“ඔහු කලා – කරුවක් නොවිය යුතු බව සිය භාවිතාවෙන් ඔප්පු කළ මිනිසෙකි”

රූපවාහිනී පුවත් කියනා කෙහෙල්මල් බලන්න වාඩි වුවහොත් හිතට දැනෙන අප්පිරියාවක් තිබේ. ඒ දිනපතා කෙරෙනා ඊනියා මරණ විශ්ලේෂණයයි. සැමදාම එහි අවධාරණයෙන් කියනා දෙයක් තිබේ. ඒ වැඩියෙන් මිය යන්නේ හැටට වැඩි අය බවයි. එය ඇසූ සැණින් එමගින් ව්‍යංගයෙන් ඇඟවෙන තිත්ත නම් මිය යන්නේ වයසක මිනිසුන් බවයි. හෙවත් යන්නට සිටි අයයි. එසේම හැටට අඩු අයට එතරම් බය වෙන්නට දෙයක් නැති බවයි. මේ මියයන හැටට අඩු අය එන්නත් ගැනීමට පමා වූවේ ඔවුන්ගේ වරදින් නොවේ. එය ප්‍රතිපත්ති ගැටළුවකි. මුල සිට එන්නත් ප්‍රතිපත්තිය සෑදිය යුතුව තිබුණේ බලධාරීන් විසිනි.

ප්‍රතිපත්ති ගැටළුවක් නිසා එන්නත් පමාවී මිය යන මේ මිනිසුන් අද රට විවෘත කර තබා ගැනීමේදී ශ්‍රම බලකාය ලෙස වැදගත්විය නොහැකි වුවද ඔවුහු සිය අතපය හතර සහ මොළය සවිමත්ව තිබියදී නිෂ්පාදනයට දායක වූ මිනිසුන්ය. අපේ වැඩිහිටියන්ය. එහෙයින්ම මෙලෙස ඔවුන්ගේ මරණ සාමාන්‍ය කරණය කිරීම අපරාධයකි. එසේම මේ මරණ මැද අපට නොපෙනන තවත් පැත්තක් ද තිබේ. ඒ මියයන සංඛ්‍යාවෙන් සැලකිය යුතු පිරිසක් 30-59 අතරද සිටිනා බවයි. සාමාන්‍යයෙන් හතලිහ ඉක්මවූ පිරිසක් අර මුළු එකතුවෙහි ඒ වයස් කාණ්ඩයෙහි ඉන්නා බවද රූපවාහිණී තිර මත සටහන් වෙනු දකිමි. ඒ ඔය කියනා ආර්ථිකය ගොඩදැමීමට ඉන්නා ශ්‍රම බලකායෙහිය.

නාසි හමුදා මොස්කව් නුවරට කඩා වදිනා විට එවක පැවති සෝවියට් ආණ්ඩුව මුලින්ම ඉවත් කළේ ළමුන් සහ වියපත් පුද්ගලයන්ය. එහෙත් අපේ යෞවන පරම්පරාවට එන්නත් දෙන විට ඒ සඳහා වන දේශපාලන මැදිහත්වීම් ගැන මේ දිනවල ෆේස් බුක් එකෙහි සංසරණය වන වලස්මුල්ලේ එන්නත් වැඩ සටහනක පෝස්ටරය මනා සාක්ෂියකි.

අප සියල්ලටම පළමුව එක් කරුණක් උගත යුතුය. වඩා වැදගත් වයස් නොව මිනිසුන් බවයි. හෙමිංවේගේ මහල්ලා සහ මුහුද අපට උගන්වන්නේ මේ මිනිසාගේ ධීරභාවයයි. මාඕ සේතුං සිය පක්ෂ කාඩරයට වරෙක කියාදෙන කන්ද පෙරලූ මහල්ලාගේ කතාවද මේ අවධියේ කියවිය යුතු කතාවකි. ඒත් මදි නම් මිනිසුන්ගේ අගය ගැන කියවෙන රුසියානු ජනකතාව හෙවත් ගල්වඩුවා ද ඒ සඳහා කදිමය.

කෝවිඩ් වැළඳී මුලින්ම නික්ම ගිය විජමු ලොකුබණ්ඩාර දේශපාලනයෙහි කෙතරම් අපේ පිලිකුලට භාජනය වුවද භාෂා සාහිත්ය විෂයන්හී ලා රටට මහඟු සම්පතකි. දැන් සුනිල් පෙරේරාද ගොසිනි. සිය ජීවිතය පුරා තමන්ට ලැබෙනා ප්‍රතිචාරය කුමක් වුව තම මතය නොපැකිල පවසන්නට තරම් අදීනත්වයක් තිබූ එසේම යහපත් සමාජයක ජීවත්වීමේ අනවරත සිහිනයක දිවි ගෙවූ ඒ අතරම එය එනතෙක් බලා නොසිට ඒ වෙනුවෙන් කැපවූ මිනිසකු ලෙස සුනිල් සිය නිර්මාණ දිවියද පරයා ඉදිරියෙන් සිටියේය. ඔහු කලාකරුවා යනු කලා -කරුවක් නොවිය යුතු බව සිය භාවිතාවෙන් ඔප්පු කළ මිනිසෙකි. මංගලද එසේමය. මේ සියල්ල හැටට වැඩි ලෙස බැර කර අපට හිත හදාගත හැකි නම් අප අයත් වන්නේ අමනුෂ්‍ය යන්ටත් වඩා පහල අඩියකටය. මේ වන් පරසිදු අය මෙන්ම නිහඩවම තම යුතුකම පවුලට, සමාජයට විවිධ ආකාරයෙන් කළ කී දෙනකු අප නොදැනීම මේවනවිට නික්ම ගොස් ඇතිද. මිය යන්නාගේ වයස, පක්ෂ විපක්ෂබව යන මේ කිසිවක් වැදගත් නැත. මරණ විශ්ලේෂණයෙන් අපට දැනෙන්නේ හැටට අඩු අය සාපේක්ෂව ආරක්ෂිත යයි නම් මිය යමින් ඇත්තේ අපේ මිනිස්කම බව අප වටහා ගත යුතුය.

අපේ භෞතික ශරීරවල මරනයටත් වඩා බරපතල මියයමින් පවත්නා අපේ චින්තනයයි. අප මේවනවිට සිටින්නේ රටක් වශයෙන් යළි නැගී සිටින්නට අපට ඇති සියළුම අවස්ථාවන් අහිමි කරගනිමිනි. ඊට මෙරටෙහි බුද්ධිමතුන් ලෙස සැලකෙන්නන්ගේ නිහඬතාවද බොහෝ සේ වගකිව යුතුය.
මාටින් නීමොලර් අදටද වලංගුය. අප කළ යුත්තේ ‘ඔවුහු’ යනුවෙන් නාසින් පිලිබඳව කළ හැඳින්වීම වෙනුවට කෝවිඩ් යනුවෙන් යෙදීම පමණය.

දැන් සුනිල් හට සුබ ගමන් යයි කීම පමණක් ප්‍රමාණවත් නැත. ඊට තවත් වැකියක්ද එකතු කළ යුතුය. ඒ පසුපසින් අපද එනතුරු යන්නයි. ඒ අප සිටින්නේ මරණයේ මිටියාවතෙහි බැවිනි.

– චූලානන්ද සමරනායක (fb)

කාටවත් බයත් නැති ණයත් නැති සුන්දර මිණිහෙක්

සැප්තැම්බර් පලමුවෙනිදා, ඒ කියන්නෙ හරියටම දවස් පහකට ඉස්සෙල්ලා පාන්දර 6.30ට විතර මට ෆෝන්කෝල් එකක් ආවා සුනිල් පෙරේරගෙන්. “මචං,මට email කරල උඹේ account number එක එවපං. මගේ email එක මතක තියාගන්න හරිම ලේසියි. no problem perera@gmail.com”. මම ඇහුව මොකද මේ හදිසියේම”.
“මගේ birthday එක ළඟ යි නේ”.
සුනිල්,හැම අවුරුද්දෙම එයා ගෙ උපන්දිනය දාට,සැප්තැම්බර් 14දා, “ලොරෙන්සෝ ද අල්මේදා,කොලොම්තොටට යහපත් නාවිකයා….”ගීතය ලියූ මටත් එහි සංගීතය නිර්මාණය කල කාලෝ විජේසිරිටත් කතෘභාගය හැටියට එක්කෙනෙකුට රුපියල් 25,000 ගානෙ රුපියල් 50,000ක් ගෙවනව. කාලෝ විජේසිරි මියගියත් ඔහුගේ බිරිඳට ඒ මුදල තැපැල් මගින් යවනව.
අපි ඉල්ලල නෙමෙයි, සුනිල්ම හිතල ස්වකැමැත්තෙන් සිදුවන දෙයක්. 2016 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දෙම සුනිල් ගෙ උපන්දිනය දවසට ඒ වැඩේ වෙනව.
මේ අවුරුද්දෙත් ඒ කටයුත්ත වෙනදට වඩා කලින් සැප්තැම්බර් පලමුවෙනිදාම කරන්න සුනිල් ඇයි තීරණය කලේ කියල මම ඇහුවෙ නෑ.සුනිල්ට කොරෝනා වැළඳිල, සුවපත් වෙල ආපු බව මම දන්නව. මම ඒ ගැන ඇහුවෙත් නෑ. සුපුරුදු ලෙස උපන්දිනය දාටම සුනිල් මුණ ගැහිල ආ ගිය තොරතුරු සැපදුක විමසන්න මම හිතාගෙන උන්නෙ.
අනේ සුනිල්,ඇයි මෙහෙම උනේ….?

සුනිල් පෙරේරා කාටවත් බයත් නැති ණයත් නැති සුන්දර මිණිහෙක්.
සුනිල්,ඔබ දෙව්මව්තුරුලේ සුබ සිහිණ දකින්න.

– ඩබ්ලිව්. ජයසිරි (fb)

ඔහු නික්ම යන්නේ, සියලු පැතිවලින් ලංකා සමාජය තව තවත් ජරාජීර්ණ වන සමයක

ඒ 1980 දශකය. සාහිත්‍ය කලාව තුල ප්‍රබුද්ධ, පීචං බෙදීම අපේ ඔලු තුලට ඇතුලු කල පෙර පරම්පරාව සමාජයේ කැපී පෙනෙන්න නම් ප්‍රබුද්ධ ගොඩේ හිටපං යැයි අපව තත්වාරෝපණය කල කාලසමය. ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ලොකු කතාබහක් ඇතිකරමින් “කුරුමිට්ටෝ සහ ලුණු දෙහි” ගීත ද්වය ඇතුලත් ඇල්බමය සමග වෙනස් ආරක රසයක් සමගින් ජිප්සීස් සංගීත කණ්ඩායම යළි සමාජගත වුණා. ඒ ඇල්බමය කෙතරම් ජනප්‍රියවූවා ද කියනවා නම් “කුරුමිට්ටෝ” නමින් සංගීත ප්‍රසංගයක් පවා සංවිධාන වුණා.

මේ සංගීත ප්‍රසංගය මහනුවරට රැගෙන ඒම සංවිධානය කලේ අපේ මිතුරන් කිහිපදෙනෙක්. චාල්ස්, ජීවක, තිලක්. ඒ වෙනුවෙන් කල සමරු කලඹ ට මා ද සම්බන්ධ වුණා. කටුගස්තොට ශාන්ත අන්තෝනි රංග ශාලාව සෙනගින් පිරී ඉතිරී ගිය මේ ප්‍රසංගයේ ටිකට් පත් සියල්ල විකිණී ගියේ සති කිහිපයකට කලින්. ප්‍රසංගය දා ප්‍රවේශපත් නැතිව අතිවිශාල සෙනගක් රඟ ශාලාවෙන් එළියේ පොරකකා සිටියා. අවසානයේ තීරණය කලා අනෙක් අයට බාධාවක් නොවන ආකාරයට හැකි පිරිසක් රු.20ක් අයකර ඇතුලට ගන්න. ඉඩ තිබෙන හැම තැනක්ම මොහොතකින් පිරී ගියා.

සුනිල් පෙරේරා ඇතුලු ජිප්සීස් කණ්ඩායම ගැන විශේෂ අවධානය යොමුවන්නේ එතැන් සිට. ඔහු ඉදිරිපත් කල ප්‍රාසාංගික දේ ගැන ගැටමුසු තැන් ඇතත් ඔහු ජනප්‍රිය කලාවේ හිණිපෙත්තේ ඉහළම පඩිය ස්පර්ශ කල කෙනෙක්. ලංකා දේශපාලනයේ චෞර ආධිපත්‍යය ගැන, ආගම්වාදය, ජාතිවාදය ගැන ඔහුට තිබුණේ ප්‍රබුද්ධ යැයි සන්නාමගත බොහෝ කලාකරුවන්ට වඩා සාධනීය ඉදිරි දැක්මක්. එය ඉඳුරාම ගෞරවනීයයි.

කෙසේ වෙතත් ඔහු අද සිය දිවිසැරිය නිමා කලා. සියලු පැතිවලින් ලංකා සමාජය තව තවත් ජරාජීර්ණ වන සමයකයි ඔහු නික්ම යන්නේ. ඔහු එක අතකින් කණ්ඩායම් සංගීතයේ වෙනස් පුරාවෘත්තයක්. එය අප කැමති හෝ අකමැති වේවා තව කාලයක් පවතින්නක්. ඊටත් වඩා ඔහු සිය අවසාන සමයේ දැරු සමාජ දේශපාලන දැක්මමත පිහිටා ඔහුව මතකයේ තබාගන්න අප වඩාත් කැමතියි.
සුනිල් පෙරේරා කලාකරුවාගේ ආත්මයට සුගතියක්ම අත්වේවා!

– කපිල එම්. ගමගේ

කම්පනය වෙනුවෙන් ලියවුන ඉක්මන් සටහනක්

ශ්‍රී ලංකේය ගීත කලාවේ තවත් විශාල පදාසයක් සුනිල් සමග අවසන් ගමන් යන මොහොතේ මේ ඒ කම්පනය වෙනුවෙන් ලියවුන ඉක්මන් සටහනක් විතරයි. සුනිල් පෙරේරා කියපු ගමන් නිකං මතකයට එන හයිලයිට්ස් ටිකක්!
සුනිල්ගේ ගීත කලාව බොහෝ ගායක ගායිකාවන්ට යන්න බැරි දිසාවන් ගණනාවක් කරා යනවා.
ඔහු ‘ලුනුදෙහි’, ‘ඔජායේ’ කියමින් පාටි ගීත වල හොඳම එකට යනකොට අනිත් පැත්තෙන් ඔබ ‘දුටු ඒ මුල් දිනේ’ කියමින් ආදර ගීත වල ද ඒ හා සමාන සාර්ථක අන්තයකට යනවා. සුනිල්ට ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම ඉතාම මිහිරියට ගී ගයන්නට පුළුවන් වූ අතර එහෙම අපට සිටින්නේ ගායක ගායිකාවන් ස්වල්පයක් විතරයි.

ජිප්සීස් ගායන කණ්ඩායම ශ්‍රී ලංකාවේ මෙතෙක් නොනැසී දීර්ඝතම කාලයක් ක්‍රියාත්මක වූ සංගීත කණ්ඩායම නෙමේ නම් ඒ කීපයෙන් එකක්. විශේෂයෙන් පසුව ආ මේරියන්ස් සන්ෆ්ලවර්ස් වැනි ගායක කණ්ඩායම් වලට විශාල පසුබිමක් හැදුවේ සමහර අවස්ථාවල ආධාර උපකාර පවා කළේ ආභාෂය ලබා දුන්නේ සුනිල් ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායම යි. ජිප්සීස් ගෙන් පසුව ශ්‍රී ලංකාවේ විවිධාකාර අහුමුළුවල බිහිවුණු බොහෝ ගීත කණ්ඩායම් වල පරමාදර්ශය වුණේ ජිප්සීස්. ශ්‍රී ලංකාවේ නන්ස්ටොප් ගීත කලාවේ ද සුනිල් පෙරේරා පුරෝගාමියෙක්. කොටින්ම සුනිල්ගෙන් පසුව හා අති බහුතරයක් තරුණ පොප් ගායක ගායිකාවන් සුනිල්ගෙන් ජාතක හෝ අවජාතක උන කොටස් යැයි කීම අතිශයෝක්තියක් නෙවෙයි.
ඒ බොහෝ අයගේ නිර්මාණ තුළ මොනවා හෝ සුනිල්ගේ ගීත කලාවෙන් ලැබූ යමක් තිබුන. මොකුත් නැත්නම් ඇඳුම් පැළදුම් හෝ ඉදිරිපත් කිරීමේ රටාවෙන්වත්.

සුනිල්ට ගීත නිර්මාණයේ දී තාක්ෂණික සහ කාර්මික පැත්ත පිළිබඳ ඉතාම හොඳ අවබෝධයක් තිබුණු අතර hi fi setup වලට හරියන විදිහට කටහඬ සහ සංගීතය නිර්මාණය කරන්ඩ ඔහුට හොඳ අවබෝධයක් තිබුණා (ඊට අමතරව ක්ලැරන්ස්ටත් ඒ අවබෝධය තිබුණා) සුනිල් ශ්‍රී ලංකාවේ ඉහළම පන්තියේ මෙන්ම පහළම පන්තියේත් රසිකයින්ගේ ප්‍රියතම ගායකයෙක් වුණ අතර ඒ පන්ති දෙකටම අමතන්නට ඔහුට එකහා සමාන හැකියාව තිබුණා. ඒ නිසා ඒ දෙකටම ඔහුට සංස්කෘතික බලපෑමක් කරන්න පුළුවන් වුණා. ඒ සෑම කෙනෙක්ම කොහේ හරි විනෝද උනොත් සුනිල්ගේ හඬ ඔවුන් සමඟ තිබුණා.

නටන්න බැරි ලජ්ජා කුලෑටි ඕනෑම කෙනෙකුට සුනිල්ගේ ගීතයකට එක ක්ෂනික නටවලා ගන්න පුළුවන් වුනා. සුනිල් දැනගෙන හිටිය බොරු සෝබන පැත්තකින් දාලා ඇතුලෙන් නටන්න ආසා තියෙන මිනිහව නටන්න ඇදලා ගන්න හැටි. ඔහුගේ බොහෝ ගීත වලට වස්තුවිෂය උනෙත් මැද පංතික ජීවිත වලම තියෙන විකාර සහ හරසුන් භාවයයි, හස්බන්ඩ් සහ වයිෆ්ගෙ හරසුන් ක්‍රියාකාරකම් ආදියයි. ඒවටම හිනා වෙවී ඔවුන්ව නටවන්නට සුනිල්ට පුළුවන් වුණා.

සුනිල් පුද්ගලිකවත් අතිශය විවෘත මිනිහෙක් වුනු අතර ඔහුගේ ගීත වල ඇති ඒ අව්‍යාජ විවෘතභාවයම ඔහු අදහස් ඉදිරිපත් කරන කොටත් තිබුණා. කුහකත්වයට බොරු සෝබනයට ව්‍යාජ බවට සුනිල් එළිපිට පහර දුන්නා.
ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකව වඩාම සාර්ථක වූ ගායකයෙක් වුණත් වෙනත් විදිහකට ආර්ථිකව සුරක්ෂිත වුණු සුනිල් ගී කියන්න එන්නේ විනෝදයට. කොහොමටත් සුනිල් ආවේ මුහුදුකරයේ විනෝදයට ගී කියන ක්‍රිස්තියානි සංස්කෘතික ගීත ධාරාවකින්.
එහෙත් සුනිල්ලා ගේ ගීත කලාව හුදු සරල නැටුම් ගැයුම් සඳහා ඇති ගීත කලාවට වඩා එහා ගිය ගැඹුරු මානසික අභ්‍යාසයක් ඇති කළ ගීත කලාවක් වන ආකාරය තවමත් හරියට සාකච්ඡා වෙලා නැති වැදගත් කාරණයක්.
සුනිල්ගේ ගීත කලාව ශ්‍රී ලාංකික ගීත කලාවටත් සංස්කෘතියටත් කරපු බැලපෑම අති විශාලයි. සුනිල් යනු හුදු ගායකයෙකුට වඩා සංස්කෘතික අයිකෝනයක්.
සුනිල් ඔබට ස්තූතියි, සුව නින්දක්!

– ධනංජය කරුණාරත්න  (fb)

මෙතැනින් කොතැනට ද?

ඊයේ රෑ මම ගන්ස් ඇන්ඩ් රෝසස් ලගේ Sweet Child of Mine ඇහුවා. මීට කලින් ගොඩක් වාරයක් මම ඒක අහල තියනවා. නමුත් මොකක්දෝ එකකට ඊයෙත් ඒක අහන්න හිතුණා. ඒ ගීතය ගැන කරපු ස්ලෑෂ් ගේ ඉන්ටවිව් එකකුත් බැලුවා. ස්ලෑෂ් ට එක්තරා දවසක නිරායාසයෙන් ගලා ආපු ඒ සිංදුවේ ආරම්භක ගිටාර් ඛණ්ඩය ලෝකේ අයිකොන් එකක්. රොක් අයිකොන් එකක්. ඒ සිංදුව කරපු Gibson Les Paul ගිටාරය පවා කෞතුක වස්තුවක්.

උදේ බලද්දී ජිප්සීස් සුනිල් පෙරේරා අවසන් ගමන් ගිහිල්ලා. අපේ පොඩි කාලේ ඇහුණ අමුතු ටියුන්ස් කිහිපයක් පිටිපස්සේ හිටපු මනුස්සයෙක් සුනිල්. කුරුමිට්ටෝ, පහසුවටත් වාසියටත්, ලිඳ ළඟ සංගමය, හිනා හිනා, ඔබ දුටු ඒ මුල් දිනේ, ඕයේ ඔජායේ, ලුණු දෙහි, සයිමා කට් වෙලා, පිටි කොටපන් නෝනේ වගේම මුල්ම නන්ස්ටොප් එක ඇතුලේ පොඩි වෙනස් බවක් තිබ්බා. අර ප්‍රබුද්ධ වගේ එකක තිබ්බ ඔතෑනි මෙලන්කොලික බව වෙනුවට නිකම් ලයිෆ් කික් එකක් ඒ හැම සිංදුවකම තිබ්බ.
ජීවිතේ එන්ජෝයි කරන්න, දේවල් දිහා සරලව බලන්න, ෆන් ටයිප් එකේ ආයාචනයක් ඒවා ඇතුලේ හැංගිලා තිබ්බා. ඒ ගැන මට සීරියස් හැඟීමක් ආවේ නිහාල් පීරිස් ගේ ‘රූකාන්තලා, නන්දා මාලිනිලා, අමරදේවලා සහ අපි’ පොතෙන්. ඒ පොත මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්.

ඒ ජනප්‍රිය සංස්කෘතියේ විශාල චරිතයක් තමයි ජිප්සීස් සුනිල්. ඒවා ඇතුළෙත් යම් සමාජ යථාර්තයක් තිබ්බා. ඔහු කැසට් වල කෙලින්ම ගැහුවා ‘ප්‍රබුද්ධයන් ට අජීර්ණ විය හැක’ කියල. ඒ අධිපති විසංයෝජනය හොඳ දෙයක් වුණත් මට මගේ පොඩි කාලේ ඒ වයසේ හැටියටත් ඒ ගැන ලොකු ප්‍රසාදයක් ඇතිවුණේ නැහැ. ලොකු අදායමක් එන්න ඇති ඒවායින්. හැබැයි මේකද අපි ලෝකෙට ගෙනියන්න ඕනි සංගීතය කියල මට අදටත් හිතාගන්න බැහැ.
විශේෂයෙන් ෆ්‍රෙඩි මර්කරි ල ඔපෙරා සංගීතයෙන් පවා අත්හදා බැලීම් කරන්න හදපු කාලෙක මට ඒ අජීර්ණ කතාව අදටත් අල්ල ගන්න බැහැ.

අද ගන්ස් ඇන්ඩ් රෝසස් අහන මට ඒ වෙලාවේ ඇතිවුණ ඒ හැඟීම ගැන ඊටත් වඩා අදහසක් අද තියනවා. ඒ ගැන පස්සේ ලියන්නම්. ජනප්‍රිය ආකෘතියක් ඇතුලේ උණත් ගොඩක් ලොකු කතාවක් අපිට මේ ලෝකෙට ප්‍රධානය කරන්න පුළුවන්. මම හිතන්නේ නැහැ සුනිල් අයියා ඒ අතිරේක දුර (extra mile) යන්න උත්සාහ කළා කියල.
ගොඩක් ජනප්‍රිය දේවල්, ලිංගිකත්වය, රැඩිකල් බව, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අපේ කඳවුරේ තියන ලොකුම ප්‍රශ්නෙත් ඒක. දැක්ක දුටුව පමණින් දේවල් උස්සනවා උනාට අපේ සමාජය ඇත්තට සකස් වෙලා තියන විදිය ගැන මීට වඩා ටිකක් ගැඹුරින් හිතුවොත් හොඳයි. නැත්නම් අපි ආයේ ආයෙත් පරාදයි.

සුනිල් අයියා අපේ පශ්චාත් යටත් විජිත (නිදහසෙන් පසු) ලාංකික සමාජයට උඩින් ගලාගිය වලාකුළක් වගේ කියල මට හිතෙනවා. වැහි පොද ටිකක් වැටුණා තමයි. හැබැයි ලොකු අස්වැන්නක් නෙළන්න ඒ වැස්ස ප්‍රමාණවත් උණේ නැහැ. සමහර වෙලාවට ඒක එයාට අවශ්‍ය නොවෙන්නත් ඇති.

ලොකුවට මියුසික් දන්නේ නැහැ කියල කියන්න සුනිල් අයියා බය වුණේ නැහැ. ඒ වගේම එයාගේ විදියට එයා ෆයිට් එකේ හිටියා. නමුත් එයාගේ ෆයිට් එක වෙනුවෙන් ඕනි බර එයා ළඟ තිබ්බද මම දන්නේ නැහැ. නමුත් මේ ගමන යන්න ඒක බාධාවක් කර ගන්න ඕනිත් නැහැ.

ඇක්සල් රෝස් ලියපු Sweet Child of Mine සිංදුව අන්තිමට සිංදුවක් කරන්න ස්ලෑෂ් පොඩි එකතුකිරීමක් කරනවා. ඒ තමයි ‘දැන් අප යන්නේ කොතැනටද’ (Where do we go now) කියල අහන කොටස. මම ඒක මේ සටහනේ මාතෘකාව කරන්නම්. කමක් නැහැ නේද?
ඒ සිංදුවේ තියන විදියට ගත්තොත් අපට ඉහලින් තියන ආකාසේ පැහැදිලිවත් නිල් පාට තවරලාවත් නැහැ… හැබැයි වලාකුළකට ගමන් කරන්න ඒක බාධාවක් වෙන්නෙත් නැහැ.
ලොකු ලොකු දේවල් පස්සේ ගිය නැති ඒ වළාකුල වෙනුවෙන් මේ සටහන.
සුබ ගමන්!

– මහේෂ් හපුගොඩ (fb)

සුනිල් පිළිබඳ සොඳුරු සත්සර මතකයෙන් කෙටි සටහනක්

අප කුඩා කාලයේත්, පූර්ව යොවුන් වයසේත් ආසාවෙන් ඇසුවේ ජිප්සීස්ලාගේ බටහිර සංගීත රිද්මය සමග මුසුවූ ගීතය. ප්‍රබුද්ධ නැති නම් සුබාවිත ගීත යනුවෙන් හැඳින්වූ ‍ගී අසන්නට පටන් ගත්තේ තරුණ වියේ සිටය. පාසල් වල මේස වලට තට්ටු කරමින්, චාරිකා යමින්, සාද වලට සහභාගිවෙමින් අප කවුරුත් ජිප්සීස්ලාගේ ගායනා කළේ ජිප්සීස්ලාගේ ගීතය. 1977 විවෘත ආර්ථිකයත් සමග කැසට් කර්මාන්තය නැග ඒමත්, විශේෂයෙන් මැද පෙරදිග රැකියාවන්ට ගොස් එන අය කැසට් යන්ත්‍ර බහුලව ගෙන ඒමත් සමග ලංකාවේ එතෙක් ගුවන් විදුලියට සහ තැටි වලට පමණක් සීමා වී තිබූ සංගීතය වැඩි වැඩියෙන් ජනගත වන්නට විය. නාගරිකයා තැටි වාදන යන්ත්‍ර වලින් ගීත ඇසුවත් ග්‍රාමීය ජනතාවට තිබුණු අවස්ථාව වූයේ ගුවන් විදුලියෙන් ගීත ඇසීම පමණි.

අධිරාජ්‍යවාදීන් මෙරට සියවස් හතරකට වැඩි කාලයක් තිස්සෙ අර්ධ සහ පූර්ණ වශයෙන් යටත් කරගෙන තිබීම නිසා ශ්‍රී ලංකාවේ ජනතාව අතර බටහිර කවරකට වුවද විරෝධය පෑමේ විඥානයක් ගොඩ නැගී තිබීම පුදුමයට කරුණක් නොවේ. මේ ජාතිකවාදී ස්ථාවරය නිසා ලාංකීය සමාජයේත්, නිළ ආයතනවලත් වැඩියෙන්ම පිළිගැනුනේ පෙරදිග සංගීතයයි: හින්දුස්ථානී සංගීතයයි. බටහිර සංගීතය ද තුප්පහි සංගීතයක් කියා නිර්දය ලෙස විවේචනයට ලක්විය. ‍ගුවන් විදුලි සංස්ථාවෙන් බටහිර ගීත වලට මුල් කාලයේ සැලකිය යුතු අනුග්‍රහයක් ලැබුණේ නැත. එහෙත් එවැනි සන්දර්භයක් තුළ බටහිර සංගීතය ඇසුරු කරමින්, බටහිර සංගීත තණු අනුකරණය කරමින්, පර්යේෂණාත්මක ලෙස ජනප්‍රිය සංගීතය නිර්භය ලෙස ඉදිරිටය ගෙනයන්නට ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඇතුළු කණ්ඩායම කටයුතු කළහ. මුල් කාලයේ සී.ටී.ප්‍රනාන්දු වැනි බටහිර ශෛලියේ ගායකයන්ට සිදුවූ අසාධාරණයන් ජිප්සීස්ලාට සිදුනොවන්නට හේතුව 1977 න් පසු ඇති වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය සහ ජිප්සීස්ලා වානිජමය හොඳින් ස්ථාවර වීම යන කරුණු දෙක යයි සිතමි. අනෙක් අතට විවිධ විචාර, විවෙචන හමුවේ නොසැලී සිටීමත් ජිප්සීස්ලාගේ ජයග්‍රහණයට හේතු වන්නට ඇත.

මාගේ මතකයේ හැටියට 1987 එච්.ආර්. ජෝතිපාලගේ අභා‍වයෙන් පසු ලංකාවේ සංගීත කලාව පිළිබඳ ඇති වූ ප්‍රබුද්ධ පීචං වාදයේ දී වැඩියෙන්ම බැට කෑවෙ ජිප්සීස්ලා සහ එච්.ආර්. ජොතිපාලය ඇතුළු ජනප්‍රිය ගායකයින්ය. බටහිර සංගීතය මුසුවූ බජව් ගීත – ප්‍රබුද්ධ පදමාලාවක් නැති ගීත, පීචං ගීත යනුවෙන් ද, ඒවා ගර්හා කොට ඉවතලිය යුතු තරම් ඒවා ය යන මතය එකළ සමාජය තුළ මතවාදයක් ලෙස පැතිරිණි. එහෙත් වඩාත් විමසිල්ලෙන් බලන්නේ නම් ජිප්සීස්ලාගේ ගීත වල සුවිශේෂ අර්ථවත් පදමාලාවන් ඇත්තේය. ඒවායේ විවිධ සාධනීය සාමාජීය අරුත් තිබුණේය. නිදසුනක් ලෙස එකළ සරසවි සිසුන් සහ ඇතැම් වාමාංශික කාඩරයන් විසින් අවඥාවෙන් සලකන ලද “ ඕයේ ඔජායේ” යන ගීතය දැක්විය හැකිය ( නෑ කිසි භේදේ, සමගිය හා සහයෝගේ- වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ – නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ – ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ- තාමත් රැව්දෙයි වැදි ගී නාදේ). ජිප්සීස්ලා වෙනුවෙන් ගීත රචනා කළේද ප්‍රධාන ධාරවේ මෙන් ප්‍රසිද්ධ ගීත රචකයින් ද නොවේ. ජිප්සීස්ලාගේ ගී පද පිළිබඳ පූර්ණ ශාස්ත්‍රීය සහ කලාත්මක විචාරයන් සිදුවී ඇත්දැයි මම නොදනිමි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල තුළ ජිප්සීස්ලාට එරෙහිව එවකට බලයේ සිටි ශිෂ්‍ය සංගම් විසින්ම ඇති කරන ලද දැඩි විරෝධයක් තිබිණි. ඒ නිසා විශ්ව විද්‍යාල තුළට වර්ණ රාත්‍රිය (color night) වැනි අවස්ථාවන් ජිප්සීස් සංගීත කණ්ඩායම ගෙන්වා ප්‍රසංග පැවැත්වීම ලෙහෙසි පහසු කරුණක් නොවීය. මගේ මතකයේ හැටියට ඔවුන්‍ ගෙන්වා පවත්වන්නට තිබූ එවැනි සංගීත ප්‍රසංග අවලංගු කිරීමට සිදුවිය ( මතක ඇති අය ලියන්න)

ජිප්සීස්ලාගේ මේ අපූරූ පදමාලාවලින් යුක්ත ගීත ගැන අපූරු සඳහනක් ප්‍රවීන ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් නිෂ්පාදනය කළ, ඇතම් විට ඔහු නිවේදනය කළ ගුවන් විදුලි වැඩසටහනක ( මගේ මතකයේ හැටියට එය සැරිසර නම් විය) ප්‍රචාරය වූවා යයි මට මතකය. එය මෙසේය. දකුණු පළාතේ හැටට හැටේ ධාවනය වූ බස් රථයක් පෙරළුණි. අසල්වාසීන් එක්ව බසයේ සිටින තුවාල කරුවන් බේරාගැනීමට එද්දී ඒ වන විටත් වාදනය වෙමින් තිබුණේ එකළ ජිපසීස්ලාගේ ජනප්‍රිය ගීතයක මේ කොටසයි. “ ඕවත් වැඩ ද මල්ලි ඕවත් වැඩ ද රජ වැඩ කිඩ දෙන්නට නුඹ රජ කකුලක් ද ?”
අනෙක් පැත්තෙන් කලාකරුවකු ලෙස සුනිල් පෙරේරා ප්‍රගතිශීලී අදහස් ප්‍රශංසනීයය. ජාතිවාදයට, මිත්‍යාවට, දූෂිත දේශපාලනයට එරෙහිව ඔහු කෙලින් සිටගත්තෙකි.

කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙලවර විය හැකිවාක් මෙන්ම කලාව ආනන්දයෙන් ඇරඹී ආනන්දයෙන්ම කෙළවර විය හැකිය. වඩාත් දියුණු ලෞකික සමාජයකට ඒ බහුත්වය ( Pluralism) අවශ්‍යය. ජිප්සීස්ලාගේ ගීත තුළ ඒ ලක්ෂණ දෙකම තිබුණා යයි මම සිතමි. සුනිල් පෙරේරා කලාකරුවානනි අපගේ ලෞකික ජීවිතය අපූර්වත්වයෙන්, රිද්මයෙන් සහ රසයෙන් පුරවාලන්නට ඔබ කළ කාර්ය තවත් කාලාන්තරයක් අපේ ජනසමාජයේ නින්නාද වනු ඇත. සුබ ගමන්.

– අතුල දිසානායක (fb)

“සුනිල් ජවිපෙ වේදිකාවට නැග්ගෙ ඇයි? මම හිතන්නෙ ඇසිය යුත්තේ ඒ ප්‍රශ්නය”

සුනිල්!!!
පසුගිය කාලෙ මගේ දේශපාලන විරුද්ධවාදීන් මා සම්බන්ධ විවේචන ඉදිරිපත් කරන විට මා අයත් එක් දේශපාලන කුලකයක් වර්ගීකරණය කලේ සුනිල් පෙරේරා ද එයට ඇතුළත් කරමිනි. ඒ මගින් ඒ අය බලාපොරොත්තු වුනේ සුනිල් පෙරේරා සමඟ එක් කුලකයකට ඇතුළු කිරීම මගින් මා තුළ මගේ දේශපාලන භාවිතය පිළිබඳ ලැජ්ජාවක් ඇති කිරීමටයි. නමුත් මා තුළ ඇත්ත වශයෙන්ම ඇති වූ හැඟීම එහි ප්‍රතිවිරුද්ධයයි. එනම් සුනිල් පෙරේරා ද අයත් කුලකයකට මටත් අයත් වීමට ලැබීම මගේ දේශපාලන භාවිතයේ කිසියම් සාර්ථකත්වයක් පිළිබඳ නිදර්ශනයක් ලෙස මට හැඟීමක් ඇති වුනා.
ඒ ඇයි?
මට සුනිල් පෙරේරා පුද්ගලිකව එකිනෙකාට අභිමුඛව මුණ ගැසුනේ මෑතක දී. මතක විදිහට මුළින්ම මුණ ගැහුනෙ ජවිපෙ මෙහෙයවීම යටතේ 2015 මහා මැතිවරණයයට සමගාමීව මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවැති සමුළුවේ දී. ඒ “හලෝ කොහොමද“ මට්ටමේ “මං ඔයාව දන්නව“ මට්ටමේ කෙටි අදහස් හුවමාරු කරගැනීමක් පමණයි. ඉන්පසු එක් අවස්ථාවක ඔහු සමඟ වාහනයක් තුළ දිගු කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබුණා. ඒ දිගන ප්‍ර දේශයේ ඇති වූ මුස්ලිම් ප්‍රහාර සම්බන්ධව ජවිපෙ මෙහෙයවීමෙන් පැවැති රැස්වීමට යාම විය යුතුයි. ඒ අවස්ථාවේ මහනුවර පාරක් අයිනේ පදික වේදිකාවේ මධ්‍යම රාත්‍රියේ ප්ලාස්ටික් කෝප්පවලට දමාගෙන පොඩි අඩියක් ගැසීමටද අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ අපගේ “විදග්ධ“ අදහස් ඔහුත් සමඟ හුවමාරු කරගැනීමට මමත් ලියනගේ අමරකීර්තිත් උත්සාහ කළා මතකයි.
කෙසේ වෙතත් මම සුනිල් පෙරේරා සහ ජිපසීස් සමඟ හැදී වැඩුනු පුද්ගලයෙක් කියන්න පුළුවන්. මගේ ළමා සහ ගැටවර වියෙන් සෑහෙන කාලයක් ගෙවුණෙ 1970 සහ 1980 දශක වල මොරටුව ආශ්‍රිතව. සුනිල් සහ ජිප්සීස් කියන්නේ මේ ප්‍ර දේශයේ සංස්කෘතික ජීවිතයේ ඓන්ද්‍රීය පුරුකක්. කෙසේ වෙතත් මම ලෝකයට පිවිසුනේ “විදග්ධ“ සංස්කෘතියේ සාමාජිකයෙක් වීම පිළිබඳ හීනමානයකින් යුක්තව කියන්න පුළුවන්. ඒ නිසා මගේ වටපිටාවේ සිටි සෙසු අයට තරම් මට එළිපිට ජිප්සීස් හෝ නිහාල් නෙල්සන් හෝ රසිකයෙක් බවට පත්වීමට මා විසින්ම අයිතියක් දී තිබුණේ නැහැ. මම කැමති වුනේ සංගීතයට අදාළ මගේ සංස්කෘතික වීරයා ලෙස තවත් මොරටු පුත්‍රයෙක් ම වූ අමරදේව සලකන්න. ඒත් ජිප්සීස් නිහාල් නෙල්සන් ජෝතිපාල වැනි අයට තිබූ අවිඥානික ආකර්ෂනය නැති වුනේ නැහැ. අවට ලෝකයෙ දෛනික සංස්කෘතික ජීවිතය තුළ මට අභිමුඛ වුනේ අමරදේවලාට වඩා ජිප්සීස්ලා. තරමක් දුරස්තව වුනත් මමත් ඒ සංස්කෘතියේ කොටසක් වුනා.
නමුත් දේශපාලන වශයෙන් මට සුනිල් එතරම් කිට්ටු වුනේ නැහැ. උත්ප්‍රාසජනක ලෙස පසුකාලයක සුනිල් සමඟ කිට්ටු වීමට ද හේතුවූ ජවිපෙ දේශපාලනය එකළ මා ඇදි ගියේ සුනිල් නියෝජනය කළ දේශපාලන නැඹුරුවට විරුද්ධවයි.

මොරටුව තරම් 1977න් පසු ඇති වූ ආර්ථික පරිවර්තනය මතුපිට ප්‍රකාශයට පත් වූ තැනක් වෙන නැතුව ඇත. මට මතකයි EXPO 80 කියන සැනකෙළිය. ඒක තිබුණෙ කටුබැද්දෙ සොයිසා ක්‍රීඩාංගණයේ. එක්ස්පෝ කියන වචනෙ තේරුම මොකක්ද කියන එක ගැන මට සෑහෙන ප්‍රශ්නයක් තිබුණත් මේක අළුත් සමාජ-සංස්කෘතිය යුගයක සංඥාවක්ය කියන එක ඇඟට දැණුන. සුනිල් ගේ මුහුණ මේ නව සමාජ-සංස්කෘතිය භූ දර්ශනයේ ඉදිරියෙන්ම තිබුණ. බෙලෙක් කඩේ හන්දියෙන් දවසට හය පාරක් ඒ පැත්තටයි හය පාරක් මේ පැත්තටයි යන්න වෙලා තිබුණු කාලෙත් ග්ලූකෝරස කියන විශාල පුවරුව දකිනකොට සුනිල්ගෙ මූණ මතක් වුනා.
ඊට පස්සෙ සුනිල් තීරණාත්මක ලෙස අභිමුඛ වුනේ. 1990 දි. ඒක ටිකක් අමුතු අභිමුඛ වීමක්. තවමත් මම විදග්ධ සංස්කෘතියේ හා රසිකයෙක් මෙන්ම ඇතැම් විට විචාරකයෙක්ද වීම පිළිබඳ අභිමානයකින් සිටියෙ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමය තමන්ගෙ රාත්‍රී සාදයක් සඳහා ජිප්සීස්ලට ආරාධනා කරන්න තීරණය කළ විට ඊට විශාල විරෝධයක් සංවිධානය කෙරුණ. ඒ ජාතික චින්තනයට හා ජවිපෙට පක්ෂ පිරිස්වල මූලිකත්වයෙන්. නීති ශිෂ්‍ය සංගමයෙ බලය තිබුණෙ මම අයත් වුනු සහ එවකට දුර්වල වෙමින් තිබුණු ස්වාධීන ශිෂ්‍ය සංගමයට. නීති පීඨයේ සිටි දෙමළ සිසුන් නිසා නීති පීඨයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ස්වාධීන ශිෂ්‍ය සංගමයට තිබුණ. කොහොම වුනත් ජාතිකවාදී හා ජවිපෙ විරෝධතා මැද ජිප්සීස් ල ආව. මම රාත්‍රී සාද ලෝලියෙක් නොවුනත් විරෝධතා කරුවන්ට විරෝධය දැක්වීමේ (නිගේෂන් ඔෆ් නිගේෂන්) පිළිවෙත මත සාදය අවසන් වන තෙක් ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ රැදී සිටියා. ජිප්සීස්ලත් ඒ විරෝධයෙන් ටිකක් උද්දාමයට පත් වෙලා තිබුණ බව පෙනෙන්නට තිබුණ. මධ්‍යම රාත්‍රියේ දී “අපි තාමත් සිංදු කියනවා… පෝස්ටර් ගහපු අය ගෙවල්වල බුදි…“ වගේ අරුත් ඇති වචන මාලාවකට සංගීතය මුසු කොට ගායනා කිරීමද සිදු කලා.

කොහොම වුනත් සුනිල් පෙරේරත් ඉන්න දේශපාලන කුලකයකට අයත් වීමට ලැබීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් සුනිල්ලගෙ පවුලම ප්‍රකට යූඇන්පී කාරයො. මම සාමාන්‍යයෙන් මගේ දේශපාලන අනන්‍යතාවය තේරුම් ගත්තේ යූඇන්පී එකට කිසිම සම්බන්ධයක් නැති එකක් විදිහට. මගේ විරුද්ධවාදීන් මීට වඩා වෙනස් දේ කිව්වත් මම මම ගැන හිතුවෙ එහෙමයි. ඒ තත්වය තුළ සුනිලුත් මමත් එක දේශපාලන කුලකයකට ඇතුළු වීම මම මට ම තේරුම් කරන්නෙ කොහොමද?

සුනිල් ජවිපෙ වේදිකාවට නැග්ගෙ ඇයි? මම හිතන්නෙ ඇසිය යුත්තේ ඒ ප්‍රශ්නය.
මං හිතන්නේ නැහැ සුනිල්ට ජවිපෙ වේදිකාවට නැගීමෙන් පුද්ගලිකයව වාසියක් තිබුණ කියල. ඔහු සමඟ කලින් කී “දිගන ගමන“ තුළ මට ප්‍රත්‍යක්ෂ වූ දෙයක් තමයි ඔහු මේ මැදිහත්වීම කරන්නේ විශාල ලාලාසාවකින් කියල. ඒක නිකං මේ හුදු පෙනී සිටීමක් උදෙසා කරන දෙයක් නෙවෙයි කියල මට පෙනී ගියා. සාමාන්‍යෙයන් සුනිල් වගේ කෙනෙක්ගෙ රාත්‍රියක් කියන්නේ අතිශයින් මිල අධික රාත්‍රියක්. නමුත් ඒ රාත්‍රිය වෙනුවෙන් ඔහුට මිලක් ලැබුනේ නැහැ. අපි නුවර සිට ආපසු ගමනේ අවසානය වන විට මට වෑන් එකේ ආසනයේ නින්ද ගොස් තිබුණ. හදිස්සියේම අවදි වුනේ වෑන් එක නතර කරනකොට. ඒ විශාල සුදුපාට තාප්පයක් ඉදිරිපිට. සුනිල් අපිට සමු දී වෑන් එකෙන් බැහැල ගියා. මට එක්වරම ඔහුගේ නිවසේ විශාලත්වය පිළිබඳ හැඟීමක් ඇති වුනා. පැය කීපයකට පෙර නුවර පදික වේදිකාවක මහ රෑ ප්ලාස්ටික් කෝප්ප වලින් අරක්කු බොන දර්ශනයයි මේ විශාල තාප්පයයි අතර කිසියම් නොගැලපුමක් දැණුන. ඒ කියන්නෙ මේ තරම් විශාල තාප්පයක් සහිත නිවසක ජීවත්වන කෙනෙක් අරවැනි ක්‍රියාවකින් සතුට ලබන්නේ ඇයි. මේක ලියනකොට මට මතක් වුනා දිලිත් ජයවීර අරක්කු ටිකක් හොයන්න ත්‍රීවීල් එකක් නැගල යන ෆොටෝ එකක්. ඒකත් ටිකක් ඒ වගේ.

මිනිස්සු කොච්චර සැප වින්දත් ඒ සැප විදීම නිසාම අහිමි වන දෙයක් තියෙනව. ඒ අහිමි වීම දේශපාලනයක් වෙන්න පුළුවන්. අපි සුනිල් ගෙ ගීත දිහා බැලුවත් මේ ප්‍රතිවිරෝධය දකින්න පුළුවන්. මට මෙතනද මතක් වෙන්නෙ 1980 ගණන් වලම අග හරියෙ දවසක් අතුරුදහන් කෙරුණු ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රෙඩී සිල්ව ගැන කියපු කතාවක්. ඔහු කිව්ව “ප්‍රෙඩී සිල්වා තමන්ගෙ ගීත වලින් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්“ කියල. සුනිල්ගෙත් මේ ලක්ෂණය තිබුණ.

පරම්පරාගත යූඇන්පී කාරයෙක් වුනත් ඔහු යූඇන්පී දේශපාලනය තුළ නියෝජනය නොවුනු දෙයක් ද ඉල්ලා සිටිය. ඒක අපි හැමෝටම එකට ඉල්ලා සිටිය හැකිව තිබූ දෙයක්. අර “ලොවේ සැමා…“ කියන ගීතය මම ඒ තරම් ප්‍රිය කරන එකක් නොවුනත් ඔහු සිටි රාමුව තුළ ඔහු ප්‍රාර්ථනා කළ දෙයක් ඒ තුළ කියවෙනව. ඇත්ත වශයෙන්ම පවතින දේශපාලනය මේ ප්‍රාර්ථනාවලට වඩා සංකීර්ණ බව කිව යුතු නැහැ. එහෙත් ඒ ප්‍රාර්ථනාව වැදගත්.

පසුගිය කාලයේ ලංකාවෙ දේශපාලනයෙ ඉතා අපූරු දෙයක් සිද්ධ වුනා ඒ තමයි යූඇන්පී දේශපාලන ඇද වැටීම. හැබැයි යූඇන්පීය නියෝජනය කළ නරක ලෙස සැලකුණු බොහෝ දේ යූඇන්පී විරෝධී පිළ අත්පත් කරගත්ත. මේ නිසා යුඇන්පී දේශපාලනය අතාර්කික වුනා. මේක මම කැමති වර්ධනයක්. සුනිල් ජවිපෙ වේදිකාවට එන්නෙ මේ වෙනස් වීම ඇතුලෙ.

ඇත්ත වශයෙන් සුනිල් ජවිපෙට ආවෙ නැහැ. නමුත් ඔහුගේ සාමූහික නියෝජන තුළ සැඟවී ප්‍රකාශයට පත්වීමට නොහැකිව තිබූ දෙයක් ප්‍රකාශ කිරීමට ජවිපෙ වේදිකාව උපකාරී වුනා. මං හිතන්නෙ මේ “දෙය“ සොයායාම වර්තමාන දේශපාලනය තුළ වැදගත්. ඒ නිසා සුනිලුත් මමත් එක් කුලකයකට අයත් වීම මම දකින්නෙ වරප්‍රසාදයක් ලෙස. අපේ සමහර වැදගත් දේ මුලින්ම දකින්නෙ මිතුරන් නෙවෙයි සතුරන්. මොකද අපි දිහා වැඩියෙන් විමසිලිමත් වෙන්නෙ සතුරන් නිසා.
අපේ ජීවිත ලස්සන කිරීම ගැන සුනිල් ට මගේ ආචාරය!!!

– නිර්මාල් රන්ජිත් දේවසිරි (fb)

 

මතකය එකින් එක අරගන්නෙමි ඇහිඳ
තාමත් හිතා ගන්නට බෑ ගියෙ කොහිද
බැසගිය නමුත් තම සතු රශ්මිය විහිද
කනකොට පවා සිහිවෙයි උඹ ලුණු දෙහිද

– ප්‍රියන්ත කොඩිප්පිලි

 

Leave A Reply

Your email address will not be published.

eleven − 3 =