ගුවනේ උපන් ඇෆ්ගන් බබ්බු

දැන් ඇෆ්ගනිස්ථානයේ ජනයා ඉන් ඉවතට ගන්නා සමයයි. ඇමෙරිකාවත් තවත් රටවල් ගණනාවකුත් ඒ මෙහෙයුමට සම්බන්ධයි. මේ ඉවත ගැනීම් අතර වූ ගැබිණි මවුවරුන් තිදෙනෙක් මේ වන විට වරින් වර ඇෆ්ගන් දරුවන් තුන් දෙනෙක් බිහි කරලා. ඒ අතුරින් දෙදෙනෙක්ම උපන්නේ අඩි දහස් ගණනක් ඉහළ අහසේ දී.

සාමාන්‍යයෙන් ඇමෙරිකාවෙන් පිටත තිබෙන ඇමෙරිකාවට අයත් හමුදා කඳවුරු ඇමෙරිකානු භූමිය ලෙස සලකන්නේ නැහැ. ඒ වගේමයි ඒ කඳවුරු බිමක උපන් අයකුට ඇමෙරිකානු පුරවැසි අයිතිය වලංගු වන්නේත් නැහැ. ඒ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසි සහ සංක්‍රමණික සේවා කාර්යාංශය සඳහන් කරනවා. ඒ වගේම ඇමෙරිකාවේ ලියාපදිංචි ගුවන් යානයක උපත ලැබුව ද, එය ඇමෙරිකානු ගුවන් අවකාශයට පිටත කලාපයක් නම්, උපත ලබන දරුවන් ඇමෙරිකානු පුරවැසියන් ලෙස නොසලකන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සී – 17 ගුවන් යානයකින් ජර්මනිය බලා ගමන් කරමින් සිටිය දී එක අම්මා කෙනෙක් දැරියක බිහි කළා. ගුවනේ දී උපන් ඇයට ගුවන් යානයට අදාළ සංඥාවේ නම (කෝල් සයින්) ලබා දී තිබෙනවා.

“අපි හැමෝම ඔවුන්ගේ දැරිය ‘රීච්’ (Reach) යනුවෙන් නම් කළා. කටාර් සිට රැම්ස්ටීන් වෙත ගමන් කළ සී – 17 ගුවන් යානයේ සංඥාව (කෝල් සයින්) ‘රීච්’ (Reach). ඒ නිසා දියණිය ඒ නමින් නම් කළා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ යුරෝපීය අණ දෙන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ජෙනරාල් ටොඩ් වෝල්ටර්ස් පැවැසුවා.

රැම්ස්ටීන් යනු ජර්මනියේ පිහිටා තිබෙන ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් කඳවුරක්. ජර්මනියේ නිරිතදිග ප්‍රාන්තයක් වන රෛනලෑන්ඩ්-පැලටිනේට් හි එම කඳවුර පිහිටා තියෙනවා.

ඇෆ්ගනිස්ථානයෙන් මුදා ගන්නා ඇෆ්ගනිස්ථානු වැසියන් විශාල ප්‍රමාණයක් කටාර් වෙතත්, ඇතැම් විට ඇමෙරිකාවත්, ඇෆ්ගනිස්ථානයත් අතර තිබෙන ඇමෙරිකාවට අයත් කඳවුරකටත් රැගෙන යනවා. ඔවුන්ට ඇමෙරිකාවට හෝ වෙනත් රටකට යාමට ලැබෙන්නේ ඉන් පසුවයි.

ගුවන් යානය ගොඩබැස්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානු (රීච්ගේ) මවට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අයුරු ඡායාරූපවල දැක්වුණා.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය හමුවේ රටින් පලා යන ඇෆ්ගනිස්ථානු අම්මා කෙනකුට බ්‍රිතාන්‍ය ගුවන් යානයක දී තවත් දරුවකු ලැබුණා. ඒ බ්‍රිතාන්‍යය බලා ගමන් කරමින් සිටිය දී අඩි 30,000ක් ඉහළ අහසේ දීයි.

බ්‍රිතාන්‍යයේ අනුග්‍රහයෙන් කාබුල් ගුවන්තොටුපළ හරහා ඉවත් කර ගනු ලැබූ මෙම ඇෆ්ගනිස්ථානු අම්මා එංගලන්තයේ බර්මින්හැම් වෙත තුර්කි ගුවන් සේවයට අයත් ගුවන්  යානයකින් ගමන් කරමින් සිටිය දීයි මෙම දරු ප්‍රසූතිය සිදු වී තිබුණේ.

එම අවස්ථාවේ දී යානයේ වෛද්‍යවරයකු සිටියේ නැහැ. ඒත් කාර්ය මණ්ඩලයේ සහායයෙන් අදාළ කටයුතු සිදු කෙරුණා. 26 හැවිරිදි සෝමන් නූරි නමැති මව සහ දරුවා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි සඳහන් වෙන්නේ.

සෝමන් නූරිට ප්‍රසව වේදනා ඇති වන අවස්ථාවේ ගුවන් යානය ඇෆ්ගනිස්ථානයේ සිට ඩුබායි හරහා බර්මින්හැම් දක්වා ගමන් කරමිනුයි තිබුණේ. ඇයත් සමඟ ඇගේ 30 හැවිරිදි සැමියා මෙන්ම අනෙක් දරුවන් දෙදෙනාත් මේ ගුවන් යානයේම ගමන් කරමින් සිට ඇත.

දරු ප්‍රසූතියෙන් පසු යානය කුවේට් රාජ්‍යයට ගොඩබැස්ස වීමට තුර්කි ගුවන් යානයේ නියමුවන් පියවර අරගෙන. මවත්, දරුවාත් සුවෙන් සිටින බවයි සදහන් වෙන්නේ.

සන්ධ්‍යා කාලයේ ගුවනේ දී උපත ලද මෙම ඇෆ්ගනිස්ථානු බිළිඳියට තබා ඇත්තේ සන්ධ්‍යාව යන අරුත් ඇති ‘හවා’ යන නමයි●

ලක්සිරි ප්‍රනාන්දු
Leave A Reply

Your email address will not be published.

six + 15 =