“පාර්ලිමේන්තුව ඇරියොත් අරින්නේ මොකක් හරි හොර මගඩියකට”

- ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත

කොවිඩ් වසංගතය අවසන් කිරීම ආණ්ඩුව විසින් සිදු නොකරන බවත් ඒ සඳහා සියලු බලවේගයන් සමග එක්ව ආණ්ඩුවට බලකිරීමෙන් මෙම වසංගතය අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත පවසයි. අද දින (08) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ලාල්කාන්ත

“ආණ්ඩුව ඇර අනිත් කවුරත් ලොක්ඩවුන් එකක් ඉල්ලුව”

“කොවිඩ් වසංගතයත් දැන් ත්‍රස්තවාදයක් වගේ වැඩක්. අවු. 30 ක් ගියපු ත්‍රස්තවාදී ප්‍රශ්ණෙත් යම් මට්ටමකට ඉවරවුනේ ඒ වෙනුවෙන් මුලු රටම පෙළගැහිල ඒක පරාජය කරන්න මැදිහත් වෙච්ච නිසා. දැන් කොවිඩ් ප්‍රශ්ණෙත් විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීමෙන්, සැලසුම්සහගත ක්‍රමයකට යාමෙන් මේ ප්‍රශ්ණෙ විසඳන්න පුලුවන්. හැමෝම බෑ කියද්දි අවිද්‍යාත්මක ක්‍රම ගනිද්දි ත්‍රස්තවාදී ප්‍රශ්ණෙ විසඳන්න අපි කිව්වා නෑ මේක කරන්න පුලුවන් මේ විදියට කියල. එක එක්කෙනා එක එක දේවල් කියනවා. නමුත් අපිට තියනව ස්ථිර සාර දැක්මක්. කොවිඩ් නැති ජීවිතයක් ඇතිකර ගැනීම සඳහා වන ස්ථිරසාර දැක්මක් ඇතිව තමයි මේ බලපෑම කරන්නෙ. අපිට වැඩිපුර තියෙන්නෙ පාලකයින්ට බලපෑම් කරන එක. මොකද තීරණ ගන්නෙ ඒ ගොල්ල.
අපි වෘත්තීය සමිති ව්‍යාපාරය ලොක්ඩවුන් එකක් ඉල්ලා සිටිය. ආණ්ඩුව ඇර අනිත් කවුරත් ඉල්ලුව. නමුත් ලොක්ඩවුන් එකකින් බලාපොරොත්තුවන කාර්ය භාරට ඉටුවෙන්නෙ නැත්නම් ඒක තේරුමක් නැති ලොක්ඩවුන් එක්ක බවට පත්වෙනව. වසංගතයට ගොදුරු වෙච්ච අය රටපුරා සැරිසරනවනම් ඒක නවත්තන්න තමයි ලොක්ඩවුන් එකක් ඕන. ලොක්ඩවුන් එකක තේරුම තමයි මිනිස්සු එහෙ මෙහෙ දුවන එක නතර කරල රෝගීන් ඉක්මනින් හඳුන ගන්න එක. මේ ලොක්ඩවුන් එකේ අරමුණ ඒකයි. ඒකට PCR , ඇන්ටිජන් පරීක්‍ෂණ වැඩිකරන්න ඕන. ඒක කරන්නෙ නෑ. ඒක එන්න එන්න අඩුකරනව. රෝගීන් හඳුනගන්න පරීක්‍ෂණ ලක්‍ෂයක්වත් කරන්න ඕන. නමුත් ආණ්ඩුවට කොච්චර කිව්වත බීරි අලින්ට වීණා වයනව වගේනෙ. පරීක්‍ෂණ ගාන අඩුකරනවනෙ.”

“ඔක්කොම පුලුවන් කියල ආපු ආණ්ඩුව තමයි මේ බෑ කියන්නෙ”

“දැන් ආණ්ඩුව ඇයි මෙහෙම කරන්නෙ. ආණ්ඩුවට බයක් තියෙනව රෝගීන් සේරම අඳුනගත්තම ඔවුන්ව කළමණාකරණය කරගන්න බැරිවෙයි කියල. ඔක්කොම පුලුවන් කියල ආපු ආණ්ඩුව තමයි මේ බෑ කියන්නෙ. ඒ බයට පරීක්‍ෂණ කරන්නෙ නෑ. රෝගීන්ට එහෙ මෙහෙ යන්න ඉඩ ඇරල තියෙනව. මේකෙන් කොහොමද වසංගතය ඉවර කරන්නෙ. වසංගතය ඉවර කරන්න බෑ. රෝගයට ගොදුරුවෙන ගාන වැඩිවෙනව. මැරෙන ගාන වැඩිවෙනවා. මේ නිසා තමයි ආණ්ඩුවට මේක තනියම කරගන්න බැරි නිසා තමයි අපි මුලින්ම ආණ්ඩුවට කිව්වෙ මේකට දේශපාලන එකඟතාවයක් ඇතිකරගන්න ඕන කියල. දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති, සංවිධාන, ආයතන ඒකාබද්ධ කරගත්තොත් තමයි ජාතික ව්‍යවසනයක් මර්දනය කරන්න පුලුවන්.

“රොගීන්ට ඇඳන් ඕනනම් මිනිස්සු බිම නිදාගෙන හරි ගෙදර තියන ඇඳ ගෙනල්ල දෙයි”

“දැන් එහෙම හඳුනාගත්ත රෝගීන් එක්කො ගෙදර, නැත්නම් පොදු තැන් ඕන තරං තියෙනවා ඒවයි තියන්න පුලුවං. සුනාමිය වෙලාවෙ මිනිස්සුන්ට තිබ්බ ඇඳුම් ටික දුන්න වගේ මිනිස්සු මේකට ඕන කරන දේ සපයන්න සූදානම්. රොගීන්ට ඇඳන් ඕනනම් මිනිස්සු බිම නිදාගෙන හරි ගෙදර තියන ඇඳ ගෙනල්ල දෙයි. එහෙම මුලු සමාජයම මේකට දායක කරගත්තොත් මේක කළමණාකරනය කරගන්න පුලුවං. ඒ නිසා මේ රෝගය මර්දනය කරන්න නම් පළමු වැනි දේ එන්නත ගහන එක නෙවෙයි රෝගීන් හඳුනා ගන්න එක. නමුත් දැන් මේ එකක්වත් ආණ්ඩුව කරන්නෙ නෑ. ආණ්ඩුව අවශ්‍ය විදියට විද්‍යාත්මක මැදිහත්වීමක් කරන්නෙ නෑ. නිකං කරන්නන්වාලෙ කරනවා.

“දැන් මේ ඇඳිරි නීතිය දාල කරන්නෙත් ගොන්පාට් වැඩක්”

“ගුරු විදුහල්පතිවරු අවු. 24 ක් තිස්සෙ පඩි භාගයක් ලබමින් ඉන්නෙ. ඒගොල්ලන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ. අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධනවත්, ඇමති මණ්ඩලේවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවත් කවුරුවත් පඩියෙන් භාගයක් ගන්නෙ නෑ. දැන් ගුරු විදුහල්පතිවරුන් එහෙම අවු. 24 ක් තිස්සෙ කරල තියෙනවා. විශ්‍රාමිකයින්ගෙ ප්‍රශ්ණෙ ගත්තත් විසඳල නෑ. කෘෂි කර්මාන්තෙ ගැටලුවත්, බඩු මිලේ ප්‍රශ්ණෙවත් මොනවත් විසඳලත් නෑ. ණය අර්බුදේට තියෙන එකම උත්තරේ තියෙන දේ විකුණනව. දැන් අනිත් පැත්තෙන් කලු සල්ලි සුදු කරන්න නීති ගේනව. එතකොට හංගන් ඉන්න ඩොලර් ටික ගේන්න පුලුවං. දැන් ඔය කොළඹ නගරෙ තියෙන ඉඩම්, සෙලන්දිවා හරාහා විකුණන ඉඩම් කලු සල්ලි කාරයින්ට මිලදී ගන්න පුලුවං. ඒකෙන් අපූරු පණිවිඩේකුත් දෙනව. ඉහළ නිලධාරීන්ට හා දේශපාලකයින්ට කොහොම හරි හොරකම් කරල සල්ලි තියාගෙන පස්සෙ මේ රටේ සම්පත් ටික මිලදී ගන්න පුලුවං කියල.”

“පාර්ලිමේන්තුව ඇරියොත් අරින්නේ මොකක් හරි හොර මගඩියකට”

“ඊට පස්සෙ දැවැන්ත දේපල හිමියෙක් බවට පත්වෙන්න පුලුවං. රස්තියාදු ගහල, වැලිගොඩ දාල, ගස් කපල, දේශපාලනය කරල, ඊට පස්සෙ පාර්ලිමේන්තු ඇවිල්ල මැති ඇමතිල වෙලා කොමිස් ගහල මුදල් හම්බ කරල කොහේ හරි ඒව හංගගෙන ඉඳල ඊට පස්සෙ නීත්‍යානුකූල කරනව ඒ සල්ලිවලිනුත් යම් යම් ආයෝජන කරන්න පුලුවං කියල.
ඊට පස්සෙ රටේ ජාතික සම්පත් විකුණන සැලැස්ම ඒගොල්ලොම හදනව. ඒකට පනත් සම්මත කරගන්නව අර හංගගත්තු සල්ලිවලින්. ඒව නීත්‍යානුකූල කරල රටේ ජාතික සම්පත් ටික සුලු පිරිසක් අතට පත්කරගන්නව. එතකොට කර්මාන්තත් ඒගොල්ලන්ගෙන. නිෂ්පාදන ආයතනත් ඒගොල්ලන්ගෙ. මේකට තමයි උදේ ඉඳන් රූ වෙනකම් කල්පනා කරල, සැලසුම් හදන්නෙ, පාර්ලිමේන්තුව ඇරියොත් අරින්නෙ ඒ ජාතියෙ වැඩකට දැන්. සේවා ආයතනත් ඒගොල්ලන්ගෙ. ඒ ජාතියෙ වැඩවලට තමයි සැලසුම් හදන්නෙ. නැතිනම් දරුවන්ගෙ අධ්‍යාපනයට, ගුරු විදුහල්පතිවරුන්ගෙ අධ්‍යාපනයට මැදිහත්වීමක් කරන්නෙ නෑ.”

“දැන් මේ වසංගයෙක් එක දෙයක් වෙලා තියෙනව. ජනතාව දස දහස් ගණනින් පාරට බැහැල උද්ඝෝෂණය කරන එක ආණ්ඩුවට නතර කරගන්න පුලුවං වෙලා තියෙනවා. ජනතාව පාරට එනවනම්, පෞද්ගලික අංශයේ කාර්යාලවල වැඩ කරනවනම් 100, 200, 300 එකතුවෙලා අදාල දුරස්තභාවය තියාගෙන සෞඛ්‍ය නීති අනුගමනය කරමින් උද්ඝෝෂණ කරන්නත් පුලුවං. ඒක කරන එක ආණ්ඩුවට කියන්න බෑ වැරදියි කියල. ඒ නිසා උද්ඝෝෂණ විතරක් නොකර ඉන්න බෑ. ඒ නිසා තමයි ආණ්ඩුව දිගින් දිගටම දික්කර කර යන්නෙ.”

“කොරෝනා මර්දනය කරන්න ආණ්ඩුවට බලපෑම් කරන ජාතික ව්‍යාපාරයක් ඕන”

“පොදු ජනතාව ඇතුලු සියලු බලවේගවලට විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඇතුලෙ කොරෝනා මර්දනය කරන්න ආණ්ඩුවට බලපෑම් කරන්න වෙලා තියෙනවා යන්නං වාලෙ නොගිහිං. දැනට වෘත්තීය සමිති විතරයි සංවිධානාත්මකව යම් බලපෑමක් සිදුකරමින් තිබෙන්නෙ. ඒ නිසා ආණ්ඩුවට බලපෑම් කරන පක්‍ෂ බේදයක් නොබලා දැවැන්ත බලපෑමක් කරන්න වෙලා තියෙනවා. රට වහද්දි වෘත්තීය සමිති බලපෑම් කරා. නැත්නම් ස්වේච්ඡාවෙන් වහනව කියල කිව්වහම ආණ්ඩුව තීරණයක් ගත්ත. ඒ නිසා කොරෝනා මර්දනය කරන්න ආණ්ඩුවට බලපෑම් කරන සමස්ත බලවේග එක්වෙච්ච ජාතික ව්‍යාපාරයක් ඕන. අන්න ඒ ජාතික ව්‍යාපාරයට ආරම්භයක් ගන්න කියල මේ රටේ සමස්ත වැඩකරන ජනතාව ඇතුලු, සියලු බලවේගවලට ආරාධනා කරනව.”
මෙම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර, සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ, සමස්ත ලංකා හෙද සංගමයේ විධායක සභික අමිල රත්නායක යන නියෝජිතයින් අදහස් දැක්විය.

Leave A Reply

Your email address will not be published.

four + sixteen =