට නැහැ. නමුත්, බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව එම ප්‍රමාණය 70,000 ඉක්මනවා. එමෙන්ම ඔවුන් ඇස්තමේන්තු කරන පරිදි 2,43,000ක් පමණ සිවිල් වැසියන් ද මෙම කාලයේ මිය යන්නට ඇතැයි විශ්වාස කරනවා. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව 2009 වසරේ සිට පමණක් මිය ගිය සිවිල් පුරවැසියන්ගේ ප්‍රමාණය 1,10,000ක්. කෙසේ වෙතත්, මිලියනයක් සිවිල් වැසියන් මෙම යුද්ධය හේතුවෙන් සිය ජීවිතවලින් වන්දි ගෙවා ඇති බව පොදු මතයයි. අවුරුදු 20ක් යනු පොඩි කාලයක් නෙමෙයි. මෙම කාලය තුළ සාගත, ජලය නොමැතිකම, ආහාර හිඟය, අතුරු කලකෝලාහල සහ වෙනත් යුද්ධයේ වක්‍ර බලපෑම් මත මිය ගිය සිවිල් වැසියන් පිළිබඳව කිසිදු තොරතුරක් මෙම සංඛ්‍යාලේඛනවල දක්නට නැහැ.

මුස්ලිම් රටවලට ව්‍යාප්ත කළ ඇමෙරිකානු යුද්ධ

ඇමෙරිකාවට එල්ල වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් අනතුරුව ඇමෙරිකාව විසින් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන තේමාවට මුවා වී ආරම්භ කරන ලද යුද්ධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇෆ්ගන් – පකිස්ථාන යුද්ධය, ඉරාක යුද්ධය, සිරියානු යුද්ධය, යේමන් යුද්ධය ඒ අතුරින් ප්‍රධානයි. මෙම යුද්ධවලින් ඇමෙරිකාව අත්පත් කර ගත්තේ කුමක් ද යන්න අදටත් අපැහැදිලියි. මෙම ප්‍රධාන යුද්ධවලින් ලෝකයට අහිමි වූ ජීවිත ප්‍රමාණය නිල සංඛ්‍යාලේඛනවලට අනුව  8,97,000 – 9,29,000ත් අතර අගයක් ගන්නා බව බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලය පවසනවා (සටහන බලන්න). නමුත්, සත්‍ය තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් බව ඉතාම පැහැදිලියි. ඇෆ්ගනිස්ථානය තුළ මිලියනයක් ද, ඉරාකය තුළ මිලියනයක් ද සිවිල් ජනතාව මිය ගිය බව ඇතැම් තොරතුරු මඟින් මේ වන විට හෙළි වී තිබෙනවා.  මෙම යුද්ධ වෙනුවෙන් ඔවුන් විසින් විශාල මුදලක් ද වියදම් කරනු ලැබුවා. ඇමෙරිකාව ඉරාක යුද්ධය වෙනුවෙන් වියදම් කර ඇති මුදල ඩොලර් ට්‍රිලියන 2.4ක් බව බ්‍රවුන්ස් අධ්‍යයනය විසින් හෙළි කරනු ලබනවා. එහි ද විශේෂ බළකා මෙහෙයුම්, වෙනත් රහසිගත මෙහෙයුම්, රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සහ බුද්ධි අංශ නඩත්තුව සඳහා සිදු කරනු ලබන වියදම් ඇතුළත් නැහැ. ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ සිරියාව තුළ පමණක් ඇමෙරිකාව විසින් පසුගිය කාලය තුළ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 7.5ක මුදලක් වියදම් කර තිබෙනවා.

මෙම සියලුම මුදල් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල්. මෙම බදු මුදල් සහ ණයට ලබා ගත් මුදල් වගකීමකින් තොරව වියදම් කළ නොහැකියි. මෙම දත්තවලට අනුව දශක දෙකක කාලය තුළ ඇමෙරිකාවේ එක් පුරවැසියෙක් පමණක් මෙම යුද්ධ වෙනුවෙන් දරා ඇති වියදම දළ වශයෙන් ඩොලර් මිලියන 22ක් (වියදම ජනගහනයෙන් බෙදූ විට ඇමෙරිකානු ඩොලර් 7,500,000,000 බෙදනවා මිලියන 330ක් වන ජනගහනයෙන්). වෙනත් විදිහකින් පවසන්නේ නම්, වසරකට එක් ඇමරිකානුවකු විසින් මෙම යුද්ධ වෙනුවෙන් සිදු කර තිබෙන වියදම ඩොලර් මිලියන 1.1ක්. එය අතිවිශාල වියදමක්.  එසේ නම්, මේ සා අතිවිශාල ජනතා බදු මුදල් ප්‍රමාණයක් විනාශකාරී යුද්ධයක් වෙනුවෙන් ඇමෙරිකාව වැනි රටක් වැය කරයි ද? එලෙස වැය කිරීමට ඇමෙරිකානු කොන්ග්‍රසය හෝ සෙනෙට් මණ්ඩලය හෝ ඉඩ ලබා දෙයි ද? ඇත්තෙන්ම නැත. මේ සියල්ල ඇමෙරිකාව විසින් සිදු කරන ලද ආයෝජනයන් ය. වියදම් කරනු ලබන හැම සතයකටම ලාභ ඇස්තමේන්තුවක් ඇමෙරිකාව විසින් පෙන්ටගනය හරහා කොන්ග්‍රසයට සහ සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම ඒ අයුරින් වන ආයෝජනයේ ලාභ-අලාභ ගිණුමක් බලධාරීන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. එසේ නම්, ලෝකයේ සාමාන්‍ය ජනතාව සහ අප විසින් ඇමෙරිකාවේ නිරර්ථක යුද්ධ ලෙස අර්ථගන්වන ඇෆ්ගන්-පකිස්ථාන් යුද්ධය, ඉරාක යුද්ධය සහ සිරියා යුද්ධය ඔවුන්ට අනුව සිදු කරන ලද ආයෝජනයන්. මෙම යුද්ධ හේතු කරගෙන ඇමෙරිකානු ආර්ථිකය අතිවිශාල වශයෙන් ප්‍රසාරණයට ලක් වූ අතර, දිනෙන් දින එය වර්ධනය වුණා. ජාතික ආර්ථිකය ජාතික ආරක්ෂාවේම කොටසක් ලෙස සලකන ඇමෙරිකානුවන් යුද්ධය සිදු කරන්නේ ඒ වෙනුවෙන්●

යුද්ධය ඇමෙරිකාවට ආයෝජනයක් වන්නේ කෙසේ ද? – ලබන සතියට
අනුහස් බණ්ඩාර

 

 

 

Leave A Reply

Your email address will not be published.

1 × 3 =