බලු ම බලු වැඩේ කරලා ඇඟ බේරා ගැනීම

වී, හාල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල ගණන්  වේගයෙන් ඉහළ නැංගේ ය. ආහාර ද්‍රව්‍ය පමණක් නොව ඉන්ධන, බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු, සබන් කැටය, බෙහෙත් ටික, සිමෙන්ති ටික, වයර් එක ආදී හැම දෙයක් ම වැඩි වුණේ ය. මේ සියල්ල වැඩි වූයේ කොරෝනා වසංගතය අස්සේය. කොරෝනාවලින් බැට කන අතරතුරේ දී ය. හාල් වැඩි වන්නේ, හාල් මෝල් හිමියන්ගේ මාෆියාවෙන් බව ආණ්ඩුව කියයි. සීනි මිල වැඩි වන්නේ, සීනි ආනයනකරුවන්ගේ මාෆියාවෙන් බව කියයි. ගෑස් මිල වැඩි වන්නේ, ගෑස් ගෙන්වන පෞද්ගලික ආයතනයේ වැරැද්දෙන් බව කියයි. බස් ගාස්තු වැඩි කරන්නේ, පෞද්ගලික බස් හිමියන් බව කියයි. කිරිපිටි වැඩි වන්නේ ද, ඒවා ආනයනය කරන සමාගම්වල වැරැද්දෙන් බව කියයි. මේ මිල වැඩි වීම් හැම එකක් ම සිද්ධ කරන්නේ පෞද්ගලික ජාවාරම්කාර වෙළෙන්දන් යැයි කියයි. ආණ්ඩුව පටන් ගත්ත දා ඉඳලා ඔය කතාව දිගින්දිගට ම කියයි. රජයේ මාධ්‍ය හා ආණ්ඩුවට හිතවත් පෞද්ගලික මාධ්‍ය හරහා ද ඒක ම කියවයි. අන්තිමේ දී ජනතාව හිතන්නේ ද එයයි. ඒ කියන්නේ, “ආණ්ඩුව උපරිම උත්සාහ කරනවා මිල අඩු කරන්න. ඒත් මේ ජාවාරම්කාරයෝ ඒකට ඉඩ දෙන්නේ නැහැ” කියා ය. මේ වන විට ජනතාව තුළ ගොඩනැඟී ඇති සහ තව දුරටත් ගොඩනඟන්න උත්සාහ දරන මතය එයයි.

‘අමුඩයේ කැත කිරීමේ’ න්‍යාය

රටේ අනෙකුත් හැම ප්‍රශ්නයක දී ම ආණ්ඩුව ක්‍රියා කරන්නේ එලෙසින් ය. කොරෝනා මර්දන වැඩපිළිවෙළේ දී ද කරන්නේ එයයි. එන්න එන්න ම එය අසාර්ථක වන බව කාටත් දැනෙන, පෙනෙන දෙයයි. ඒත්, ආණ්ඩුව කරන්නේ, විවිධ පාර්ශ්වවලට චෝදනා කරවීමයි. මුලින් ම ආණ්ඩු හිතවාදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ පාදෙනිය හරහා හිටපු සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයාට චෝදනා එල්ල කරවූයේ ය. මැරෙන ප්‍රමාණය හා රෝගීන් ප්‍රමාණය පිළිබඳ වැරැදි දත්ත දෙන්නේ කුමන්ත්‍රණකරුවන් යැයි කියෙව්වේ ය. එතැනින් නතර නොවී වෛද්‍ය සංගමය හරහා විවිධ කොටස්වලට විවේචන එල්ල කරවූයේය. කොටින් ම ගත්තොත්, ‘නන්දසේන ගෝඨාභය වැඩේ හරියට කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් යම් විශේෂඥ වෛද්‍යවරු හරියට වැඩේ කරන්නේ නැහැ’ යන මතයක් හදන්න උත්සාහ කළේ ය. විවිධ වෛද්‍යවරුන් සහ නිලධාරීන් යොදා ගනිමින්, බෝලය එහාට මෙහාට විසි කරවූයේ ය. එන්න එන්න ම තත්ත්වය දරුණු වන විට අසාර්ථකත්වයේ වගකීම විවිධ අය මත පටවා ආණ්ඩුව ඇඟ බේරා ගන්න උත්සාහ කළේ ය. අන්තිමට ම කළේ, සෞඛ්‍ය ඇමැතිවරිය ධුරයෙන් ඉවත් කරලා ඇඟ බේරා ගැනීමට උත්සාහ කිරීම ය.

පොහොර හා සීනි නාටකය

පොහොර ආනයනය නතර කිරීමෙන් ගොවි ජනතාව මහත් වූ අසීරුතාවකට ඇදවැටුණහ. ගොවියා පමණක් නොව කෘෂිකර්මාන්තයේ නියැළී සිටින හැම දෙනෙක් ම අර්බුදයකට ඇදවැටුණහ. අපනයනකරුවන්, ව්‍යාපාරිකයන් සියලු දෙනා ම ඇදගෙන වැටුණහ. අර්බුදයට උත්තරයක් නැති ආණ්ඩුව දිගින්දිගට ම රසායනික පොහොර සමාගම්වලට දොස් පැවරුවේ ය. මහින්දානන්ද මාධ්‍ය එක්ක ගිහිල්ලා පෞද්ගලික පොහොර සමාගම් වැටලුවේය. පොහොර හංගාගෙන ඉන්න බව කියමින්, වැරැද්ද ඔවුන් මත පැටවූයේ ය. ඇත්තට ම වුණේ, ආණ්ඩුව ඔවුනට පොහොර නිකුත් කරන්න එපා යැයි මුලින් නියෝග පැනවීම ය. ඒත්, ජනතා විරෝධය වැඩි වන වෙලාවේ කළේ බොරු නාට්‍යයක් රඟදක්වා පෙන්වීමය. යල කන්නයට ඇති තරම් පොහොර ගබඩාවල තියෙන බව සැලැකිල්ලට ලක් කරමින්, තමන් මේ තීන්දුව ගත් බව පෙන්වීමට උත්සාහ කළේය. ඒ වාගේ ම ගම් මට්ටමින් පොහොර විකුණපු පොඩි පොඩි ව්‍යාපාරිකයන්ගේ ගබඩා වටලා, මාධ්‍ය සංදර්ශන පෙන්වූයේ ය. ඒ හැම දෙයකින් ම උත්සාහ කළේ වැරැද්ද ඒ අය මත පටවා ඇඟ බේරා ගැනිීමටය.

පහුගිය දවස්වල රටේ ප්‍රධානතම අර්බුදය ලෙස පැනනැඟුණේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයයි. ආණ්ඩුව දිගින්දිගට ම එයට සාධාරණ විසැඳුමක් ලබා දීමෙන් වැළැකුණේ ය. අන්තිමට කොරෝනා රැල්ල ගුරුවරුන් මත පටවා අභූත චෝදනා එල්ල කරමින් සිටියි. අද වන විට ‘ඔන්ලයින්’ අධ්‍යාපනය නතර වීමේ චෝදනාව ඔවුනට එල්ල කරමින්, දෙමවුපියන් සහ ගුරුවරුන් අතර ගැටුමක් සාදන්නට උත්සාහ දරමින් සිටියි.

සීනි මිල වැඩි වීමේ චෝදනාව ද දිගින්දිගට ම එල්ල කරන්නේ, පෞද්ගලික ව්‍යාපාරිකයන්ටය. මේ වන විට ‘දෙරණ’ රූපවාහිනියේ ‘උකුස්සා’ ගොස් සීනි ගබඩා වට කරන ඒවා පෙන්වන්නේ ය. ප්‍රවෘත්තිය අවසන් වන්නේ විශාල සීනි තොගයක් හොරෙන් හංගාගෙන සීනි මිල ඉහළ දමා ඇති බව කියමින්ය. අන්තිමේ දී ආණ්ඩුවේ ඇමැතිගේ ප්‍රකාශයකින් ප්‍රවෘත්තිය අවසන් වන්නේ ය. මේ දවස්වල සීනි නාට්‍යය හොඳින් රඟදක්වමින් සිටියි. එහෙත්, මුළු රට ම දන්නා දෙය නම්, ආණ්ඩුව හිතාමතා ම මේ ව්‍යාපාරිකයන්ට අධික ලෙස ලාභ ලබන්නට සීනි බද්ද අඩු කරපු එක ය. දැන් ඉතින්, ව්‍යාපාරිකයන්ට බොරුවට දොස් නැඟීමෙන් ඵලක් නැත. ඒත්, ආණ්ඩුව දවස ගෙවා ගන්නේ ඒ නාටක දවස ගාණේ ජනතාවට පෙන්වීමෙන් ය.

සහල් සන්දර්ශන

ඊයේ පෙරේදා පොළොන්නරුව ලොකු ම හාල් මෝල් තුන වටලලා කළේ ද ඒක ම ය. ඒ වැටලීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ද මැදිහත් වුණේ ය. කොළඹින් ලොරි පෝලිමක් ගිහිල්ලා මහා විශාල මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූයේ ය. මේ දවස්වල දිනපතා ඒ සංදර්ශන පෙන්වන්නේ ය. එහෙත්, ආණ්ඩුව ම මෙයට පාර කැපූ බව දන්නේ ටික දෙනෙකි. වී සඳහා සහතික මිලක් නියම කොට ඇත්තේ ය. සාමාන්‍යයෙන් එය රුපියල් 50.00ක්, 52.00ක් වන්නේ ය. සහතික මිල දමා ඇත්තේ ඉන් අඩුවට වී මිල දී නොගැනීමට ය. පසුගිය කන්නයේ පෞද්ගලික වී මෝල් හිමියෝ රුපියල් හැටට, හැටපහට වී මිල දී ගත්හ. ආණ්ඩුව වහා ම මැදිහත් වී ඒ මිල ගණන්වලට මිල දී ගන්න එපා යැයි නියෝග කළේ ය. ආණ්ඩුව කියන සහතික මිලට ගන්නා ලෙස කිව්වේ ය. ඒත්, ඒ වන විට ගම් මට්ටමින් පොඩි පොඩි ව්‍යාපාරිකයන්, මෝල් හිමියන් ගොවීන්ගෙන් යම් වී ප්‍රමාණයක් මිල දී ගෙන අවසන්ව තිබිණි. මුලින් ම ආණ්ඩුව වැටලුවේ ඔය පොඩි පොඩි ගබඩා ය. ඒ අය කළේ සහතික මිලට වැඩියෙන් ගොවියාට මිලක් දීමය. එහි කිසිදු වැරැද්දක් නැත. සහතික මිල කියන්නේ, පාලන මිල නොවේය. එහෙත්, ආණ්ඩුව පසුව කළේ සහතික මිල පාලන මිල කිරීම ය. ඒකත් එක්ක වී මිල දී ගැනීම නතර වුණේ ය. ඒ නිසා ම තවත් සියයට හැටක් පමණ වී අස්වැන්න ඇත්තේ, ගොවියා ළඟ ය. දැන් ආණ්ඩුව කියන්නේ, හැටට, හැටපහට ගත්ත වී කිලෝව පනහට, පනස් දෙකට විකුණන්න කියා ය. එහෙ ම කරන්න කවුරුවත් එකඟ නොවන්නේ ය. ප්‍රශ්නය ඇති කළේ ම ආණ්ඩුව ය. පොට පටළවා ගත්තේ ම ආණ්ඩුව ය. ඒකෙන් ගැලවෙන්න දැන් බොරු සංදර්ශන වැටලීම් කරන්නේ ය. ඒත්, ඔය සංදර්ශන වැටලීම් හැමදාමත් කර කර ඉන්නට බැරිය. ඒකෙන් වෙන්නේ මොන හදිසි නීතිය දැම්මත්, ආයෙත් වටයකින් හාල් මිල වැඩි වීම ය.

ගුරුවරුන්ට බොරු කිරීම

පහුගිය දවස්වල රටේ ප්‍රධානතම අර්බුදය ලෙස පැනනැඟුණේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයයි. ආණ්ඩුව දිගින්දිගට ම එයට සාධාරණ විසැඳුමක් ලබා දීමෙන් වැළැකුණේ ය. අන්තිමට කොරෝනා රැල්ල ගුරුවරුන් මත පටවා අභූත චෝදනා එල්ල කරමින් සිටියි. අද වන විට ‘ඔන්ලයින්’ අධ්‍යාපනය නතර වීමේ චෝදනාව ඔවුනට එල්ල කරමින්, දෙමවුපියන් සහ ගුරුවරුන් අතර ගැටුමක් සාදන්නට උත්සාහ දරමින් සිටියි. තමන්ට හිතවත් ගුරු කණ්ඩායමක් යොදවා පට්ටපල් බොරු ප්‍රචාරය කරමින් සිටියි. ප්‍රශ්නයට උත්තරයක් නොදීපු ආණ්ඩුව ඇඟ බේරා ගන්නට ඔන්ලයින් නැවතීමේ වැරැද්ද ගුරුවරුන්ට පටවයි. ඇත්තට ම දරුවන්ගේ අධ්‍යාපනය නතර වීමේ වැරැද්ද කර ඇත්තේ, ආණ්ඩුවයි. එයට මුළුමනින් ම වගකිව යුත්තේ, ආණ්ඩුව ය. අද වන විට දරුවන්ගේ අධ්‍යාපනය නතර වී ඇත්තේ, ආණ්ඩුව ගුරුවරුන්ගේ සාධාරණ ප්‍රශ්නයට ප්‍රතිපත්තිමය විසැඳුමක් නොදීමෙන් ය. පැහැදිලිව ම චූදිතයා ආණ්ඩුව ය. ඒත්, උත්සාහ දරන්නේ ම එය ගුරුවරුන් මත පැටවීමට ය.

මෙහෙම බැලුවා ම ආණ්ඩුව දිගින්දිගට ම අනුගමනය කරන ක්‍රමවේදය මෙයයි. හැම ප්‍රශ්නයක දී ම ඇඟ බේරා ගන්නට වැරැද්ද වෙන කෙනකු මත පටවයි. නමුත්, ජනතාව ආණ්ඩුවක් පත් කර ගත්තේ, හැම පැත්තක ම ඇති වී තිබෙන අර්බුද විසඳා ගැනීමට ය. ඒ වගකීමෙන් කිසිසේත් ම ආණ්ඩුවට ගැලවෙන්නට නොහැකි ය. අර්බුද ඇති වීම සාමාන්‍ය දෙයකි. ඒවා විසැඳීම පාලකයන්ගේ ප්‍රධාන වගකීම ය. එහෙත්, දැන් ප්‍රශ්නය ඇත්තේ, සමහර අර්බුද, ප්‍රශ්න නිර්මාණය කරන්නේ ම ආණ්ඩුව වීම ය. එසේ අර්බුද ඇති කරනවා පමණක් නොව අන්තිමට ඒ සියල්ලේ වැරැද්ද තවකකු මත පැටවීම ය. මේක මහා බලු ම බලු වැඩක් ය. ඒ කියන්නේ, ආණ්ඩුව අද බලු ගාණට වැටී ඇති බව ය. තමන් කරපු වැරැද්දක් වෙන කාගේ හෝ ඇඟේ ගහනවාට කියන්නේ ‘බලු වැඩ කරනවා’ කියා ය. අන්තිම අසාර්ථක වුණු ආණ්ඩුව අද කරන්නේ, ඒකය. එනම්, බලු ම බලු වැඩ කිරීම ය. එය තේරුම් ගැනීම කාගේ කාගේත් මොළයේ වගකීම ය●

ජගදාක්‍ෂි

 

 

Leave A Reply

Your email address will not be published.

4 × 5 =