“අගමැති, විදේශ ඇමති වතිකානු යන්න හදන්නෙ පාප් වහන්සේ පවා නොමඟ යවන්නට”

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් ඇතුළු දූත පිරිසක් නුදුරේදීම ඉතාලියෙහි සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බවත් ඔවුන් වතිකානුවට ද යාමට නියමිත බවත් ඊයේ මාධ්‍ය වාර්තා කර තිබු අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශන වල ප්‍රගතිය පිළිබඳ වතිකානුව දැනුවත් කිරීම ද මෙම සංචාරයෙහි එක් අරමුණක් වී ඇති බවත් වාර්තා විය.

මෙම ආරංචිය පැතිර යන අතර අද (08) මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් අදහස් ප්‍රකාශ කළේය.

“සත්‍ය යටගැසිමේ ක්‍රියාවදාමයක්. විදේශීය රටවල් මෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේ පවා නොමඟ යවන්නට බොරු කියලා
අපි බලාපොරොත්තු වෙන යුක්තිය අපිට දෙන්නෙ නැතුව ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යට ගහන්නට මේ රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලැහැස්ති වෙන්නේ. ඒක පිටිපස්සේ ඉන්නේ මේ රජය . අගමැතිතුමාත් විදේශ ඇමැතිතුමාත් දැන් ඒකට සහභාගි වෙනවා කියල පත්තර වළ දාලා තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක් තමයි රජයට යොමු කෙරේ. ජාත්‍යන්තරයට මේ අය යන්න තීරණය කරන නිසා අපේ තත්ත්වය මොකක්ද කියලා අපිට කියන්න වෙනවා. අපිට මේ පිලිබඳ දැනගන්නට ලැබුන නිසා අපි දැනටමත් ජාත්‍යන්තරයට දැනුම් දීලයි තියෙන්නේ අපේ මතය. මේ රජය පරීක්ෂණ යට ගහන උත්සාහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක කිරීමක් අපට පෙනෙන්නට නැති බව ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා.

අපි මේ ලාබාල ප්‍රයත්නය හෙළා දකිනවා. මේ විදේශීය ජනතාව බොරු කියමින් නොමග යවන එක ගැන. ජනාධිපතිවරයාට අපි ජුලි මාසෙ ලිපියක් යැව්වා සේරම කාරණා විස්තර කරලා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි කියලා නමුත් ඒකට අපිට ලැබුණේ ප්‍රශ්නය මගහැරල යන බාල පිළිතුරක් . ප්‍රශ්නය මගහැරලා යන පිළිතුරක් අපට ලැබුණේ. මේ ප්‍රශ්නයෙන් මගහැරලා ගිහිල්ලා ජාත්‍යන්තරයත් රවට්ටන්න අපිට ඉඩ දෙන්න නෑ . රජය ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යනව.
ඒ නිසා විදේශ ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම වතිකානුවට යන්න ගත්තු තීරණය අපි සම්පූර්ණයෙන් හෙළා දකිනවා. ” යනුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පැවසුහ.

Leave A Reply

Your email address will not be published.

five × four =