හදිසි නීතියෙන් වැඩ අරඹයි – සීඅයිඩීයෙන් අලුත් වැඩක් !

අත්තනෝමතික ලෙස හදිසි නීතිය පනවා, ජනතාව මර්දනය කිරීමේ ආණ්ඩුවේ මෙහෙයුමේ පළමු සැලසුම ලෙස ගුරු උද්ඝෝෂණ සඳහා සහභාගි වූ පිරිස් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් පොලිස් ස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් එම උද්ඝෝෂණ සඳහා සහභාගි වූ පිරිස්වල නම් සහ ලිපින, ඔවුන්ට හෝ ඔවුන්ගේ පවුල්වල කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇද්ද, වෛරසය ආසාදනයෙන් මියගොස් ඇද්ද යන්න පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටී. මේ උද්ඝෝෂණ පැවැත්වූ ස්ථාන පිළිබඳ නිශ්චිත ලැයිස්තුවක් ද අදාළ පොලිස් ස්ථානවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යවා ඇති බව ද අනාවරණය වන අතර, එම එක් එක් උද්ඝෝෂණය සංවිධානය කළ පිරිසගේ නම් වෙනම අවශ්‍ය බව ද දැනුම් දී තිබේ.

මෙය කඩිනම් විමර්ශන අවශ්‍යතාවක් බවත්, එම නිසා ඊට මූලිකත්වය ලබාදී මේ තොරතුරු රැස්කරන ලෙසත් අදාළ පොලිස් සථානවලට උපදෙස් දී ඇතැයි ද පොලිස් මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරිවරුන් ඇතුළු අවශ්‍ය සියලු රජයේ සේවකයන්ගේ සහාය ලබාගන්නා ලෙස ද පොලිස් ස්ථානාධිපතිවරුන්ට එක් එක් ප්‍රදේශ භාර ඉහළ පොලිස් නිලධාරීන් විසින් උපදෙස් දී ඇත.

කොවිඩ් වෛරසයට අදාළ සිව්වැනි රැල්ලට හේතුව මේ ගුරු උද්ඝෝෂණ බව තහවුරු කිරීම සඳහා පසුගිය කාලය පුරා ආණ්ඩුව දැඩි උත්සාහයක් ගත් අතර, ඒ සඳහා රජයේ පාලනය යටතේ පවතින ලේක්හවුස් පුවත්පත්වල අසත්‍ය පුවත් ද පළකරන ලදි. සිළුමිණ පුවත්පතේ මෙසේ පළකරන ලද අසත්‍ය පුවතකට එරෙහිව ගුරු සංගම් විසින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුමට ද ලිඛිතව දැනුම් දී තිබේ.

මීට අමතරව ආණ්ඩුවේ ඇතැම් කටයුත උපහාසයට ලක්කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළකරන පුද්ගලයන් බියට පත්කිරීමේ කටයුතු ද තීව්‍ර කර ඇති බව වාර්තා වේ. කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ තරුණයෙකුට මෙසේ පළ කළ ඡායාරූපයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
නීති ක්ෂේත්‍රයේ විද්වතුන් සඳහන් කරන්නේ ආණඩුව හදිසි නීතිය පැනවූයේ මෙවැනි අත්තනෝමතික කටයුතු සඳහා වන බවයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසන ආකාරයට පාරිභෝගිකයන්ට සහන සැලසීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

Leave A Reply

Your email address will not be published.

one × one =