පන්ජ්ෂීර් ඇදවැටෙයි, තලිබාන් සටන්කරුවන් 2000ක් පමණ මිය ගිහින්, NRF මියගිය තොරතුරු නෑ

පසුගිය සෙනසුරාදා වෙද්දී ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ (Panjshir valley) පැවති සටන් වලින් මියගිය තලිබාන් සටන්කරුවන් 600 කගේ පමණ සිරුරු පන්ජ්ෂීර්හි මග දෙපස ගොඩගසා ඇති බව වාර්තා වුණා. ඊට පසුදින අගෝස්තු 5 වැනි ඉරිදා NRF විසින් පාලම් පුපුරවා කොටුකර කල පහරදීමෙන් පන්ජ්ෂීර් පිවිසුම් අසල තලිබාන් සටන්කරුවන් 1500 පමණ මියගොස් තිබුණා. පන්ජ්ෂීර් නිම්නයේ බලය පතුරුවා සිටි Northern resistance force (NRF) නොහොත් උතුරුදිග සන්ධානය තමයි මේ තලිබාන් මරණවලට වග කියා තිබෙන්නේ. හරිහැටි වාර්තා නැතත් උතුරුදිග සන්ධානයටත් දැඩි අලාභහානි සිදු වී ඇති බව සඳහන්.

උතුරුදිග සන්ධානයට පසුගිය සතියක කාලය තිස්සේ තජිකිස්තානය සහ රුසියාවෙන් යුද ආධාර ලැබෙමින් පැවතුනත් ඉරිදා වනවිට සටන්කරුවන් හිඟයකට මුහුණ දීමට සිදුවී තිබුණා. බ්‍රිතාන්‍ය වැනි බටහිරයන් සහ ඉංදියාව ඇතුළු බොහෝ ආසියාතික රජයන් තලේබානයට විරුද්ධව ප්‍රහාර දියත් කරන බවට හෝ ඒවාට අතහිත දෙන බවට කටමැත දෙඩවූවද මේ වනතෙක් එවැන්නක් දැකගන්නට නැහැ. ඇමරිකානු පාලනය මෙවැනි මැදිහත් වීමක් ගැන මුනිවත රැකීම ඊට හේතු වූවා විය හැකියි. තජිකිස්තාන සහ රුසියානු අවි ලැබුණත් එම අවි යොදා සටන් කිරීමට සෙබළුන් මඳ බව ඇතැම් මාධ්‍ය වාර්තා කලා. පන්ජ්ෂීර්හි වෙසෙන ලක්ෂ දෙකක පමණ ජනයා අතරින් එක්වූ සටන් කරුවන්, පැවති ඇෆ්ගන් රජයේ කොමාන්ඩෝ භටයන් සහ රටේ නොයෙක් දෙසින් එක්වූ තලිබාන් විරෝධී ඇෆ්ගන් සටන්කාමීන්ගෙන් උතුරුදිග සන්ධානය සමන්විත වී තිබෙනවා. අලුත් සටන්කරුවන් එක් වීම පසුගිය මාසයක කාලයක් තුළ සිදු වූ සිදුවීමක් බැවින් උතුරුදිග සන්ධානයේ බොහෝ සටන්කරුවන් ප්‍රමාණවත් පුහුණුව නොලැබූවන් විය හැකි අතර ඔවුන් අතර සටනකදී තිබිය යුතු සහසම්බන්ධතාවයද (coordination) දුර්වල යැයි සිතිය හැකියි. උතුරුදිග සන්ධානයට සටන් වලින් සිදුවූ ජීවිත හානි ගැන ගණන් හිලවු මාධ්‍යයට නොකියන්නට හේතුවත් මෙය විය හැකියි. එයින් දැනට ඉතිරිව ඇති සටන්කරුවන්ගේ මානසිකත්වය බිංදුවටම ඇද වැටෙන්නට ඉඩ තිබෙනවා.

අගෝස්තු 31 අමෙරිකානුවන් ඉවත් වීමත් සමග තලිබානුවන් විසින් NRF හි සන්නිවේදන සබඳතා දුර්වල කිරීම සඳහා පන්ජ්ෂීර් ආසන්න දුරකථන හා සන්නිවේදන කුළුණු අක්‍රීය කලා. ඒ හේතුවෙන් පසුගිය දින 5 තුළ දෙපාර්ශවයම තම තමන්ට වාසි වන ලෙස මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටියා. ඒ වගේම කිසිදු මාධ්‍ය ආයතනයකට නිවැරදි තොරතුරු වාර්තා කිරීමට ඊයේ දක්වාම හැකියාව ලැබී තිබුණේ නැහැ.

උතුරුදිග සන්ධානය මෙහෙයවන්නේ අහමඩ් මසූද් (ahmad massoud) විසින්. ඇමරිකානු හා නේටෝ හමුදා ඉවත්ව යනවාත් සමග ඔහු විසින් තලේබානයට විරුද්ධව යුද ප්‍රකාශ කලා පමණක් නොව මුළු ඇෆ්ගන් භූමියම මුදාගන්නා බවටත් නිවේදන නිකුත් කලා. ඒ සමගම තලිබාන් සංවිධානය නව රජයක් පිහිටුවීම පසෙක තබා තමන්ට යටත් නොවූ පන්ජ්ෂීර් යටත්කර ගැනීමට කටයුතු සූදානම් කලා. පන්ජ්ෂීර් සටන ලේසි පහසු නොවන එකක් බව තලේබාන් නායකයන් දැනසිටි නිසා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ කලත් අහමඩ් මසූද් නොවේ එය කනකට ගත්තේ. පසුගිය දින 5 පුරාවට දරුණු සටන් ඇවිලී ගියත් වට කිහිපයක් අහවර වෙන්නත් පලමුව තලේබාන් පිරිස් බලය හමුවේ පසුබා යන්නට උතුරුදිග සන්ධානයට සිදුවී තිබෙනවා. පෙරේදා (ඉරිදා) දිනයේ අහමඩ් මසූද් විසින් තලිබාන් සටන්කරුවන් පන්ජ්ෂීර් පලාතෙන් ඉවත්වනවා නම් තමන් සාම සාකච්ඡා සඳහා සූදානම් වගට ෆේස්බුක් සටහනක් තැබූවත් එයට දැන් ප්‍රමාද වැඩි බව තලිබාන් සංවිධානය දැනුම් දී තිබෙනවා.
(ලෝකය එකම යායක් හි පළ වූ ලිපියකින් කොටසක්)

රජීව් සරඹගේ  (ලෝකය එකම යායක් The world is one Field සමූහය වෙනුවෙන්)

ලෝකය එකම යායක් The world is one Field

සැප්තැම්බර් 5 වැනිදා වන විට පන්ජ්ෂීර් අල්ලන සටනට තලේබාන් හා එක් වූ අල් කයිදා සාමාජිකයන්

පන්ජ්ෂීර් නිම්නයේ (Panjshir valley

ඇමරිකානු සන්නද්ධ රථ සමග තලේබාන් සාමාජිකයන්

NRF සාමාජිකයන්

අහමඩ් මසූද් (ahmad massoud)

Leave A Reply

Your email address will not be published.

two × 2 =