රග්බි අවසන් සටනට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව

පසුගිය 21 වැනිදා ජපානයේදී ආරම්භ වූ 2019 රග්බි ලෝක කුසලාන තරග මාලාව මේ වනවිට අවසන් කඩඉමට පැමිණ තිබෙනවා. රටවල් 20 ක සහභාගීත්වයෙන් ආරම්භ වූ තරගාවලියේ තවත් ඉතිරිව තිබෙන්නේ පළමු, දෙවන, තෙවන හා සිව්වන ස්ථාන තෝරා ගැනීම පමණි.

පසුගිය 26 වැනිදා පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල නවසීලන්තය පරාජය කළ එංගලන්තය අවසන් තරගයේ සිය ආසනය වෙන්කර ගත් අතර එම තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුනේ 19-07 ක් ලෙසිනි.

මේ අතර ඊයේ පැවති දෙවැනි අවසාන පූර්ව තරගයේදී වේල්සය හා දකුණු අප්‍රිකාව අතර කරට කර සටනක් දක්නට ලැබිණි. තරගය අවසන් වූයේ 19-16 ක් ලෙස දකුණු අප්‍රිකාවට ජයග්‍රහණ අත්පත් කර දෙමිනි.

ඒ අනුව නොවැම්බර් දෙවැනිදා යොකොහොමාහිදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අවසන් තරගය පැවත්වේ.

දෙරට අතර මීට පෙර අවසන් තරගයක් පවත්වා ඇත්තේ 2007 ලෝක කුසලාන තරගාවලියේදීය. එහිදී දකුණු අප්‍රිකාව ජයග්‍රහණය අත්පත් කරගත් අතර ඊට පෙර ඔවුන් 1995 වසරේදීද රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබේ. එංගලන්තය රග්බි ලෝක ශූරයන් වී ඇත්තේ 2003 වසරේදී පමණි.

දකුණු අප්‍රිකාව මෙවර ශූරතාවය දිනා ගැනීමට සමත් වුවහොත් ඔවුන් වැඩිම වරක් රග්බි ලෝක කුසලානයට හිමිකම් කියන රට බවට නවසීලන්තය සමග සමතැන් ගනු ඇත. රග්බි ලෝක ශූරයන් ලෙස තෙවරක් කිරුළ පැළඳූ එකම රට නවසීලන්තයයි.

එංගලන්තය සහ නවසීලන්තය මේ වනවිට පිළිවෙලින් ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පළමු සහ දෙවන ස්ථානවල රැඳී සිටී. ඒ නිසා මෙවර අවසන් තරගය අතිශය තියුණු මුහුණුවරක් ගනු ඇත.

මේ අතර අවසන් පූර්ව තරගවලදී පරාජයට පත් වූ නවසීලන්තය හා වේල්සය නොවැම්බර් 01 වැනිදා පැවැත්වෙන තෙවැනි ස්ථානය සඳහා වූ තරගයට සහභාගි වේ. වේල්සය තෙවැනි වතාවටත් අවසන් පූර්ව තරග සඳහ සුදුසුකම් ලැබූ නමුත් පෙර දෙවතාවේදී මෙන්ම මෙවරද අවසන් තරගය සඳහා සහභාගි වීමට ඔවුන් වාසනාවන්ත නොවීය. 1987 පළමු තරගාවලියේදී ඔවුන් තෙවැනි ස්ථානයට පත් වූ අතර 2011 තරගාවලියේදී සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්විය.

මෙවර තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේදී ප්‍රබල නවසීලන්තයෙන් වේල්සයට දැඩි අභියෝගයක් එල්ල විය හැකිය. මන්ද මෙතෙක් පැවති ලෝක ශූරතා අතරින් නවසීලන්තය පළමු තිදෙනා අතර සිටීමට අසමත් වූයේ තරගාවලි දෙකකදී පමණි.

මෙවර තරගාවලියේ සත්කාරකයන් මෙන්ම ආසියානු කලාපය නියෝජනය කරන එකම කණ්ඩායම ලෙසින් තරගාවලියට පිවිසි ජපානය පළමු වටයේ මුහුණ දුන් තරග හතරම ජය ගනිමින් අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. කෙසේ වෙතත් එහිදී ඔවුන්ට මුහුණදීමට සිදුවූයේ ප්‍රබල දකුණු අප්‍රිකාවටයි. එහිදී දකුණු අප්‍රිකානුවන් හමුවේ මුල සිටම අසාර්ථක වූ ජපානය සිය ලෝක කුසලාන ගමට තිත තබ ගත්තේ 26-03 ක් ලෙස පරාජයට පත්වෙමිනි.

LNW

Leave A Reply

Your email address will not be published.

seventeen − 4 =