නායක චීටාගේ ඇස් මට කතා කළා – බුද්ධිලිනි

“මේ පින්තුරේ ගනිද්දී නායක චීටාගේ ඇස් මට කතා කළා.
ඔය කැමරාව පැත්තකට දලා අපිට උදව් කරන්න වගේ තමයි ඒ බැල්මෙන් එයා කිව්වේ……”
ලෝක පුජිත ඡායාරූපය ගැන බුද්ධිලිනි සිය අත්දැකීම පළමුවරට හෙළි කරයි.

වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන ලොව පුරා විහිදී සිටින අයගේ අංක එකේ සිහිනයක් වන්නේ “wildlife photographer of the year” තරගයට සිය ඡායාරූපයක් ඇතුළත් කර ගැනීම ය. බ්‍රිතාන්‍ය ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයෙන් පවත්වනු ලබන මෙම තරගයේ නිහඬ පාර්ශ්වකරුවකු ලෙස බීබීසී ආයතනය ද සිටි.

මෙවර තරගයට අපේ දෙදෙනෙකුගේම ඡායාරූප ජුරියේ ප්‍රශස්ත අගැයීමකට ලක් වීම විශේෂත්වයකි.

මේ අතුරින් බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ ජයග්‍රාහී ඡායාරූපය පිළිබඳව කිසිවෙක් නොදත් අභ්‍යන්තර කතාවයි මේ.

බුද්ධිලිනි ඩී සොයිසා වාසය කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ය.ඇය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වන්නී ය. වසර දහයකට පමණ පෙර ඡායාරූපකරණයට පිවිසි ඇය වෘත්තීය මට්ටමට වඩා එය සිදු කරන්නේ විනෝදාස්වාදය සඳහා ය. වනජීවීන් නැරඹීමට ඇය නැඹුරු වී ඇත්තේ සිය පියාගෙන් ලද ආභාසය නිසා බව ඇය අපට පැවසුවා ය.

බුද්ධිලිනි මෙම තරගයේ ක්ෂීරපායීිිිිිිිිි අංශය යටතේ ඡායාරූප දෙකක් යොමු කළා ය. ඉන් එක් ඡායාරූපයක් මෙලෙස සම්මානයට පාත්‍ර විය.’A Great Swim’ නමින් එය තරගයට ඉදිරිපත් කර තිබිණි.

එම ඡායාරූපයේ අපුරු පසුබිම් කතාව ඇය අපට හෙළි කළේ මේ ආකාරයට ය.

“මෙම ඡායාරූපය මම ගත්තේ 2020 ජනවාරි මුල් භාගයේදී වගේ. ඒ කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ දී. ඒ අප එහි සිදු කළ අටවන සංචාරය.කෝවිඩ් නිසා ලෝකය වසා දැමීම ආරම්භ වුණේ ඔය කාලයේ වගේ.එය තමයි අපගේ අවසන් විදෙස් සංචාරය වුණේ.කොහොම හරි අපි 2020 ජනවාරි මාසයේ දී තමයි කෙන්යාවට ගියේ.ඒ කාලයේ කෙන්යාවට ඉතා අසාමාන්‍ය අන්දමේ ධාරානිපාත වර්ෂාවක් ලැබෙමින් තිබුණා.

ඒ වනවිට මසායි මාරා මැද තිබෙන “මාරා තලේක්” ගංගාව ජලයෙන් උතුරා දෙගොඩ තලා යනවා.අපි එවර ගොඩබැස්සෙත් වෙන තැනකට.එයත් හරිම ත්‍රාසජනක අත්දැකීමක් වුණා.

‘මසායි’ හි ජීවත් වන වැඩිහිටියන් පවා තම ජීවිත කාලය තුළ මෙවැනි නරක ගංවතුරක් හා වර්ෂාවක් දැක තිබුණෙත් නැහැ.එ්කෙන්ම හිතා ගන්න පුළුවන් වැස්සේ තරම.

මෙවර මසායි මාරා අපි ගියේම පිරිමි චීටා පහක අසාමාන්‍ය හා ප්‍රසිද්ධ සන්ධානය වන ‘ටැනෝ බෝරා'( tano bora) කණ්ඩායම බලන්න.”

ඇය එක දිගට කියාගෙන යයි.

මේ ඒ චිටාවන් ද මම ද පුදුම විමි. ඒ අමුතු චීටා එකමුතුව ගැන මා මිට පෙර කියවා තිබිණී. ලොව වේගවත්ම සත්ත්වයා චීටා ය. එවැනි සතුන් පහක එකමුතුවක් යනු එය ලොව වේගවත්ම එකමුතුව ද වන්නේ ය.

අපට ඉඩක් නොතියාම ඇය නැවත කතා කරන්නී ය.

“මේ පිරිමි චීටා පස් දෙනාගේ එකමුතුව ලොව ප්‍රථම එවැනි එකමුතුව ලෙස තමයි සැලැකෙන්නේ. එදා අපි ගොඩබසින විට, ඔවුන් ‘තලේක්’ ගඟේ අනෙක් පැත්තේ සිරවී සිටින බව අපි දැනගත්තා. මේ ගමනේ දී අපට ඔවුන්ව දැකීමට නොහැකි වෙයි කියලා තමයි ආරංචි වුණේ. අපි ආවේම උන්ව බලන්න. නමුත් මේක ඇහුවාම අපිට පුදුම දුකක් ඇති වුණා.

අපිට හිටියා පුදුමාකාර මඟපෙන්වන්නෙක්.ඇත්තට එයා අපේ මිතුරෙක්.ඒ මාතිරා බුෂ්කැම් එකේ ඇන්ටනි ටිරා. එයාට දෙවැනි වරට ආරංචි වුණා “ටැනෝ බෝරා” කල්ලිය ‘තලේක්’ ගඟට ළං වන බව.

ඒ වනවිටත් අපි හිටියේ සිංහයන් සමූහයක් බලන ගමන්.මේ ආරංචිය ආවාම අපි හිතුවා සිංහයන්ගේ ආඩම්බර බැලුවා ඇති කියලා.ඒ නිසා එය අත හැර අපි ගඟ දෙපස බලන්න ගියා.

ගං දිය හරිම සැරයි. චීටලා එවැනි වතුරක් තරණය කරයි කියලා හිතන්නත් අමාරුයි. ඇත්තටම අපි හිටියේ බලාපොරොත්තු අත හැරලා.

ඔය අතරවාරේ අපි ඒ චිටලා පස් දෙනාම දැක්කා.ඔවුන් ගඟේ එහා ඉවුරේ ඉඳන් මුර සංචාරය කරනවා.කොතැනින් ද මාරු වෙන්නේ කියලා. ඒ චීටලා පස්දෙනා දෙස අපි පැය ගණනක් බලා සිටියා. ඔවුන් අනෙක් ඉවුරේ ඉහළට හා පහළට යනවා.මාරු වෙන්න විදියක් නැතුව. එදා සවස් වන විට අපි බලාපොරොත්තුව අතහැරියා.දැන් අපි ආපහු යන්න හදන්නේ.ඒ වේලාවේ හදිසියේම නායක චීටා ජලයට පැන්නා.හරියට අපිට යන්න එපා කියන්න වගේ.

ඔහු පසුපස තවත් තිදෙනෙක් පැන්නා.දැන් හතරක් මහ සැඩ පහර මැද. ඇත්තටම අපි ගල් පිළිම වගේ බලා ගෙන හිටියා.ලෝකයක් ආදරය කරන මේ සත්තු අපි ඉස්සරහා පිටම නැති වෙයි ද කියලා විශාල බයක් අපිට ඇති වුණා.පස්වැනියා තවමත් ගොඩ.ඒත් තවත් ටිකක් වෙලා යන කොට එයාත් වතුරට පැන්නා.එයා තරමක් පස්සෙන් ආපු නිසයි, එයා මේ ඡායාරූපයේ නැති වුණේ.

ඔවුන් ගොඩ වෙන්න ආවේ හරිම විද්‍යාත්මක ක්‍රමයකට. වතුරත් එක්ක පහළට යන ගමන්ම අපි ඉන්න ඉවුරට කිට්ටු කළා.ඒ රළු ජල පහරේ මීටර් 100ක් පමණ ඒ විදියට ඔවුන්ව පහළට ගසාගෙන ගියා. අන්තිමේ ඔවුන් ගොඩබිමට ළඟා වුණා.ඔවුන් ගඟ තරණය කරන තුරුම අපි හිටියේ පුදුම තිගැස්මකින්.එකෙක් ඇත්තෙන්ම තත්පර 10-15 අතර කාලයක් වතුරේ නොපෙනි ගියා. අපි හිතුවේ එයා ඉවරයි කියලා.නමුත් එක පාරටම එයත් ආයි මතු වුණා.අපේ ඇස්වලට කඳූළු ආවා.

අවසානේ ඔවුන් සියලු දෙනාම ආරක්‍ෂිතව අපි හිටපු ඉවුරට ගොඩ වුණා.

එය අදහා ගන්නත් අමාරුයි. ඒ සතුට සමරන්න අපි එකිනෙකා වැළඳ ගත්තා.ඇත්තට අපේ ඇස්වලින් කඳුළු වැටුණේ අපිටත් නොදැනීම.” ඇය කියා ගෙන යන අතරතුර දී ද හැගුම්බර වූවා ය.

“ඔවුන්ගේ මුහුණූවල පුදුම හැඟිම් ප්‍රකාශනයක් ඒ ඡායාරූපයේ තිබෙනවා.” මම ඇයට කීව‍ෙමි.

“ඔව් ඇත්ත.නායක චීටාගේ හැඟීම් හරිම ප්‍රබලයි.ඡායාරූපය ගනීද්දී ඒ ඇස් මට කතා කළා.

‘අනේ ඔය කැමරාව පැත්තකින් තියලා අපට උදව් කරන්න’ වගේ කතාවක් තමයි ඒ ඇස් මට කිව්වේ.

ඒක ඇත්තටම මට හොඳටම දැනුණා.” බුද්ධිලිනි කීවා ය. සැබැවින්ම ඒ ඇස් මාර ය.

බුද්ධිලිනිගේ මේ ඡායාරූපය දුටු දිනම එය මේ තරගය ජය ගනු ඇතැයි මට සිතිණී. මම ඒ බව මෙන්ඩිස් වික්‍රමසිංහට සේම රුක්ෂන් ජයවර්ධනට ද කී බව මම බුද්ධිලිනිට මේ මොහෙතේ කීවෙමි.

“මට රුක්ෂන් කතා කළා.මේක මේ තරගයට දාන්න කියලා ඔහු මට කිව්වා.ඇත්තටම ඔහුට ස්තුති කළ යුතුයි” ඇය නිහතමානීව කියා ගෙන ගියා ය.එලෙසම ඇයගේ වනජීවී මඟපෙන්වන්නාට සේම සිය සැමියාට ද ඇය ස්තුති කරන්න අමතක නොකළා ය.

මේක මේ තරගයෙන් නිල වශයෙන් නිවේදනය කරනකම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා ඔබත් මට පණිවුඩයක් එවලා තිබුණා. ඇත්තටම එකටත් ස්තුතියි. ඇය අවසන් වශයෙන් කීවා ය.

‘මසායි මාරාවම’ තැතිගන්වන ඒ චීටලා ඔබ මෙය කියවන මොහොතේ ද එක්ව ගොදුරකට ළංවනවා විය හැකිය.

නයනක රන්වැල්ල (Fb)

 

Leave A Reply

Your email address will not be published.

six + seven =