ලංකාවේ පොදු ප්‍රවාහනයේ දිශානතිය කුමක්ද?

ප්‍රවාහන ප්‍රතිපත්ති සහ ව්‍යාප්ෘති යනු ජනතාවට මැජික් පෙන්වා ඡන්දය ලබාගන්නා කාර්‍යයයකින් එහා ගිය පලදායී ජනතා සේවාවක් ලෙස ස්ථාපිත විය යුතුව තිබේ. දශක තුනක යුද්ධයක නිමාවෙන් අනතුරුව යුධ ජයග්‍රාහී ආණ්ඩුවක් රාජ්‍ය පාලනයේ සහ රාජ්‍ය බලය පවත්වාගැනීමේ එක් උපායමාර්ගයක් ලෙස ප්‍රවාහන ව්‍යාපෘති ඇතුළු යටිතල පහසුකම් නිර්මාණය කිරිම භාවිතා කල යුගයක් අපි අත්දැක ඇත්තෙමු. ඉන් අනතුරුව බලයට පත්වුන ආණ්ඩුවද එම ප්‍රවාහන ව්‍යාපෘති වලින් වෙනස් නොවූ ව්‍යාපෘති ඉදිරියට ගෙන ගියා ඇරෙන්නට ජනතාවාදී ප්‍රවාහන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු දක්නට  නොලැබිණි. සංවර්ධනය යනු යටිතල පහසුකම් ඇතුළු භෞතික වර්ධනය යයි දුර්මතයක් පවතින සමාජයක, මඟියා අමතක කල භෞතික යටිතල පහසුකම් ගොඩනැගීම වටා කේන්ද්‍රීය වූ ප්‍රවාහන ප්‍රතිපත්ති ඇතුළු අනෙකුත් රාජ්‍ය ප්‍රතිපත්ති දැකිය හැක. 

අනෙක් අතට පොදු ජනතාව අතර ප්‍රවාහන අවශ්‍යතා යනු පොදුවේ එකතු වී දිනාගත යුතු සමාජ අවශ්‍යතාවයක සිට සමාජ තත්ත්වය නිරූපණය කරන පෞද්ගලිකව ලඟාකරගත යුතු අරමුණක් දක්වා රූපාන්තරණය වී ඇත. ගමේ පාරට බස් එකක් දාගන්නට එක්ව වැඩ කළ ගම්වැසියන් පෞද්ගලිකව වාහනයක් මිලදීගෙන තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාගැනීමට උත්සාහ කරනවා මිස එක්ව වැඩකරන අවස්ථා අවම වෙමින් යයි. නාගරිකව පවා තම තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ගැන මිස පොදු ප්‍රවාහනය ගොඩනංවන ලෙස ඉල්ලා සිටීමට උනන්දුවක් මඟීන් තුළ හිඟ බව පෙනේ. 

මඟියෙක් ලෙස ඔබගේ දෛනික ප්‍රවාහනය අවශ්‍යතාවය සම්පුර්ණ කරගැනීම සම්බන්දයෙන්  ඔබේ සරල බලාපොරොත්තුව කුමක්ද? ඔබගේ සිතැඟි වලට අනුව ඉතාමත් පහසු සහ පරමාදර්ශී ප්‍රවාහන පහසුකමක් යනු කුමක්ද? තමන්ගේම වාහනයක් මිලදී ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ ඔබගේ ප්‍රවාහන සිහිනය වන ගමන ආරම්භයේ සිට පහසුවෙන් ආරක්ෂිතව, හැකි ඉක්මනින් සහ අඩු වියදමකින් ගෞරවාන්විතව ගමනාන්තය දක්වා ගමන්කිරීම වීමට බොහෝදුරට ඉඩ තිබේ. අරමුණ එය වුවත් ඒ අරමුණ ලබා ගැනීමට ඇති එකම මාර්ගය වාහනයක් මිලදී ගැනීම යයි සිතන මට්ටමට අප පත්වී තිබේ. කෙසේවෙතත් වාහනයක් ලබා ගැනීමෙන් පසුවත් ඔබෙගේ ඉහත ප්‍රවාහන සිහිනය ඉටුවෙනවාද? පැය ගණන් මාර්ග තදබදයේ කාලය අහිමි කරගන්නවාට අමතරව, වැඩිවෙමින් යන මාර්ග අනතුරු වලට මුහුණ දීමටත්, එකිනෙකා හා අකාරුණික වූ තරඟයක් තුළ සිය මානසික නිදහස හා ගෞරවණිය බව කෙලෙසා ගැනීමටත්, වාහනය නඩත්තුවට යන වියදම මාර්ග තදබදය නිසා වැඩිවීම දරාගන්නටත් මෙන්ම පාරිසරික දුෂණයට වැඩි වශයෙන් දායක වීමටත් සිදු වේ. එසේ ගමනාන්තයට ලඟා වුවත් වාහන නැවතුම් පහසුකම් නාගරික ස්ථාන වල සොයා ගැනීම දිනෙන් දින වැඩෙන ගැටළුවක් වී තිබේ. ඊට විසදුම් ලෙස මාර්ග පුළුල් කරන ලෙසත් අලුතෙන් අධිවේගී මාර්ග වැනි විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලීම ඇරෙන්නට පොදු ප්‍රවාහනය දියුණුව තුළින් මේ ගැටලුව දීර්ඝ කාලීනව සහ ධරණියව විසදා ගත හැකිය යන්න මහජනතාව ලෙස අප තේරුම් ගත යුතුව තිබේ.  

කොලොම්බියාවේ බෝගෝටා නගරයේ නගරාධිපති එන්රිකේ පෙනලොසා ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් වන්නේ දියුණු නගරයක් යනු සියලු දෙනාටම පෞද්ගලික වාහනයක් පැදවිය හැකි නගරයක් නොවේ. සියලුදෙනාට දුප්පත් පොහොසත් බේදයකින් තොරව සුවපහසු පොදු ප්‍රවාහන සේවයක් අත්විදිය හැකි තැනකි යන්නයි. එසේනම්  අප ප්‍රවාහන ප්‍රතිපත්ති සම්පාධකයින්ගෙන් හෝ දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳවත් එසේ ඉල්ලා සිටීමටත්, අපගේ ප්‍රවාහන අවශ්‍යතා පහසුවෙන් ලඟා කරගැනීමටත් අපට අයිතියක් ඇතිබව අප දැනගත යුතුයි. 

ප්‍රවාහන ගැටළුවේ ස්වභාවය 

ලංකාවේ ප්‍රවාහන ගැටලුව ප්‍රවාහනය යන කාරණයෙන් ඔබ්බට විහිදෙන බොහෝ සමාජ ආර්ථික ගැටලුවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වන කාරණයකි. ජනතාවගේ එදිනෙදා ජීවිතයෙන් වැඩි කොටසක් නිවස සහ රැකියා ස්ථානය අතර ගත වෙන අතර සමහර පිරිසක් දවසේ කාලයෙන් පැය කිහිපයක් දවසෙන් හයෙන් එකක පමණ කාලයක් මහ මඟට මිඩංගු කර දමනු දැකිය හැක.  

ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා සිය මාසික වැටුපෙන් වැඩි ප්‍රමාණයක් එයට යට කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ සිටී. රැකියාවට යාම් ඊම් සඳහා රැකියාවෙන් ලැබෙන වැටුපෙන් විශාල ප්‍රමාණයක් ගෙවන්නට සිදු වීම හාස්‍යයට කාරණයකි. පොදු ප්‍රවාහන සේවයේ ඇති අනේකවිද ගැටළු නිසා සහ පෞද්ගලික වාහනයක් ගැනීම සමාජ තත්වය පෙන්වන කාරණයක් බවට පත්වී ඇති නිසාත් බොහෝ පිරිස් පෞද්ගලික ප්‍රවාහනයට යොමුවෙමින් සිටී. මේ තත්වයත් සමඟ ඇති වී ඇති  මාර්ග තදබදය නිසා පාරිසරික දුෂණය, වෙලාව නාස්තිය සහ ජාතික ධනය ඉන්ධන ලෙසින් දැවී යාම ප්‍රධාන ගැටළු ලෙස දැකිය හැක එසේම මෙම තත්වය ජනතාවගේ මානසික හා ශාරීරික නිරෝගීතාවයට කරන බලපෑමද සුළු පටුනොවේ. 2017 දී මොරටුව විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ ප්‍රකාශකල පරිදි මාර්ග තදබදයේ මුල්‍ය අලාභය වසරකට රුපියල් බිලියන 400 ට වැඩිය. එය දල දේශීය නිෂ්පාදනයෙන් 10% කි. පසුගිය වසරේ පමණක් මාර්ග අනතුරු 30,000 කට වැඩියෙන් සිදු වී ඇති අතර ඉන් සිදු වූ ජිවිත හානි 3000 කට අධිකය. 

අපගේ පොදු ප්‍රවාහනයේ අබාධ සහිත පුද්ගලයන්ට සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා සහිත පිරිසට ආසන වෙන් කර තිබුනද බස් නැවතුම්, දුම්රිය ස්ථාන, බස්රථ සහ දුම්රිය යනාදී කිසිවක් ආබාධ සහිත අයෙකුට පහසුවෙන් ලඟා විය හැකි ලෙස සකස් කර නැත. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කල පර්යේෂණයකට  අනුව ලංකාවේ කාන්තාවන් 90% ක් පොදු ප්‍රවාහනයේදී  හිංසනයන් වලට ලක්වේ. 

ග්‍රාමීය  ප්‍රවාහන අවශ්‍යතාවයන් පොදු  ප්‍රවාහනයෙන් සපුරා ගැනීම අසීරු වී ඇති අතර බොහෝ දෙන යතුරු පැදියක් හෝ ත්‍රිරෝද  රථයක් මිලදී ගැනීමේ උත්සාහයක සිටී. රාත්‍රී කාලයට පොදු ප්‍රවාහනය සහ විදී ආලෝකකරණය  ගම් වල පමණක් නොව නගරයේද දුලබය. බයිසිකල් මංතීරු සහ පදික මංතීරු නොමැතිවීම මෙන්ම ඒවායේ අඛණ්ඩතාවයක් නොමැති නිසා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ඇවිදීම මෙන්ම බයිසිකල් පැදීමද අසීරු කාර්යයකි.  

දුම්රිය සේවය යල්පැන ගිය අනාරක්ෂිත එකක් වන අතර දුම්රිය ප්‍රමාද වීම් සහ තදබදය එහි ගමන්  කරන මගීන් පිඩාවට පත්කරයි. 

ප්‍රතිපත්තිමය දිශානතිය සහ විසඳුම්  

ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටළු ගැන බොහෝ දේ කතා කල හැක. එහෙත් මැතිවරණයක් ආසන්නයේ සිටින අවස්තාවක අපගේ අවධානය යොමු විය යුතු කාරණයක් වන්නේ මෙතෙක් ලංකාවේ ප්‍රවාහන ප්‍රතිපත්ති වල දිශානතිය කෙසේ වුනිද එය කෙසේ වියයුතුද යන කාරණය ගැනය. 

පසුගිය  දශක කිහිපය  පුරාවට ප්‍රවාහන  ව්‍යාපෘති දෙස අවධානය  යොමු කල විට පැහැදිලිව පෙනෙන  කාරණයක් වන්නේ ප්‍රවාහනය භෞතික පහසුකම් දියුණු කිරීමෙන් ඔබ්බට ගිය ජනතාසේවයක් බව බොහෝ ව්‍යාපෘති අමතක කර ඇති බවකි. පහුගිය කාලයේ සිදුකල දැවැන්ත ආයෝජන ව්‍යාපෘති අතර බහුතරය ප්‍රවාහනයට සම්භන්ධ විය. අධිවේගීමාර්ග, ගුවන්තොටුපල සහ වරාය වැනි බිලියන ගණන් වැය කර ණය මුදල්වියදම් කර සිදුකල මෙම ව්‍යාපෘති වලින් ජනතාවගේ ප්‍රවාහන ගැටළු කෙතරම් දුරට විසදී ඇද්ද? යහපත් ප්‍රවාහන ප්‍රතිපත්තියක් ජනතාවගේ ජිවන තත්වය යහපත් කිරීමට දායක විය යුතුය. විවිධ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලට දරන සමාජ, ආර්ථික සහ පාරිසරික පිරිවැයට සාපේක්ෂව මෙම ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ ජනනය කර තිබේදැයි යන්න අප ඇසිය යුතුම ගැටලුවකි.  

භෞතික පහසුකම් වල සංවර්ධනය අවශ්‍ය නොවේයැයි මින් කිසිසේත්ම අදහස් කරන්නේ නැත. නමුත් අවධානය යොමුවිය යුතු දිශානතිය වන්නේ ජනතාවගේ ජිවන තත්වය වැඩි දියුණු කල හැකි ආර්ථික සමාජයීය සහ පාරිසරික වශයෙන් ධරණිය වි සදුමකි. තවමත් කොළඹ නගරයට පැමිණෙන මඟීන්ගෙන් 50% වැඩි පිරිසක් පොදු ප්‍රවාහනය භාවිතා කරයි. මේ ප්‍රමාණය අඩුවෙමින් තිබේ. ලංකාවේ බස් මඟී ප්‍රවාහනය සහ දුම්රිය සේවාව යනු මගී ප්‍රවාහනයේ සුවිශේෂී අංගයක් වුවද එහි උන්නතිය උදෙසා රැගෙන ඇති ක්‍රියාමාර්ග අවමය. සාපේක්ෂව ඉතා අඩු පිරිවැයක් දරා බස් සේවයේ ගුණාත්මක බාවය නගා සිටුවිය හැකි ව්‍යාපෘතියක් මොරටුව විශ්වවිද්‍යාලයේ මග  පෙන්වීම යටතේ සහසර නමින් යෝජනා වූ අතර එහි නියමු ව්‍යාපෘතියක්ද නුවර ක්‍රියාත්මක විය. එය සාර්ථක ව්‍යාපෘතියක් බවට සලකුණු පවා දක්නට ලැබිණි. කොළඹ නගරයේ බස්ප්‍රමුඛතා මංතීරු නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදුන් අතර ඒවායේ සාර්ථකත්වයේ සලකුණු තිබියදීත් නිසි ප්‍රමුකතාවය නොලැබීම නිසා ව්‍යක්තව යනු දක්නට ලැබිණි. වැඩිඅවධානය දිනා ගන්නා ව්‍යාපෘති වන්නේ සැහැල්ලු දුම්රිය (LRT ) වැනි තාක්ෂණිකව විශ්මය දනවන ව්‍යාපෘතිය. ඒවායෙන් ඇති වෙන බලපෑම කෙසේ වෙතත් කෙටිකාලීනව චන්දදායකයින් තෘප්තියට පත් කිරීමට එවැනි ව්‍යාපෘති දායක වේ. 

ග්‍රාමීය ප්‍රවාහන පහසුකම් සංවර්ධනයද මාර්ග සංවර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනයට සිමා වී තිබේ. භාණ්ඩ ප්‍රවාහනය නිසිලෙස කළමනාකරණය කිරීමට සහ නවීකරණය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගන්නා ආකාරයක් දක්නට නොලැබේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ග සහ ජාල මාර්ග යොදාගැනීමට ඇති හැකියාව සලකා බැලිය යුතුය. ජලමාර්ග ඔස්සේ මඟී ප්‍රවාහනයට විවිධ අවස්ථා වලදී කටයුතු සිදු කර ඇතත් ඒවායේ සාර්ථකත්වය සහ උන්නතිය වෙනුවෙන් පියවර ගත යුතුව සහ ඒවා අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය සමඟ නිසි ලෙස අනුබද්ධ කිරීම අත්‍යවශ්‍යය. 

යල්පැන ගිය සංඥා පද්දතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළු දුම්රිය නවීකරණය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වන අතර මේ ක්‍රියාමාර්ග සඳහා දුම්රිය සේවකය්න්ගේ සහයෝගය ඉතා අත්‍යවශ්‍ය වේ. දුම්රියෙහි ඉතා අපහසුවෙන් ගමන් කරන මගී ජනතාවගේ ජිවිත වල තත්වය පහල වැටීම රටේ ආර්ථික මෙන්ම සමාජයීය ප්‍රගමනයටද බාධාවකි. දුම්රිය සේවය ගෞරවාන්විත සේවයක් ලෙස ගොඩනැංවීමට පසුගිය රජයන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? නිසි ලෙස නවීකරණය කල අර්ධ සුඛෝපභෝගී දුමිරියක ගමන් කිරීම පෞද්ගලික වාහනයක ගමන් කරනවාට වඩා ආරක්‍ෂිත, සුවපහසු සහ ඉක්මන් ගමනකි. වාහන තදබදයට විසදුමක් ලෙසද දුම්රිය භාවිතා කල හැකි වනු ඇත. 

බයිසිකල් සහ ඇවිදීම  උනන්දු කිරීම සඳහා වන ප්‍රතිපත්තිමය සහයෝගයන් සහ ක්‍රියාමාර්ග  ඉතා අඩුය. සමහර අලුතෙන් නවීකරණය කල මාර්ග වල බයිසිකල් මන්තිරුවක් ලකුණු කර තිබුනද  ඒවායේ අඛණ්ඩතාවයක් නොමැත. ඒවායේ අනෙකුත් වාහන ගමන් කරන අතර ඊට ගතහැකි ක්‍රියාමාර්ගද ගෙන නොමැත. අබාධ සහිත මගීන්ට පහසුවෙන් භාවිතා කල හැකිවන ලෙස පොදු ප්‍රවාහනය දියුණු විය යුතුය. 

තාක්ෂණික විසදුම්, කළමනාකරණ විසදුම් සහ සැලසුම්කරණ විසදුම් සියල්ල නිසි ලෙස ඒකාබද්ධ වුන ප්‍රවාහන ප්‍රතිපත්තියක් ලංකාවට අවශ්‍යව තිබේ. ප්‍රවාහනය යනු මඟියා ප්‍රමුක වූ සේවාවක් ලෙස සලකන ප්‍රතිපත්තියක් මිස අනාගත පරපුර ණයකරුවන් කරමින් පොදු ජනතාව මුලාවට පත්කරන සිහිනයක් නොවිය යුතුය. ප්‍රවාහන ප්‍රතිපත්තිය තනිව ක්‍රියාත්මක නොවෙන අතර ජනාවාස හා නගර නිර්මාණය, බලශක්තිය සහ සුභසාධනය වැනි අනෙකුත් ප්‍රතිපත්ති හා බැඳී පවතී. එමනිසා ඒ පිළිබඳ නිසි අවධානය යොමු කිරීම රජයේ වගකීමකි. ප්‍රවාහනය යනු දෛනික අවශ්‍යතාවයකි. සියලුදෙනාට අත්‍යවශ්‍ය සේවාවන්ට සහ ක්‍රියාකාරකම්වලට යොමු වීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වගකීමක් ලෙස සළකා  කටයුතු කරන රජයක් අපගේ අද දවසේ අවශ්‍යතාවයයි.

කෞෂල්‍යා හේරත්

Leave A Reply

Your email address will not be published.

one + eighteen =