“ඕක්ලන්ඩ් ත්‍රස්තවාදියාගේ ප්‍රහාරය තනි පුද්ගල ක්‍රියාවක් මිස ජන වර්ගයක ක්‍රියාවක් නොවෙයි”

– නවසීලන්ත අගමැතිනිය

ඕක්ලන්ඩ්හි ත්‍රස්ත ප්‍රහාරය තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් මිස, ඇදහිල්ලකින්, සංස්කෘතියක හෝ ජන වර්ගයක ක්‍රියාවක් නොවන බවත් මෙම ක්‍රියාවේ වගකීම දැරිය යුත්තේ ඔහු පමණක් ම වන බවත් නවසීලන්ත අගමැතිනිය පවසයි.

ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳ සංකීර්ණයකදී ඊයේ (03) පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදු කරමින් සිදු වූ පිහිඇණුමෙන් පසු නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් අපරාධය හෙළා දකිමින් සිදු කළ ප්‍රකාශයේ එලෙස සඳහන් වේ.

මෙම සිදුවීමෙන් විනාඩියක් පමණ කෙටි කාලයක් ඇතුළතදී අපරාධයට සම්බන්ධ ශ්‍රී ලාංකික අන්තවාදී සැකකරු නවසීලන්ත පොලිසීය විසින් ඝාතනය කරනු ලැබුවේය.

සිදුවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියේ, පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ සැකකරු පමණක් මෙහි වගකිවයුත්තා වන බවයි.

මෙය පහත්, වැරදි සහගත වේදනාකාරී ක්‍රියාවක් බවත් ඔහුගේ මතවාදය කිසිදු පුද්ගලයෙකු හෝ සමාජයක් විසින් පිළිනොගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

සැකකරු IS ත්‍රස්ත කණ්ඩායමේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන තිබිණ.

මේ අතර 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණ ඇති ඔහුගේ මතවාදය පිළිබඳව සැලකිලිමත් වීම හේතුවෙන් වසර කිහිපයක් තිස්සේ මොහු එරට ආරක්ෂක අංශවල නිරන්තර අධීක්ෂණයට සහ දැඩි නිරීක්‍ෂණයට ලක්ව සිටි පුද්ගලයෙකි.

නවසීලන්ත පොලිස් කොමසාරිස්වරයා පවසන්නේ, මෙම පුද්ගලයා තනිවම කටයුතු කර ඇති බවට නිලධාරීන් විශ්වාස කරන බවත් ඒ අනුව තවදුරටත් සමාජයට අනතුරුදායක කිසිවක් නොමැති බවයි.

 

Leave A Reply

Your email address will not be published.

6 − 6 =