වීදි සරන නිරෝධායන ඇඳිරි නීතිය…

සංචරණ සීමා’, ‘නිරෝධායන ඇඳිරි නීතිය’ ආණ්ඩුව පුන පුනා පවසන වදන් ය. ඒවායේ අරුත් කියැවෙන්නේ ආණ්ඩුවේ කැමැත්තට අනුව ය. මෙම වචන කරළියට එන්නේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ය. එහෙත්, දැන් එහි කොවිඩ් වසංගතය සමඟ සම්බන්ධයක් නැති තරම්ය. සැබැවින්ම සිද්ධ වී තිබෙන්නේ ආණ්ඩුවේ බල අරමුණු වෙනුවෙන් මෙම වචන භාවිත වීමයි.

කොවිඩ් වසංගතය ද ආණ්ඩුවට වසන්තයක්ම විය. වරාය නැඟෙනහිර ජැටිය විකිණීමේ උත්සාහය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගෙන ඒමේ උත්සාහය, ආහාර සඟවා තබා ගැනීම වැළැක්වීම යනුවෙන් පවසමින් හදිසි නීතියට දොරටු විවර කරගැනීම ආදී මෙවන් ව්‍යසන අවස්ථාවක දී නොකළ යුතු බොහෝ දෙය ආණ්ඩුව කරන්නට පොරබැදුවේ කොවිඩ් අස්සේ ය. ජනාධිපතිවරණය අවසන්ව මහ මැතිවරණය පවත්වා ගැනීමේ බල වුවමනාවෙන් ආරම්භයේ දීම කොවිඩ් යන්න බරපතළ නොවන බව පෙන්වමින් යම් නිශ්චිත කාලයකට රට වසා එහි ව්‍යාප්තිය වැළැක්වීම මඟහැරියේය. එදා රට වැසුවා නම්, අද මේ අකලට මිය යන ජීවිත රැකෙන්නට ඉඩ තිබිණි. ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය සහ එයට අදාළ සංඛ්‍යාලේඛන බරපතළ වන්නේ හෝ සැහැල්ලු වන්නේ හෝ ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන්ට අනුව ය.

ජනාධිපතිවරණය අවසන්ව මහ මැතිවරණය පවත්වා ගැනීමේ බල වුවමනාවෙන් ආරම්භයේ දීම කොවිඩ් යන්න බරපතළ නොවන බව පෙන්වමින් යම් නිශ්චිත කාලයකට රට වසා එහි ව්‍යාප්තිය වැළැක්වීම මඟහැරියේය. එදා රට වැසුවා නම්, අද මේ අකලට මිය යන ජීවිත රැකෙන්නට ඉඩ තිබිණි. ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය සහ එයට අදාළ සංඛ්‍යාලේඛන බරපතළ වන්නේ හෝ සැහැල්ලු වන්නේ හෝ ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන්ට අනුව ය.

පසුගිය දිනවල බරපතළ ලෙස රෝගය රට පුරා ව්‍යාප්ත වීමත්, මරණ සංඛ්‍යාව බරපතළ ලෙස ඉහළ යාමත් සලකා විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ රටේ ජනතාව රට සති තුනකටවත් වසා දමන ලෙස ආණ්ඩුවට බලපෑම් කළේ ය. එය කෙතරම් වර්ධනය වූයේ ද යත්, ප්‍රාදේශීය නගරවල වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තම තමන්ගේ නගරවල වෙළෙඳසල් වසා දැමීය. අශ්වයා පැන යන්නට ඉඩ දී ඉස්තාලය වසන්නාක් මෙන් වැඩ වරදින්නට යන්නේ යැයි බියට පත් ආණ්ඩුව අගෝස්තු 30 වැනිදා දක්වා දින දහයක නිරෝධායන ඇඳිරි නීතිය පැනවී ය. එය ද මුලදී සිදු කළේ රාත්‍රියට පමණ ය. ඒ වන විටත් වෛරසය ව්‍යාප්තව අවසන් ය. ඉදිරි දින දහයකට පසුව වන මරණ වළකා ගැනීමට හෝ මේ රට වැසිල්ල යහපතක් වනු ඇතැයි ජනතාව විශ්වාස කළෝ ය.

පුදුමය නම්, ආණ්ඩුව බැරි බැරි ගායෙන් දැමූ නිරෝධායන ඇඳිරිය විහිළුවක් බවට පත් කරන්නට ආණ්ඩුවම දැනුම්වත්ව  මැදිහත් වීම ය. වෙන සාමාන්‍ය කාලවලටත් වඩා දැන් නගරවල තදබදය අධික ය. වාහන තදබදය, මඟී තදබදය විසින් නිරෝධායන ඇඳිරි නීතිය විහිළුවක් බවට පත් කළේ ය. මෙයින් කොරෝනා වෛරසය පාලනයට උදව්වක් නොමැත. ඒ වෙනුවට එය ව්‍යාප්තියට උපකාරයකි. නමුත්, ආණ්ඩුව රට වැසුවේ නැතැයි යන දෝෂාරෝපණයට පිළිතුරක් දී ඇත.

සිදුව තිබෙන්නේ අනෙකකි. එදා බලය තහවුරු කර ගන්නට, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නට, නැවත බලයට එන්නට, විරුද්ධ පාක්ෂිකයාගේ මතය යට කරන්නට, මාධ්‍ය මර්දනයට යුද ජයග්‍රහණය අවියක් කොට ගත්තා සේ අද රට වැසීම යන්න ආණ්ඩුවට නව බල උපකරණයක් නිමවා ඇත. නාමිකව රට වසා ඇත. ප්‍රායෝගිකව රට වසා නැත. සියල්ල සාමාන්‍ය පරිදි සිදු වේ. දැන් රට වැසූ නිසා ආර්ථිකය වැටුණා කියන්නට ද හැකි ය. වැටුප් විෂමතා ඉවත් කරන්නට මෙය කාලය නොවේ යැයි පවසන්නට ද. මහජන විරෝධතා හා උද්ඝෝෂණයන් මැඬලන්නට ද ආණ්ඩුවට හැකි ය. රට වැසුවේ නෑ කියන්නට රටවැසියාට බැරි ය. සෑම පැත්තෙන්ම කටවල් වසන්නට මෙම ව්‍යාජ රට වැසිල්ල ආණ්ඩුව විසින් උපකරණයක් කොටගෙන තිබේ. මෙවන් නිරෝධායන ඇඳිරි තව කීයක් ආවත් ආණ්ඩුවට මරු ය. ජනතාව මේ සැඟවුණු යථාර්ථය, ආණ්ඩුවේ කූට පිළිවෙත තේරුම් ගෙන අවබෝධයෙන් හා උපක්‍රමශීලීව එයට මුහුණ දී පරාජය කළ යුතුය●

 

 

 

Leave A Reply

Your email address will not be published.

two × five =